වැටුප් නොගෙන වැඩකරන බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ තෙල් සංස්ථා සභාපතිවරයා රුපියල් 625,000ක වැටුපක් ලබාගන්නා බවත් එය මෙතෙක් තෙල් සංස්ථා ඉතිහාසයේ සභාපතිවරයකු ලබාගන්නා වැඩිම වැටුප බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමූ සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතාව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පොලීසියට කළ පැමිණිල්ලක් මත අත් අඩංගුවට ගෙන සිරගත කර ඇති බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
එමෙන්ම මෙම අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
“අපේ පක්ෂයේ මෙන්ම මේ රටේ වෘත්තීය සමිති ක්ෂේත්රයේ දීර්ඝ කාලීනව නායකයෙක් හැටියට වැඩකරපු, විශේෂයෙන්ම ඛනිජ තෙල් සංස්ථාවේ වංචා දූෂණ දිගින් දිගටම හෙළිකරපු ආනන්ද පාලිත මැතිතුමා අත් අඩංගුවට ගත්තා. එතුමාව අත් අඩංගුවට ගැනීම ගැන අපේ පොලීසිය භාර ඇමතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා රංජිත් හෙට්ටිආරච්චි කියලා කෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතයෙක් පැමිණිල්ලක් දාලා තියෙනවා, ඒ පැමිණිල්ල උඩ තමයි එතුමාව අත් අඩංගුවට ගත්තේ කියලා. එහෙත් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට වාර්තා කරලා තියෙන්නේ ජනාධිපති කාර්යාලයෙන් ලැබිච්ච පැමිණිල්ලක් අනුව තමයි ඔහුව අත් අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරේ කියලා. එතකොට දැන් ඇමතිතුමා කිව්වා කතාවේ කිසිම සත්‍යතාවයක් නැහැ. මොකද මගේ ළඟ තියෙනවා ඔය කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රංජිත් හෙට්ටිආරච්චි මහත්මයා ආනන්ද විජේපාල ඇමතිතුමාට යවපු ලිපියක්. ඒ ලිපියේ රංජිත් හෙට්ටිආරච්චි පැහැදිලිව කියනවා ‘මා විසින් ආනන්ද පාලිත මහතාට විරුද්ධව කිසිදු අවස්ථාවක පැමිණිල්ලක් ඉදිරිපත් කළේ නැත. මෙම ප්‍රකාශය මාධ්‍ය මගින් විකාශය වීමෙන් පසු මා නියෝජනය කරන වෘත්තීය සමිතියේ සාමාජිකයින් අතර නොසන්සුන්තාවයක් ද හටගෙන ඇති අතර මහේ කීර්තිනාමයට ද හානි සිදුව තිබේ. එම නිසා මෙම ප්‍රකාශය වහාම නිවැරදි කරන ලෙස ඉල්ලමි’ කියලා.
ඒ වගේම තමයි මේ ආනන්ද පාලිත මැතිතුමා මේ චෝදනාවට ලක්වෙන්නේ එතුමා අතිකාල දීමනා වැඩිපුර අරන් තියෙනවා කියලා. ඒ ගැන ඛනිජ තෙල් සංස්ථාවේ මානව සම්පත් කළමනාකරණ අංශය 2015.01.20 නිකුත් කළ ලිපියේ පැහැදිලිව ඔවුන් සටහන් කරලා තිබෙනවා එම දීමනාවල් ගන්න ඔහුට අයිතියක් තියෙනවායි කියලා. ඒ ලිපියත් මම සභාගත කරනවා.
