දේශීය පුවත් විස්තරය: සාරාංශය 06/27

0
152

  1. අපේක්ෂිත දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය තුළ සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාර අරමුදල (ETF) සතු මුදල් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය සඳහා යෙදවීමට රජය කටයුතු කිරීම වළක්වාලන මෙන් ඉල්ලා, ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායක හිටපු පා.ම. වසන්ත සමරසිංහ ඇතුළු පුද්ගලයෝ සත් දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරති: දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තම තැන්පතුවලට කිසිඳු බලපෑමක් එල්ල නොවන බවට පුන පුනා පවසමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ජනතාව මුලා කරන බවට චෝදනා කරති.
  2. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන ජූලි 01 සහ 02 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීම සඳහා ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ කැබිනට් මණ්ඩල හමුවක් ජූනි 28 වන දින කැඳවා තිබේ.
  3. 2022 මැයි 09 වන දින “ගෝඨා-ගෝ-ගම” විරෝධතාකරුවන්ට එල්ලකළ ප්‍රහාරවල සැකකරුවකු ලෙස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කිරීම සඳහා නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිපිය අභියාචනාධිකරණය අවලංගු කරයි: 2022 ජූලි 07 වන දින විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමේදී හමු වූ රු. මිලියන 17.8 ක මුදලට අදාළව දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නොතීසි ද අවලංගු කරයි.
  4. චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා, දෙරට අතර පුද්ගල-පුද්ගල සබඳතා නැවත ආරම්භ කිරීමට කාලය එළඹ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. නාමල් රාජපක්ෂ පවසයි: අපහසු කාලවලදී චීනය ශ්‍රී ලංකාව සමඟ සිටගත් බවත්, චීනයේ එක-චීනයක් (One-China) ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාව කවදත් අනුගත වූ බවත් සිහිපත් කරයි: ඉකුත් දශක දෙක තුළ ශ්‍රී ලංකාව භූදේශපාලනයේ වින්දිතයකු වී තිබෙන බව ද පවසයි.
  5. පාස්ටර් ජෙරෝම් ප්‍රනාන්දු නැමැත්තාව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය (INTERPOL) දැනුවත් කිරීමක් හෝ ඔවුන්ගේ සම්බන්ධ වීමක් සිදුව නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි: ජෙරෝම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට තුළම වරෙන්තුවක් නිකුත් කර ඇති බව තහවුරු කරයි.
  6. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස 2022 ජූලි 09 වන දින ගිනි තැබීමේ සිදුවීම සමාජ මාධ්‍ය ජාල හරහා සජීවීව ප්‍රචාරය කිරීමට (live-streaming) අදාළව සමාජ මාධ්‍ය ක්‍රියාකරු පියත් නිකේෂල අත්අඩංගුවට පත්වෙයි.
  7. රිලවුන් (Toque Macaque) ශ්‍රී ලංකාවෙන් චීනයට අපනයනය කිරීමට පියවර නොගන්නා බවට වනජීවී දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට සහතික වෙයි.
  8. බැංකු සහ මූල්‍ය අංශ, වෙළඳපොල ඉහළ නැංවීමත් සමඟ කොටස් මාස 2ක ඉහළ මට්ටමකින් අවසන් වෙයි: දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ බිය අඩුව ගොස් ඇති බව විශ්ලේෂකයන්ගේ මතයයි: සියලු කොටස් මිල දර්ශකය (ASPI) 0.34% කින්, හෝ ඒකක 31 කින් 9,339 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය 2023 මාර්තු 22 වන දින සිට වාර්තා වූ ඉහළම අගය වේ.
  9. නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් ත්‍රිකුණාමලය නගරයේ මුව ගහණය අධ්‍යයනය කිරීම සඳහා සමීක්ෂණයක් දියත් කරයි.
  10. මෙම වසර තුළ සංචාරකයන් මිලියන දෙකක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකිවනු ඇති අතර, ඇ.ඩො. බිලියන 3.7 ක ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇති බවට ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය විශ්වාසය පළ කරයි: 2030 වන විට සංචාරක පැමිණීම් මිලියන පහ දක්වා ඉහළ නංවා ගැනීමට සහ ඇ.ඩො. බිලියන 21.6 තරම් වූ අති විශාල ආදායමක් උපයා ගැනීමට ඇති හැකියාව පිළිබඳ පුරෝකථනය කරයි: 2030 වන විට, එක් සංචාරකයකු ඇ.ඩො. 4,000 බැගින්, සංචාරකයන් මිලියන 2.5 ක් දිනකට වැය කරන මුදල ඇ.ඩො. 500 දක්වා ඉහළ දමා ගත හැකිවනු ඇති බව ද පවසයි.