*
Friday, September 27, 2024
spot_img

Latest Posts

සිංහයටත් ලැජ්ජයි

නිශ්මං රණසිංහ

කොළඹ (LNW): රටක් නියෝජනය කරමින් ඔලිම්පික් පරිසාධනයට පිවිසීම පහසු නැත.නිශ්චිත පරිසාධන මට්ටම ඉක්මවා සෘජු සුදුසුකම් සඳහා පිවිසීම හෝ පිළිගත් ඔලිම්පික් සුදුසුකම් ලබා ගත හැකි තරගවලට ඉදිරිපත්ව ඉහළ ස්ථානවල රැඳෙමින් සුදුසුකම් ලැබීමට අවශ්‍යය ලකුණු එකතු කර ගැනීමට ක්‍රීඩකයෙක්ට සිඳු වෙයි.ඒ සුදුසුකම ලොවක් ඉදිරියේ රටක් ගැන කතා කරන්නට මාර්ගය සකස් කරන වැඩ පිළිවෙලකි.එවැනි හපන්කමකට උත්සාහ කළ හැකි දූ පුතුන් රටට දුන් දෙමව්පියන්ට තව දුරටත් ඒ දූ පුතුන්ම බරක් කරගෙන තමන්ගේ අතකර කණ කර,ගේ දොර ආදී දේපළ විකුණා දමා රට වෙනුවෙන් ඒ සුදුසුකම සපුරා ගැනීමට හැකිදැයි පරික්ෂා කරන්නට, තම දූරුවන් රට රාජ්‍යවලට යවන්න සිඳුවෙනවා නම් අපේ මහජන මතයෙන් රට සහ රටේ පුරවැසියන්ගේ වගකීම් භාරගත් පාළකයන් කුමටද?

ඊට වඩා පඹයින් සුදුසුය.

මෙවැනි පඹ කටයුතු මිස ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් හෝ එහි ප්‍රධානියාගෙන් ක්‍රීඩකයින් සහ ක්‍රීඩාව දෙස බලන දැක්මක් දකින්නට නොහැකිය.වසර ගණනාවක සිට ඇසෙන ඇමති පම්පෝරි සහ තමන්ට හිතවත් මිනිස්සු පිනවන්න ඔවුන් අතට බලය යන විදිහට ක්‍රීඩාව ආරක්ෂා කිරීමේන් ඔබ්බට යමක් කෙරෙන බවක් සිතන්නට නොහැකිය.මේ මොහොතේත් මුලින් සඳහන් කළ භූමිකාවේ රඟමින් ආසියානු සභාපතිවරයාට සහ ඔහුගේ ලාංකේය හිතවත් පාර්ශවයට ශ්‍රී ලංකාවේ රගර් දන් දුන් බව කියන්නට ගොස් සිටින අමාත්‍යවරයා ජපානයට හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ ඔලිම්පික් බලන්නට වියදම් කර එක්ක ගෙන ගිය ද,ඔලිම්පික් සුදුසුකම් ලබන්නට උත්සාහ කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා වැය කරන්නට අත දිග හැරෙන්නේ නැත.

