දිනේෂ් ශාෆ්ටර්ගේ ශරීර කොටස් සුරක්ෂිතව තබා ගැනීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි!

Date:

මරණයට පත් ව්‍යපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ ශරීර කොටස් විමර්ශන කටයුතු සඳහා ලබාගෙන තිබේ නම් ඒවා සුරක්ෂිතව තබා ගැනීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද රජයේ රස පරීක්ෂකවරයාට හා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර ඇත.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් මෙම නියෝගය නිකුත් කළේ දිනේෂ් ශාෆ්ටරගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණයෙන් කල ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කියා සිටියේ දිනේෂ් ශාෆ්ටර් රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහු සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂණ දෙකක් ඇතුළු ප්‍රතිකාර කටයුතු සිදු කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි. එම ප්‍රතිකාරවලට සම්බන්ධ සියලු වාර්තා අධිකරණය හමුවට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එම ඉල්ලීම පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය මියගිය දිනේෂ් ශාෆ්ටර් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රතිකාර වලට අදාල ලේඛන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරනු ලදී.

එහිදී තවත් ඉල්ලීමක් ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥවරයා දිනේෂ් ශාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අවස්ථාවේදී සහ ඊට පෙරත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙකු සහ බොරැල්ල පොලිසියේ නිලධාරීන් විසින් ඡායාරූප ලබාගෙන තිබෙන බව සඳහන් කර ඇත.

එම ඡායාරූප සංයුක්ත තැටියකට ඇතුළත් කොට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට එම ආයතන වෙත නියෝග නිකුත් කරන ලෙස ද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා. එම ඉල්ලීමද පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය අදාළ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන තිබේ නම් ඒවා සංයුක්ත තැටියකට ඇතුළත් කොට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස එම ආයතනවලට නියෝග කළාය.

විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධය සිදු වූ ස්ථානයේ තිබී ආගන්තුක ජෛව සාම්පලයක් සොයා ගෙන ඇති බවත් ඒවා එම ස්ථානයට පැමිණි පුද්ගලයින් හා සැසඳේ ද යන්න පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබේ.

ඒ අනුව එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ ජෛව සාම්පල සහ එම පරීක්ෂණයට භාජනය කිරීමට නියමිත පුද්ගලයින් රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර විමර්ශන සිදුකිරීම සඳහා අවශ්‍ය නියෝගයක් ද එහිදී නිකුත් කළා. ඉන් අනතුරුව මෙම සිද්ධියට අදාළ නඩුකරය ලබන 17 වනදා යළි කැදවීමට නියෝග කෙරුණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...

මා වැඩ කළේ අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් අනුවයි – වරද පිළිගත් ආගමන විගමන පාලක අධිකරණයේදී කළ ප්‍රකාශය

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගම් දෙකකට ලබාදීම...

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...