1. ජනාධිපති අරමුදලෙන් අ.පො.ස උසස් පෙළ සිසුන් සඳහා ලබා දෙන ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම් කිරීමේ අවසාන දිනය 2022 දෙසැම්බර් 30 දක්වා දීර්ඝ කෙරේ.
2. “පෞද්ගලික” හේතුවක් මත ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ තම ධුරයෙන් ඉල්ලා අස්වෙයි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් කැඳවූ මාධ්‍ය හමුවීමකින් අනතුරුව සුරතලයට ඇතිකරන සුනඛයකු ලිංගිකව අපයෝජනය කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති බවට මාධ්‍ය වාර්තා පළවෙයි – එම චෝදනා ප්‍රතික්ෂේප කරන මාරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනුකරයි – සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන රැන්ඩි පදනම මීට එරෙහිව වහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා සිටියි.
3. කඳුරට දමිළ ප්‍රජාව විසින් ඉකුත් සියවස් දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙනුවෙන් ලබා දුන් අඛණ්ඩ දායකත්වය අගයමින් වැඩසටහන් කිහිපයක් පවත්වන මෙන් ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යොමුකළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි.
4. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ප්‍රාර්ථනා කළ මනුෂ්‍යත්වයේ, සහජීවනයේ සහ පරිත්‍යාගයේ ශුභාරංචිය ලොව පුරා පැතිරෙන මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය නත්තල් සුබපැතුම් පණිවිඩය හරහා ප්‍රකාශ කර සිටියි – මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබා දෙන බවද පවසයි.
5. මනුෂ්‍යත්වයේ වටිනාකම ධනය, බලය සහ පුළුවන්කාරකම මත රඳා නොපවතින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරති – නත්තලෙන් කියාපාන්නේ මනුෂ්‍යත්වයේ උත්තරීතරභාවය පිළිබඳ වෙනස්ම පණිවිඩයක් බවත් ඒ තුළ තන්හාව නොමැති බවත් අවධාරණය කරති.
6. නොරොච්චෝලේ මෙගාවොට් 270 ක ධාරිතාවයක් ලබා දෙන බලාගාරය වසා දැමීමෙන් පසු දෛනික විදුලි අවශ්‍යතාවය සැපිරීම අභියෝගයක්ව ඇති බව ඉංජිනේරුවෝ පවසති – එම අඩුව පිරවීමට ඩීසල් බලාගාරවලින් විදුලිය ලබා ගත යුතු බව ද පවසති.
7. මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාළ ලියකිවිලි, මුද්‍රා ආදිය ව්‍යාජ ලෙස සැකසූ බවට චෝදනා ලැබි තැරැව්කරුවන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලබයි – මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කොළඹ දකුණ පොලිස් වසම භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.එච් මාරපන විසින් දියත් කළ වැටලීමකදී ය.
8. ඉදිරි කාලයේදී පළාත් පාලන මැතිවරණය පවත්වනු ලැබුවහොත් ආදිවාසී ජනතාව වෙනුවෙන් ද ස්වාධීනව මැතිවරණයට පිවිසීමට සූදානම් බව ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන් පවසයි.
9. දැවැන්ත මූල්‍ය වංචාවකට අදාළව චෝදනා ලැබ සිටින ව්‍යාපාරික කාන්තාවක් වන තිලිණි ප්‍රියාමාලිට ඇප ලැබී තිබියදී ද බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටවීමට අවසර නෑ – බන්ධනාගාරය තුළදී ජංගම දුරකතනයක් භාවිතා කිරීමේ චෝදනාවට ගොනුකළ නඩුවක් මත මෙසේ බන්ධනාගාරයෙන් පිටව යාමට අවසර ලබා දී නැත.
10. එළඹෙන දෙසැම්බර් 26 (සඳුදා) දින රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කළේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රමාද කිරීමේ ප්‍රයද්නයක් ලෙස ද යන්න සමඟි ජන බලවේගයේ පා.ම. එස්.එම්. මරික්කාර් ප්‍රශ්න කර සිටියි – මෙම ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කිරීමට නියමිතව තිබුණේ සඳු දින බව ද සිහිපත් කරයි.