ජපානයේ හම්බ කරපු හැටි සහ වට කර ගත් ව්‍යාපාරික ප්‍රජාවගේ කතා අසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජපානයට ගොස් මඟක් ගානේ රථ වාහන කොටස් එකතු කිරිමෙන් පුද්ගලයෙක් හැටියට දියුණු විය හැකි බව පෙන්නා දිම හැරෙන්නට රටක් ගැන පුළුල් හැඟීමක වෙළෙමින් රටට කීර්තියක් ලැබෙන ක්‍රීඩාව වැනි විෂය ගැන ක්‍රීඩා අමාත්‍යවරයාට ඇත්තේ අල්ප හැඟීමක්ය.එසේම බලය සහ තමාට ජපානයෙන් වාහන බඩු ගෙන්නන බිස්නස් කාරයෙක් විදිහට සමාජයෙන් ලැබෙන ගෞරවය මහජන නියෝජිතයෙක් ලෙස පුම්බා ගන්න දේශපාලනයට පිවිසි රොෂාන් රණසිංහලා දේශපාලනය සඳහා අවශ්‍යය සමාජ වටිපිටාව මුල සිට සකස් කර ගත් අය නොවේය.එවැනි විෂයක් න්‍යායාත්මක හදාරපු අය ද නොවේය.සල්ලි සෙවීම පරමාර්ථය කර ගත් තමන්ගේ සහ තමන්ගේ පවුලේ තත්ත්වය සවි කර ගැනීම සඳහා හම්බ කිරීමේ උවමනාව ඇති කර ගත් ඔව්හූ මුදල් ලැබුණ පසු තමන්ට නොලැබුණ ගෞරවයේ ඇරියස් කවර කර ගැනීමට දේශපාලනයට පිවිසි පුද්ගලයෝය.ඒ නිසා කිසිඳු පුළුල් දේශපාලනමය හැඟීමකින් පන්නරයක් නොලද රට ගැන හැඟීම,රට ලෝකයට රැඟෙන යන්නට තිබෙන වෙහෙසකර මාවතක් සංරක්ෂණය කිරිමට ක්‍රීඩාවනම් විෂය භාර දුන්න ද පලක් නැත.පැටි වියේ සිට කරපු ක්‍රිඩාවක් හෝ කරපු දේශපාලනයක් නැති රොෂාන් රණසිංහලා තවමත් හිතන පතන පිළිවෙල තමන්ගේ ව්‍යාපාර පුංචියට ආරම්භ කරපු තැන සහ දේශපාලනයට ඇවිත් සොයි ගන්නට තැනූ තත්ත්වයේ සිරව ඇත.

මේ හිරවීම ඇතුළේ හිරවෙන්නේ කුමක් ද?

ක්‍රීඩාවය. ක්‍රීඩකයාගේ භූමිකාව සහ ඔහුට හෝ ඇයට ලැබිය යුතු මඟ පෙන්වීම දිරි ගැන්වීම විවර කර දිය යුතු මාර්ගය ගැන ඔහුට හැඟීමක් නැත.එසේම ක්‍රීඩාව සඳහා තෝරා පත් කර ගන්න පාළකයන් තමන්ගේ සංගම් ස්වාධිනව හසුරුවාගෙන යාම ගැන කැමති වන්නේත් නැත.හැම දේම වචනයෙන් වචනය පැමිණ කියා යන දෙරකඩ මුරකරුවන් සේ රජුන් දකින සෙයියාවෙන් යටහත්ව පහත්ව හිස කසන සංගම් සම්මේලන පාලකයෝ මෙවැනි හිස්තැන් සහිත ඉතිහාසයක් ඇති මිනිසුන්ගේ සිහිනය.පරමාර්ථය.ඒ නිසාම සිහින පරමාර්ථ කර ගත් මොවුන්ට කළ හැක්කේ රටේ ක්‍රීඩාවෙන් ලැබිය හැකිව තිබෙන ජයග්‍රහණ සහ අවස්ථා සීහින බවට පෙරැලීම පමණය.

මේ පුර්විකාව දිග වැඩි වෙන්නට ඉඩ ඇත.නමුත් එය සඳහන් කළ යුතුය.ඔලිම්පික් සිහින සැබෑ කර ගන්නට උත්සාහ කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් මේ මොහොතේ මාධ්‍යයට ලැබුණු තොරතොරු ඔස්සේ කරුණු විමසද්දීත් සැඟවෙමින් ක්‍රීඩාව හා රැකියාව අතර හිරවෙමින් ඇත.නමුත් අප ඒ සත්‍යය සහතික කරන ඇතැම් සාක්ෂි සොයා ගන්නට සමත් විය.ඔලිම්පික් සුදුසුකම් ලැබීම සම්බන්ධයෙන් තරග කරවන්න මලල ක්‍රීඩා සංගමයට වත්කමක් නැත.එය යම් ආකාරයක ඉල්ලිම් සඳහා හිත රිදෙන ආමන්ත්‍රණ ලැබෙන තැනකි.නම වෙනුවට පොදුවේ එම වචනවලින් ආමන්ත්‍රණය සමහර විට නිලයෙන් ලැබෙන ආභාෂය මිස වෛරයක් නොවන්නට පුළුවන් වුණත්,හොඳ පුරුද්දක් හැටියට ඒ වචන සමුහය වෙනස් කරගත හැකිනම් ක්‍රීඩකයන්ගේ හිත් තැලෙන්නේවත් පසුබට වන්නේවත් අකර්මන්‍ය වන්නේවත් නැත.

