ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක කටයුතු පහසු කිරීම සහ දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට අත්සන් තබා තිබේ.
මෙරට නිල සංචාරයක නිරත වී සිටින තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Sihasak Phuangketkeow මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව මෙම පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් සිය නිල Facebook ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇත්තේ, මෙම ගිවිසුම දෙරට අතර පවතින මිත්‍රශීලී සහ සමීප සබඳතා තවදුරටත් තහවුරු කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන බවයි.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා මෙවැනි රාජ්‍යතාන්ත්‍රික සංචාර මගින් තවදුරටත් ශක්තිමත් වනු ඇති බව එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර තිබේ.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයාද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කැමැත්තෙන් පසුවන බව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙන අතර ලබන වසරේ අගෝස්තු මාසයේ පැවැත්වෙන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
දෙරට අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, කෘෂිකාර්මික සහ විදේශ රැකියා යන ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳවද මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළහ.
එමෙන්ම විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත්රය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට තායිලන්තය සූදානම් බවත්, ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් කටයුතු කළහැකි බවත් තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසීය.
තායිලන්තයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. තම රටේ පුරවැසියන්ට සලකන ආකාරයෙන්ම විදේශීය ශ්‍රමිකයන්ට ද සලකන බව අවධාරණය කළ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති කර නොගත යුතු බව ද සඳහන් කළේය.
ඉදිරියේදී තායිලන්තයේ නිල සංචාරයක නිරත වන ලෙසද, මෙහිදී තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කළේය.


