සෞදි ව්‍යාපාරික දූත පිරිස විදේශ කටයුතු ඇමති හමුවට!

0
340

අජ්ලන් සමූහ ව්‍යාපාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා සහ සෞදි අරාබියේ සෞදි චීන ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා වන ෂෙයික් මොහමඩ් අල්- අජ්ලන්  මහතා, ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට අපේක්ෂිත ආයෝජන සම්බන්ධයෙන් කරුණු සෙවීමේ මෙහෙයුම සඳහා, 2022 නොවැම්බර් 13 වැනි දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා හමුවිය.

වරාය නගරය, ආගන්තුක සත්කාරක අංශය සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය ඇතුළුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සතු ඔරොත්තු දීමේ හැකියාව සහ ශක්‍යතා සහිත ආයෝජන අවස්ථා පිළිබඳව අමාත්‍ය සබ්රි මැතිතුමා මෙහිදී මෙම නියෝජිත පිරිස දැනුම්වත් කළේය.

ශ්‍රී ලංකාවේ විවිධ අංශ ආශ්‍රිතව ආයෝජනය කිරීම සම්බන්ධයෙන් තමන් තුළ පවතින කැමැත්ත පළ කළ ෂෙයික් මොහමඩ් මැතිතුමා, ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ සහය ඉල්ලා සිටියේ ය. අජ්ලන් සමූහය ගෘහ, කර්මාන්ත, වාණිජ සහ ගබඩා අවකාශ සම්බන්ධයෙන් විශේෂිත සෞදි අරාබියේ ඉහළම දේපළ වෙළඳාම් සමාගම් අතර සිටින එක් සමාගමක් වේ. මෙම සමාගම රටවල් 25 කට අධික ගණනක් තුළ සැලකිය යුතු මට්ටමේ  ආයෝජන  සිදු කොට ඇත.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහ එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුව සඳහා සහභාගී වූහ. සෞදි නියෝජිත පිරිසට අජ්ලන් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළත් විය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 නොවැම්බර් 14 වැනි දින