සුළිකුණාටුවක් ගැන සෑහෙන දෙනෙක් කලබල වෙලා විස්තර අහනව. මුලිම්ම එහෙම අහපු අයට ස්තූතියි!
මතක් කරල බලන්න ඔය සෝෂල් මීඩියා ඇතුලෙ නොවැම්බර් 23 වගේ ඉඳලම හෙනටම කැරකෙන සුළිකුණාටුවක් ආව. (තමුංගෙ ඇප් එකේ හුළං කැරකෙද්දි ගොඩදෙනෙක් එහෙම තමා හිතන්නෙ) පස්සෙ ඒක නොවැම්බර් අගට ගියා. දැං නං දෙසැම්බර් 4,5 ට ගිහිං තියෙනව.
ඇත්තටම දවස් හතරපහකට එහා ලංකාවෙ අනාවැකිවල ඇත්ත ස්වභාවය තමයි මේක. ඔය ඇප්එකේ අනාවැකි ගණනය කරන්නෙ මූලික නිරීක්ෂණ දත්ත පාවිච්චි කරල. ඒව දවස් තුන හතර පනිද්දි අවිනිශ්චිතතාව (uncertainty) ගොඩක් වැඩිවෙනව. විෂයට ආදුනික උනාම හෝ අනාවැකිවල uncertainty ගැන අදහසක් නැතිවුනාම, එහෙමත් නැත්තං සමහරුන්ට වගේ මොනටයිසේෂන් රෝගෙ ඇතිවුනාම සුළිකුණාටුවකට දවස් දහයකට විතර කලිං ඒ ගැන නිශ්චිත අනාවැකි කියනව. ඒ කරල කියනව බය කරන්න නෙවේ සූදානම් කරවන්නය කියල. සූදානමක් වෙනුවෙන් කතා කරන අයත් ඇති. ඒක හොඳයි. ඒ පිරිසට අපි රෙස්පෙක්ට්!
එතකොට ඇත්තට 05 වෙනිද මොකද වෙන්නෙ?
“තවමත් සැලකියයුතු නිවැරදිතාවකින් අනාවැකි නෑ” කියන එක තමා හරිම උත්තරේ. අද 28. තවත් සතියක් තියෙනව 5ට. සාමාන්‍යයෙං මේකාලෙ හැදෙන සුළිකුණාටු දිවයිනට සෘජු බලපෑම් ඇති කරපු තත්වයන් ඓතිහාසිකව (climatological observation) නිරීක්ෂණය වෙනව. ඒකත් එක රිස්ක් එකක්. ඒ නිසා 5ද 10ද කියනවට වඩා සුළිකුණාටු අවදානමක් තියෙනව කියන එක වඩාත් තර්කානුකූලයි. නමුත් වඩාත් නිවැරදි අනාවැකි වෙනුවෙන් තවත් බලං ඉන්න වෙනව.
ඇයි මං මෙහෙම කියන්නෙ.
නිකමට හිතන්න එක්සත් ජාතීන්ගෙ සංවිධානය යටතෙ තියෙන කලාපීය සුළිකුණාටු පිළිබඳ විශේෂඥ මධ්යස්ථානයටවත් තවම කියාගන්න බෑ 5 වෙනිද ලංකාවට සුළිකුණාටුවක් එනවද නැද්ද කියල. මේ ආයතනය ඩොලර් මිලියන ගනං වියදං කරල නිරීක්ෂණ අරගෙන අනාවැකි ගණනය කරනව. ඒ අනාවැකිවලිං ඇතැම් කොටස් සෝෂල් මීඩියා ඉන්න අයගෙ ඇප්වලත් තියෙනව. ඉතිං මෙයාල ඩොලර් 20කට විතර අවුරුද්දකට ඇප් එකක් අරගෙන අර මිනිස්සුන්ට වඩා විශේෂඥයො වෙලා දවස් දහයකට කලිං සුළිකුණාටු ගැන අනාවැකි කියනව! මෙතනදි මං එහෙම කියන අයව හෑල්ලුවට ලක්කරනව නෙවේ. ඒම කියන එකත් එක විදියකට හොඳක්. නමුත් ඒක ඕවර් ගියාම අප්සට්.
මේ වගේ අවස්ථාවකදි අවදානමක් තියෙනව කිව්වම ඒ වෙනුවෙන් අපි යම් යම් සූදානම් වීම් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගෙවල්වලට බරවෙච්ච ගස්වල අතු කපල දාන එක වගේ. හැබැයි ආපදා මල්ල අරගෙන ආරක්ෂිත ස්ථානවෙත යන එකට අදාල සිද්ධියට දිනකට පමණ පෙර ගන්න තීරණයක්. ඒ නිසා අනියත බියක් වෙන්න අවශ්‍ය නෑ!
තවත් එක කාරණා කීපයක්!
හැම සුළිකුණාටුවක්ම ලංකාවට එන්නෙ නෑ. ගොඩක් ඒව ලංකාවෙං ඉවතට යන්නෙ. ඒ වගේම සෑම අඩුපීඩන කලාපයම සුළිකුණාටුවක් දක්වා වර්ධනය වෙන්නෙත් නෑ. දකුණු අර්ධගෝලයේ සුළිකුණාටු අපිට එන්නෙත් නෑ. අනික ලංකාවට බලපෑම් ඇතිකරන්න සුළිකුණාටුවක් වෙන්නම අවශ්‍යත් නැහැ. අඩුපීඩන කලාප, පීඩන අවපාතයවලිං උනත් ඉහල බලපෑම් තියෙන්න පුළුවන්.
දැනට අන්දමන් ආශ්‍රිතව අඩුපීඩන කලාපයක පැනනැගීමක් ගැන තොරතුරු තියෙනව. ඒ නිසා අවදානයෙන් සිටීම සහ නවතම අනාවැකිවල සැබෑ තොරතුරු ගැන දැනුවත් වෙන්න. සෝෂල් මීඩියා ඇතුලෙ දකින තොරතුරු ගැන විමර්ශනාත්මකව කල්පනා කරන්න.
~ කාලගුණය සහ දේශගුණය ෆේස්බුක් පිටුවෙනි