මා වැනි බිළින්දා කවි පදයේ එන රජ කෙනෙක් මලල ක්‍රීඩාවට පහළ නොවන්නේය.දුක සැප කුමන්දා කියා සහ තම අවශ්‍යයතා සිනාසෙමින් සැහැල්ලුවෙන් කතා කළ හැකි අයෙක් ප්‍රධානියා වන සිහිනය ක්‍රිඩකයන්ට ලැබෙන්නේ නැත.එම ක්‍රීඩකයින් නියෝජනය කරන පළාත්,ගම් නගර ක්‍රීඩා සමාජ ද ඒවා හිතන්නේ නැත.ක්‍රීඩකයාට ලැබෙන පිළිගැනීම වෙනුවට තමන්ට ලැබෙන අගයකිරීම් ඔවුන්ට එකය.ඒ නිසා සංස්කෘතිමය වශයෙන් ක්‍රීඩාව වෙනස් කරන්න අවශ්‍යය හැඩය වෙනුවෙන් සිටින පාළකයන්ම වෙනස් කිරිමට අවශ්‍යය සාකච්ඡාව සැකසෙන්නේ නැත.නිලවරණයකදී ක්‍රීඩකයාගේ සහ ක්‍රීඩිකාවගේ ආත්ම ගෞරවය රැකෙන මෙන්ම ඔවුන්ට සෘජුව සාකච්ඡා කළ හැකි පාලකයා නිර්මාණ කරන්න අවශ්‍යය කොන්දේසි ඡන්දය වෙනුවෙන් ඉදිරිපත් කිරීමක් ද නැත.

ඉතිං එවැනි පසුබිමක ජපානයේ ඔලිම්පික් අපේක්ෂිත තරගයකට යන්න හිස් ලූලූ අත දුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතර දෙනෙක් ගැන ඔවුන් නිහඬ වුව ද අපේ සොයා බැලිම් අනුව ලිවිය යුතු බව තිරණය කළෙමු.මේ වන විට අපේක්ෂිත පරිසාධනය වෙනුවෙන් තරග වදින්න අවශ්‍යය පුහුණුව වෙනුවට ඔව්හූ තමන්ද තමන්ගේ හිතවතුන් ද පිරිවරා ගෙන ගුවන් ටිකට් පත්වලට මුදල් සෙවීම කෙරෙහි වෙනත් ක්‍රීඩාවකට කාලය වැය කරමින් සිටිති.උදයක් දහවලක් රැයක් නැතුව ලක්ෂ ගණන් මුදල් සොයන්නට සිඳු වි තිබෙන මොවුන් උත්සාහ කරන්නේ ඔලිම්පික් යන්නටය.එසේ යන්නට අවස්ථාවක් ලැබුණොත් මේ රටේ දෙකෝටියක ජනතාව ඔවුන් නියෝජනය කරන්නේය.පෞද්ගලික ඉලක්කයක් සේ පෙණුන ද ඔවුන් අවසාන වශයෙන් කරන උත්සාහයේ පලය ලැබෙන්නේ මේ රටේ කොඩිය යට එකතු වෙන සෑම පුරවැසියෙක්ගේම නියෝජනයක් හැටියට මිස, ඔවුන් වෙනුවෙන් තමන්ගේ කණකර උගසට තබන,දේපළ විකුණා දමන මව්පියන්ගේ,නෑ හිතවතුන්ගේ ඡායාරූප ඔවුන් වෙනුවෙන් ප්‍රදර්ශනය වන්නේ නැත.