එතකොට මොකක්ද මේකෙ ඇත්ත කතාව ? ආනන්ද පාලිත වෘත්තීය සමිති නායකයා පහුගිය කාලෙ දිගින් දිගටම මේ ආණ්ඩුවේ තියෙන වංචා දූෂණ හෙළිදරව් කළා. ඒකෙදී ප්‍රධානම හෙළිදරව්වක් ඔහු කළා – වර්තමාන තෙල් සංස්ථා සභාපතිවරයා, රාජකරුණා කියන මහත්මයා කලින් වැඩ කළේ CPSTL ආයතනයේ. ඒ කියන්නෙ ඛනිජ තෙල් ගබඩා පර්යන්ත පෞද්ගලික සමාගමේ. එතකොට එතුමාට පඩිය හම්බුණේ ලක්ෂ 2යි. අද සභාපති හැටියට එතුමා 625,000ක් පඩි ගන්නවා. අන්න පුනරුදය … නිකම් සභාපතිකම් දරන්න ආවෙ, නිකම් වැඩකරන්න ආවෙ, දැන් 625,000ක් පඩි ගන්නවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉතිහාසයේ කිසිම සභාපතිවරයෙක් මෙවැනි පඩියක් අරන් නැහැ. අන්න ඒක ගැන පැමිණිල්ලක් කළා ආනන්ද පාලිත මැතිතුමා ගිහිල්ලා මෙච්චර පඩි ගන්නේ ඇයි කියලා. ඒ විතරක් නෙවෙයි 2026 ජනවාරි මාසේ එතුමා තව පැමිණිල්ලක් කරලා තියෙනවා සීඅයිඩී එකට සභාපතිවරයාට විරුද්ධව – පෙට්‍රල් මෙට්‍රික් ටොන් 22500ක් මාස හයක් තිස්සේ රහසිගතව හංගාගෙන හිටියා, එහෙම හංගාගෙන සිටීම නිසා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 865ක් වාෂ්ප වෙලා තියෙනවා. මිලියන ගාණක අලාභයක් සිද්ධ කරලා තියෙනවා කියලා. ඊළඟට 2022 ගෝඨාභය රාජපක්ෂ මහතා බලයේ ඉන්න කාලෙ ඇනවුම් කළ ඉන්ධන රථ 14ක් ඒ ඇනවුම් කරපු අයට යවන්නේ නැතිව වෙනත් අයට යවලා කියලා රාජකරුණා මහතාට විරුද්ධව 2026 ජුනි මාසේ පැමිණිල්ලකුත් තියෙනවා. එයා කළමනාකරු හැටියට සපුගස්කන්දේ වැඩකරනකොට. ඒ පැමිණිල්ලේදී එතුමාට විරුද්ධව සාක්ෂි පවා ඉදිරිපත්වෙලා තිබෙනවා. එහෙම තියෙන හින්දා තමයි මේ ආනන්ද පාලිතව ලොකු කරදරයක් වුණේ. ඒ නිසා ආනන්ද පාලිතගේ කට වහන්න ආණ්ඩුව මොකද කළේ ? ඔහු ඕවර් ටයිම් වැඩිපුර දාලා තියෙනවා කියලා ඔහුව හිරකළා. CCIB එකට ඔහුට එන්න කිව්වේ වාහන අවභාවිතා කළා කියලා කට උත්තරයක් ගන්න. එහෙම එන්න කියලා අන්තිමට උසාවියට ඉදිරිපත් කළේ ඕවර් ටයිම් වැඩිපුර ගත්තායි කියලා. මොකක්ද මේ කරන්නෙ ? ඕකද ඕගොල්ලො මේ රටේ ජනතාවට දුන්නු පොරොන්දුව ? දැන් අත් අඩංගුවට ගන්නවා නම් අපි දාපු පැමිණිලි කොච්චර තියෙනවාද ? රුපියල් මිලියන 20,000ක් හිටපු බලශක්ති ඇමතිතුමා බාල ගල් අඟුරු ගෙන්නලා පාඩු කළා, අපි අල්ලස් කොමිසමට පැමිණිලි දාලා තියෙනවා. කන්ටේනර් 323 හොරෙන් පැන්නුවා. ඇයි ඒවාට ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ ?”
මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි.


