“පිළිකාව මාව වෙනස් කළා..ශරීරය විතරක් නෙවෙයි, මගේ මුළු ජීවිතයම වෙනස් වුණා!” – වේල්ස් කුමරිය කේට්ගේ සංවේදී හෙළිදරව්ව”Heal”!

සටහන – පුලී
නොවැම්බර් 
22, LNW (කොළඹ): ලෝකයේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය වන කේට් මිඩ්ල්ටන් සිය පිළිකා අත්දැකීම පිළිබඳව මෙතෙක් හෙළි නොකළ සංවේදී කරුණු රැසක් අලුත් වාර්තා චිත්‍රපටයක් හරහා ලෝකය සමඟ බෙදාගැනීමට සූදානම් වනවා. “Heal” ලෙස නම් කර ඇති මෙම වාර්තා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙන අතර, එහිදී කුමරිය පවසන වදන් හදවතටම දැනෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

“පිළිකාව ඔබව වෙනස් කරනවා. එය ඔබේ ශරීරය වෙනස් කරනවා. ඔබව ශාරීරිකව වෙනස් කරනවා. නමුත් පිළිකාවක් ඇති බව දැනගැනීමෙන් ඔබ තුළ සිදුවන වෙනස ඊටත් වඩා ගැඹුරුයි” යනුවෙන් 44 හැවිරිදි කේට් කුමරිය එහිදී පවසනවා. වේදනාව සහ අභියෝග මැදින් ගමන් කරන විට ජීවිතයේ ඊටත් වඩා සුන්දර පැතිකඩක් අවබෝධ කරගත හැකි බවත් ඇය සංවේදීව සඳහන් කරනවා.

මෙම වාර්තා චිත්‍රපටය නොවැම්බර් 29 වැනිදා BBC නාලිකාව ඔස්සේ සහ නොවැම්බර් 30 වැනිදා NBC හි විකාශය වීමට නියමිතයි. පිළිකා රෝග විනිශ්චයක සිට ප්‍රතිකාර, සුවය ලැබීම සහ ඉන් පසුව ජීවිතයට නැවත හැඩගැසීම දක්වා පුද්ගලයෙකු මුහුණ දෙන මානසික හා ශාරීරික අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

මෙහි තවත් විශේෂ අවස්ථාවක් වන්නේ කේට් කුමරිය සිය සහෝදරයා වන ජේම්ස් මිඩ්ල්ටන් සමඟ එක්ව ස්කොට්ලන්තය, එංගලන්තය සහ වේල්සයේ උසම කඳු තුන පැය 24ක් ඇතුළත තරණය කිරීමේ අභියෝගයට එක්වීමයි. එම ගමන අතරතුර ඇය තම පිළිකා ප්‍රතිකාර අත්දැකීම පිළිබඳවද විවෘතව අදහස් පළ කරනවා. සාමාන්‍යයෙන් පිළිකා ප්‍රතිකාර අවසන් වූ පසු රෝගීන් සීනුවක් නාද කරමින් ඒ අවස්ථාව සංකේතවත් කළත්, තමන් එසේ නොකළ බව කුමරිය හෙළි කරනවා. “මම සීනුව නාද කළේ නැහැ” යන ඇගේ කෙටි වදන තුළ පවා එම අත්දැකීමේ ගැඹුර මැනවින් දැනෙනවා.

කේට් කුමරිය 2024 මාර්තු මාසයේදී තමන් පිළිකා රෝගයකට මුහුණ දෙන බව ප්‍රසිද්ධියේ හෙළි කළේ උදර ශල්‍යකර්මයකට ලක්ව මාස දෙකකට පසුවයි. එම වසරේ සැප්තැම්බර් මාසයේදී රසායනික චිකිත්සක ප්‍රතිකාර අවසන් කළ බව ඇය නිවේදනය කළ අතර, 2025 ජනවාරි මාසයේදී තම පිළිකාව සමනය වී ඇති බව තහවුරු කළා. කෙසේ වෙතත්, ඇය මුහුණ දුන් පිළිකා වර්ගය පිළිබඳව මෙතෙක් ප්‍රසිද්ධ කර නැහැ.

මෙම වාර්තා චිත්‍රපටය නිර්මාණය කිරීමේ තවත් සංවේදී අරමුණක් වන්නේ පිළිකා රෝගයට මුහුණ දෙන අනෙකුත් පුද්ගලයන්ටද තමන්ගේ ගමනේදී තනිවී නැති බව හැඟවීමයි. රෝගය හඳුනාගැනීමේ සිට සුවය ලැබීම දක්වා කාලය තුළ ශරීරයට පමණක් නොව මනසටද අවශ්‍ය සහයෝගය ලබාදීමේ වැදගත්කම ලොවට පෙන්වාදීමට ඇය බලාපොරොත්තු වනවා.

විශේෂයෙන්ම මෙම වාර්තා චිත්‍රපටයේ බෙදාහැරීමෙන් ලැබෙන සියලුම මුදල් ඇය ප්‍රතිකාර ලැබූ Royal Marsden රෝහලට සහාය දක්වන Royal Marsden Cancer Charity වෙත ලබාදීමට කටයුතු කර තිබීමද කැපී පෙනෙනවා. ඒ හරහා පිළිකා රෝගීන්ට සහ රෝගයෙන් පසු ජීවිතය ගොඩනඟාගන්නා පුද්ගලයන්ට සහාය ලබාදීම අරමුණයි.

පිළිකා අත්දැකීමෙන් පසු කේට් කුමරිය ක්‍රමයෙන් සිය රාජකීය වගකීම් වෙත නැවත පැමිණෙමින් සිටිනවා. ඇය සහ සැමියා වන විලියම් කුමරු මෑතකදී Earthshot Prize උළෙල වෙනුවෙන් ඉන්දියාවටද සංචාරය කළ අතර, ඇයගේ රෝග විනිශ්චයෙන් පසු දෙදෙනා එක්ව සිදුකළ පළමු නිල විදෙස් සංචාරය මෙය ලෙස සැලකෙනවා.

සමහර සටන්වල ජයග්‍රහණය කියන්නේ පදක්කමක් දිනාගැනීම නොවෙයි. නැවතත් සිනහවකින් ජීවිතයට මුහුණදීමට හැකිවීමයි. කේට් කුමරියගේ “Heal” වාර්තා චිත්‍රපටය ලොව පුරා පිළිකා රෝගයට මුහුණ දෙන දහස් ගණනකට බලාපොරොත්තුවේ පණිවිඩයක් රැගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාණ්ඩාගාරය මුදලින් පිරී ඉතිරී ගියාට ජනතා අත මුදල් නැත්නම් වැඩක් නැහැ – විපක්ෂ නායක සජිත්

තරුණ පරපුර තවදුරටත් කාටවත් අන්දවන්න නොහැකි බවත් 2019-2024 යන...

පොසිස් ඉන්ධන මතභේදය නිසා COP31 සාකච්ඡා දිර්ඝ වේ..

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: UN COP31 තීරණාත්මක කඩඉමක:...

Newcastle හමුවේ 2-2 ක් ලෙස සමවෙද්දී Madueke තරඟය බේරාගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: St James' Park...

ලොව පුරා ශ්‍රී ලාංකික ව්‍යවසායක හමුව ජපානයේදී..

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: විදේශ ප්‍රේෂණවලින් එහා ගිය...