ඔවුන් අපේක්ෂා කරන තරග වන්නේ මැයි 3 වන දා පැවත්වෙන ශිෂොව්කා හී දී (Shizuoka) පැවත්වෙන තරගාවලිය,මැයි 7 වන දා කිනමි (Kinami) හි පැවත්වෙන තරගාවලිය සහ මැයි 21 වන දා පැවත්වෙන සිකෝ හී (Seiko) පැවත්වෙන තරගාවලිය යන තරගාවලි තුන එම තරගාවලි තුනයි.එහි දී ගයන්තිකා අබේරත්න සහ අරුණ දර්ශන මැයි තුන්වන දා සහ මැයි හත්වන දා පැවත්වෙන තරගාවලි නියෝජනය කරන්නට නියමිතය.7 වන දා පැවත්වෙන තරගාවලිය නියෝජනය කරන්නේ නිලානි රත්නායකය.මැයි 21 වන දා සාරංගි ද සිල්වා තරග වැදීමට නියමිතය.

මේ අතරින් නිලානි රත්නායක සහභාගිවන මීටර් 3000 බාධක දීවිමේ ඉසව්ව පවතින්නේ අඩුවෙන්ය.ශ්‍රී ලංකාවේ ද මේ ඉසව්ව හැම පිටියකම පවත්වන්නට හැකියාව නැත.ඒ බාධක දිවීමේ දි යොදා ගන්නා දියවල නොමැති බැවින්ය.මේ හිඟකම නිසාම සහ දුර සිට සූදානම් නොවිම,ඉසව්වක් භාරව කටයුතු කරන ලද තාක්ෂණික නිලධාරීන්ගේ නොසැළකිල්ල නිසා කඩුල්ලක් පිරිමි තරගය තරම් උසට තබා එයින් නිලානි ආබාධයකට ලක්වීම (මේ සම්බන්ධයෙන් එම නිලධාරීන්ට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගන්නට ක්‍රීඩකයින්ට වඩා නිලධාරි හිතවත්කම් රකින මලල ක්‍රීඩා සංගමය ද ක්‍රීඩා අමාත්‍යංශය ද පියවර ගත්තේ නැත.)වැනි කරුණු නිසා නිලානිට ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සුදුසුකම් ලැබීමේ අවස්ථාව ගිලි හී ගියේය.අවසාන මොහොතේදී පුංචි සීනි තැවරුමක් සමඟ ලබා දුන් ඉන්දීය තරගාවලියේ දී සිඳු වූයේ නිවැරදි සංනිවේදනයක් ඇති කර නොගැනීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවදිල්ලියේ ලගින්නටය.

මෙසේ සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ගයන්තිකා,නිලානි මෙන්ම සාරංගි ද සිටින්නේ ජාතික වාර්තාවන් හී උරුමක්කරුවන් හැටියට ය.එය කිහිප වතාවක් බිඳ දමන්නට තරම් දක්ෂතා පෙන්වා ඇති තිදෙනා අතරින් සාරංගිට වඩා ජ්‍යෙෂ්ඨ වුව ද,ගයන්තිකාගේ මැදි දුර දිවීම මෙන්ම නිලානිගේ බාධක දිවිම ද බලධාරීන් අඩුවෙන් ආකර්ශණය වන ඉසව් බැවින් අවුරුදු 30 න් එහා පැත්තේ සිටින ගයන්තිකාට සහ නිලානිට තරග සංචාර අත්දැකීම් ලැබී ඇත්තේ ඉතා අඩුවෙන්ය.අරුණ දර්ශන ශ්‍රී ලංකාවේ අනාගත බලාපොරොත්තු අතර ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙක් වන අතර ඔහු කණිටු ක්‍රීඩකයෙක් හැටියට දස්කම් දක්වන පළමු අවස්ථාවේ මහත් හරසරින් වැනුව ද,සමහර පිරිස් සමඟ සමුහ ඡායාරූපවලට කැඳෙව්වද අරුණගේ ඉදිරි ගමණට පාවඩ එළීමක් සිඳු වූයේ නැත.අඩුම තරමේ මෙවැනි නැවුම් බලාපොරොත්තු හරහා රටට අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට ඔවුන්ට විදේශ විශ්ව විද්‍යාල මට්ටමේ ශිෂ්‍යත්ව සකස් කිරීමට හෝ ක්‍රීඩා අමාත්‍යංශය,මලල ක්‍රීඩා සංගමය බලපෑම කර රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරන්නට උත්සාහ ගන්නේ නැත.එවැනි ප්‍රතිපත්තමය කාරණා කැබිනට්ටුවට දැණුම් දී වැඩ කරනු වෙනුවට කොළ නාස්ති කරමින් තමන්ගේ හිතවතුන්ට ක්‍රීඩා පරිපාලන තනතුරු පිදිම පිණිස සිටින පිරිස් එලවා දැමීමට අධිකරණයේ ප්‍රතික්ෂේපවීම් නොසළකා ගැසට් ගැසීම වත්මන් ක්‍රීඩා අමාත්‍යංශයේ හැසිරීමේ ස්වභාවය වී ඇත.

එසේම මේ වන විට ආසියාතික මට්ටමෙන් මේ වසරේ දක්ෂතා අනුව සාරංගි සිටින්නේ අංක එකටය.නිලානි රත්නායක සිටින්නේ අංක තුනටය.ගයන්තිකා සිටින්නේ අංක දහයටය.අරුණ දර්ශන හෙට සිහින ගොඩ වුණු පැතුමය.

නමුත් දැන් මේ ක්‍රීඩකයින්ට තරගාවලියට ගොස් ඉහළ දස්කම් දැක්වීමට අවශ්‍යය පුහුණුව පසෙකලා ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා මුදල් සෙවීම සඳහා මහන්සි වෙමින් සිටින්නේ රටේ ක්‍රීඩාවේ පරිපාලනයේ හොඳකම නිසාය.ක්‍රිඩා අමාත්‍යවරයා මේ කරණු සියල්ල නොදන්නවා වෙන්නට ද ඉඩ ඇත.ඒ ඔහු අඩුවෙන්ම අමාත්‍යංශ්‍යට පැමිණ රාජකාරි කරන කෙනෙක් බැවින්ය.ඔහුට මේ බව දන්වා ක්‍රිඩකයින්ට උදව් කරන්න යැයි බලපෑම් කරන්න ක්‍රීඩා කළ අය ද සමහර විට එතැන නැතුව ඇත.හිටියත් ඕවා ගිහිං වැඩක් නැහැ ස්ර් හෝ ඕවා ඉස්සර අපිත් හොයා ගෙන ගියේ ස්ර් කියන ජාතියේ මොඩලයන් ද සිටිය හැකිය.

කෙසේ නමුත් ක්‍රීඩා අමාත්‍යංශය ලැජ්ජා විය යුතුය.අඩුම තරමේ වංචාවක් නොකරන්නේනම් ක්‍රීඩා අමාත්‍යංශය ඉදිරිපිට විශාල කැටයක් සකස් කර තැබිය හැකිනම් “අපිට බැහැ ක්‍රීඩකයින්ට උදව් කරන්න ඔබ උදව් කරන්න” කියා මේ රටේ සාමාන්‍ය මිනිස්සු රුපියල් පහේ කාසිය බැඟින් හෝ එයට ඔබා යනු ඇත.පසුගිය කාලයේ ක්‍රීඩා අමාත්‍යශයේ සුබ සාධනයට ද ක්‍රිකට් ආයතනයෙන් මුදල් ලබා ගත් ක්‍රීඩා ඇමති සහ ක්‍රිඩා අමාත්‍යංශය මේ මොහොතේ අඩුම තරමේ මේ මොහොතේ ක්‍රිකට් ආයතනයට හෝ මේ ජපන් ගමන ගැන පවසන්නේ නැත.එසේ පවසන්න ඇඳුම් ඇඳගෙන අපහසු තත්ත්වයන්ද ඇත.නමුත් හැකිනම් ක්‍රිකට් ආයතනයට හෝ මේ ක්‍රීඩකයින් සහ ක්‍රිඩිකාවන් මුහණ පා සිටින අර්බූදය තේරුම් ගෙන මේ වන විට ඔවුන් පෞද්ගලිකව වැය කර තිබෙන මුදල් පියවන්නට හෝ දායක විය හැකිනම් එය ජාතික කර්තවයකි.

මේ ක්‍රීඩකයින් රන් දමක් කරේ පළදින්නේ නම් හෝ රන් තෝඩුවක් කණෙ දා ගෙන වළල්ලක් හදා ගන්නට සිහින නැති තරුණියන් නොවේය.ඒවා ගිණිගහන අව්වේ පැල කර ගන්නට පල බවට පත් කර ගන්නට ඔවුන් හෙළන දහඩිය ඔබ සියැසින් දවසක් හෝ දැකිය යුතුය.නැති බැරි අපහසුකම්වල පීඩාවෙන් පෝෂණය සම්බන්ධ ගැටළුවලින් කෙසඟ වූ ඔවුන්ගේ සිරුරුවලට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ සමානව සිට ගන්නට අපහසුවීමේ දුක රටේ ක්‍රීඩාවට නිසි වැඩ පිළිවෙලක් නැති කාළකණ්නිකමය.ඒ කාළකන්ණිකමේම පිළිඹුවක් වන ක්‍රීඩාවන්ට අදාළ සංගම් ද ක්‍රියා කරන්නේ ජාත්‍යන්තර සිහින සහිතව නොවේය.එදා වේල ටුවර්ස් ආකාරයෙන්ය.තමන් කැමති රසඥතා තීරණය වන ආකාරයට ඇතැම් අවස්ථාවල බලධාරීන්ට ක්‍රියා කරන්නට ද හැකියාව ඇත.එසේ නැතිවන සහ ඒ නිසා දියුණු නොවන ක්‍රිඩා සහ ක්‍රීඩිකාවන් ගැන ද ඕනෑතරම් උදාහරණය.

රටේ මලල ක්‍රීඩා සහ ක්‍රිඩා බලධාරීන්ට එවැනි කතා පලක් නැත.මේ මොහොතේත් රටේ රිටි පැනීමේ ජාතික වාර්තාව හිමි සහ තවමත් රිටි පැනීම කළ හැකි අංක එකේ ක්‍රීඩිකාව මේ වන විට සිටින්නේ මැද පෙරදිගය.එරට දරුවෙක් බලා ගැනිම අම්මෙක් නොවන මේ තරුණියගේ ඉරණම වි ඇත.ඒ ඉරණම ඇයට ළඟා කරන්නේ මෙරට ක්‍රීඩාවය.තමන්ට ගෝචර නොවන ඉසව්වකින් ඉදිරියට යන්න ජාත්‍යන්තර අත්දැකීම් ලැබ දියුණු වෙන්නට ඉඩක් දෙන්නට බලධාරීන් සූදානම් නැත.කොහෙ පනින්නද අර රටේ අය එක්ක මේ රටේ අය එක්ක කියා වැටෙන සද්දෙ අස්සෙ තියෙන ඇත්තම කතාව ඔවුන්ට දැනෙන්නේ නැද්ද හිතන්නේ නැද්ද යන්න අපි නොදනිමු.ඇත්තටම කියන්න ඕනි අපි පාළකයො හැටියට මෙච්චර කාලය් හිටියට ඒ ඉසව්ව දියුණු කරන්න කිසි දෙයක් කරලා නැහැනෙ.ඒ නිසා මේක කරන්න බැහැ.වරද අපේ වගෙ කතාවක්ය.

ඒත් එහෙම පිළිගැනීම් නැත.මලල ක්‍රීඩා සංගමයේ ඉහළින් නොවේ,ක්‍රීඩා අමාත්‍යංශයෙ වැඩකට ගියත් සමහර නිලධාරීන් වැඩ කරන්නේ ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තිබෙන්නේ ඔවුන් ක්‍රීඩා කරන නිසා නොව ක්‍රඋඩා අමාත්‍යංශයේ නිලධාරීන් වැඩ කරන නිසා බවය.මේ සංස්කෘතිය වෙනස්වන තෙක්ම ලංකාවේ ක්‍රීඩාවට ඔලිම්පික් ජයග්‍රහණ නොව ඔලිම්පික් නියෝජනය ද සහතික කරන්නට නොහැකිය.පිට්ටනියේ දාඩිය හෙළන මිනිස්සුන්ගේ හැකියාවන් ඇස්වල කඳුළු පපුවේ ගින්දර බවට පත්වෙන්න දී ක්‍රිඩාව ගැන පුරසාරම් දොඩන රොෂාන් රණසිංහලා වැනි ඉපැයූ මුදල්වලින් පසු,එම මුදල්වලට බලය ආරෝපනය කරගන්න දේශපාලනයට ආ පුද්ගලයන්ට නාමල් රාජපක්ෂ ඔලිම්පික් අරගෙන යන තරම් ඔලිම්පික් ක්‍රීඩා කරවන්න ක්‍රීඩකයින්ට පාරවල් හදා දීම වැදගත් නැත.ඒ සල්ලිවලින් නාමල් ගොස් මේ රටේ මාධ්‍යයට සහ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවට මලල ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි ගැන ඇඳ බාපු පට්ට බොරුව නිවැරද නොකර එය හැන්සාඩ් හී පරම්පරා ගණනක් තියෙන්නට ඉඩ ඇර ඇත. තිබෙන උද්ධච්ඡකමේම දිගුවක් සේ ඊට වඩා ජපානයේදී වර්ධනය නොවූ ග්‍රාම්‍ය ගති ලක්ෂණත් සමඟ පෙනෙන රොෂාන් රණසිංහ ඔහුට තේරෙන භාෂාවෙන් කියන්නේනම් ඔළුව ටින්කරින් කරගෙන නව පෙණුමක් හදා ගත යුතුය.

පුළුවන්නම් මේ ක්‍රීඩකයින්ට උදව් කරන්න ක්‍රමයක් හොයන්න උත්සාහ කරන්න.ක්‍රීඩා අමාත්‍යංශයේ පිළුණු ඔළුවලට නොදැනෙන මේ වටිනාකම ක්‍රිකට් ආයතනයට හෝ දැනේනම් ක්‍රිඩා අමාත්‍යංශයේ මැදිහත්වීමක් සිඳු නොවන තත්ත්වයක මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතර දෙනාට වැය කරන මුළු මුදල ලක්ෂ 10 – 15 ත් අතර වන්නේය.එය පියවා ගැනීමට සහය විය හැකිනම් අගනේය.ක්‍රිකට් ආයකනය නොවුණ ද වෙනත් ආයතනයකට වුව එය කරන්නට හැකිනම් අපට මැදිහත්කරුවන් විය හැකිය.හමුදාවට බැද තබන ඔවුන් නැතිකම සහ බැරිකම පාළකයන්ගේ හිත්පිත් නැතිකම කියන්නට දිව නොනමනු ඇත.එහෙත් උදව් කරනවානම් ස්තූතියි කියනු ඇත.ඒ සඳහා අපට මැදිහත්වන්නට හැකිය.

ක්‍රීඩාව ගැන මහා පත කත්නදර කියන එහි පාලකයෝ ශ්‍රී ලංකා වාසී සැමටම පමණක් නොව ලංකාව වෙනුවෙන් එසැවෙන සිහ ධජයටත් අවමාන සපයන මිනිස්සුය.ඒ නිසා කොඩිය එසැවෙන දේවල් රටේ සිඳුවන්නේ නැත.තියෙන තත්ත්වයෙන් එසැවෙන්නට කොඩියේ සිංහයා වුව ලැජ්ජාවෙන් සිටිනවා විය යුතුය.මේ රට ලෝකයට අරගෙන යන මිනිස්සු හිර කරන සංස්කෘතියක සිංහයාට ද හිරකරුවෙක් බව සිතෙනු ඇත.හිර කරගෙන සිටින නඩය තමන්ව පෙන්නා පෙන්නා තමන්ගේ පුරසාරම් කියමින් දොඩන පිස්සන් බව දැනෙනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan