*
Friday, October 11, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 07/13

  1. ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබීම සිදුවීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරයේ හෙළා දකියි: ගෝලීය දකුණේ හර පද්ධතිය ආරක්ෂා කරන මෙන් හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මැයෙන් කැළඹීම් ඇතිවීම්වලට ඉඩ දීමෙන් වළකින ලෙසත් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියි.
  2. ජනාධිපති වික්‍රමසිංහගේ ඉලක්කය වන්නේ රට තුළ සංහිඳියාව ඇති කිරීමේ කාර්යය මතු පරපුරට පැවරීම නොව එය දැන්ම විසඳා ගැනීම බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසයි: සංහිඳියා ක්‍රියාවලියට අදාළ ගැටලු නිරාකරණය කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතින අතර, මෙම ප්‍රයත්නය සාර්ථක වුවහොත් තවත් වසරක කාලයකට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යාමට ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවනු බව පවසයි.
  3. ඉකුත් වසරේ සුබසාධන ප්‍රතිලාභ සඳහා රජය විසින් රු. බිලියන 144ක් වැය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ ඇති කරගත් ගිවිසුම්වලට අනුව සුබසාධන ප්‍රතිලාභ සඳහා වාර්ෂිකව අවම වශයෙන් රු. 187ක් වැය කිරීමට ශ්‍රී ලංකා එකඟ වී ඇති බව අනාවරණය කරයි: ‘අස්වැසුම’ වැඩසටහන සඳහා වාර්ෂිකව රු. බිලියන 206ක් වැය කිරීමට රජය අපේක්ෂා කරන බව ද පවසයි.
  4. ආගමික සහජීවනයට හානි පමුණුවන අන්දමේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමි ඇප මත නිදහස් වෙයි: අසැබි වචන භාවිතා කරමින් කිසිඳු ප්‍රකාශයක් සිදු නොකරන මෙන් උන්වහන්සේට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
  5. ඩිජිටල් සේවා බද්දක් පිළිබඳව, හෝ ජාත්‍යන්තර ආයතනික බදු සඳහා OECD/G20 ඇතුළත් රාමුවකට ශ්‍රී ලංකාව අත්සන් කළ යුතු ද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ කිසිඳු සාකච්ඡාවක් නොපැවැත්වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි: අන්තර්ජාල සමාගම් විසින් බදු නොගෙවීමට අදාළව, ඩිජිටල් සේවා බද්දක් පැනවීමේ අවශ්‍යතාවය පිළිබඳව පාර්ලිමේන්තු කමිටුවක් විසින් ඉකුත් දින සාකච්ඡා කර තිබිණි.
  6. අධිකරණ විනිසුරුවරයකුගේ වාර්ගිකත්වය ප්‍රශ්න කිරීම ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. සරත් වීරසේකර තම පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින් අධිකරණයට බලපෑම් එල්ල කර ඇති බවට දමිළ දේශපාලන නායකයෝ චෝදනා කරති: කුරුන්තුර්මලේ පුරාවිද්‍යා වටිනාකමින් යුත් කලාපයක ඉදිකරන ලද කුරුන්දි විහාරයට අදාළ නඩු කටයුත්ත දමිළ විනිසුරුවරයකු විසින් විභාග කිරීම හෙළා දැකීම ඔස්සේ වීරසේකර මන්ත්‍රීවරයා සිංහල ජනතාව අතර වර්ගවාදී සිතුවිලි ජනිත කිරීමට කටයුතු කර ඇති බවට අනතුරු අඟවති: මානව හිමිකම් ක්‍රියාකාරීන්, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, මුලතිව් නීතීඥ සංගමය ආදී එකමුතු විසින් ද හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශය හෙළා දැක තිබේ.
  7. ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම පිළිබඳ ඉදිරි දැක්ම “ස්ථාවර” (Stable) තත්වයේ සිට “ධනාත්මක” (Positive) තත්ත්වය දක්වා සංශෝධනය කිරීමට Fitch Ratings ආයතනය කටයුතු කරයි: ඒ සමඟම ලංකා විදුලිබල මණ්ඩලය ‘B(lka)’ ශ්‍රේණිගත කිරීමට ඇතුළත් කරයි: ලංකා විදුලිබල මණ්ලයේ කල්පිරුණු ජ්‍යෙෂ්ඨ අනාරක්ෂිත ණයකරවල ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම ද ‘B(lka)’ බව පවසයි: මෙමඟින්, ශ්‍රී ලංකාවේ ස්වෛරී දිගුකාලීන දේශීය-මුදල් නිකුත් කරන්නාගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (IDR), දේශීය ණය හුවමාරුවක් (DDE) සම්පූර්ණ කිරීමෙන් පසු ස්වෛරී අපේක්ෂාවන් දක්වා වර්ධනය වී ඇති බව පිළිබිඹු කරන බව ද පවසයි.
  8. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව නැවත වරක් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බව ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකුවල විදේශ විනිමය අනුපාතවලින් පෙන්නුම් කරයි: මහජන බැංකුව – ඩොලරයේ ගැනුම් මිල රු. 304.61 සිට රු. 305.58 දක්වා ඉහළට, විකිණුම් මිල රු. 319.59 සිට රු. 320.61 දක්වා ඉහළට; කොමර්ෂල් බැංකුව – ගැනුම් මිල රු. 304.61 සිට රු. 305.83 දක්වා ඉහළට, විකිණුම් මිල රු. 317 සිට රු. 319 දක්වා ඉහළට; සම්පත් බැංකුව – ගැනුම් මිල රු. 302 සිට රු. 305 දක්වා ඉහළට, විකිණුම් මිල රු. 317 සිට රු. 320 දක්වා ඉහළට.
  9. බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ සරම්ප රෝග ව්‍යාප්තියක් සිදුව ඇති අතර, මේ වන විට තහවුරු කළ ආසාදිතයන් 04 දෙනෙකු හඳුනා ගෙන ඇති බව එම රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි: ඉකුත් සඳු (10) දින වන විට, දරුවන් 12 දෙනෙකු සරම්ප රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර, ඔවුන්ගෙන් සිව් දෙනෙකු අතර රෝගී තත්ත්වය තහවුරු වී ඇත: අධික උණ, කැස්ස, නාසයෙන් දියර ගැලීම, ඇස් තෙත් වීම, සහ සරම්ප කුෂ්ඨ ලෙස හඳුන්වන කසන සුළු තුවාල ඇතිවීම මෙහි රෝග ලක්ෂණ වේ: ඇතැම් දරුවන් සරම්ප සඳහා ලබා දෙන MMR එන්නත ලබාගෙන නැති බව ද අනාවරණය කරයි.
  10. ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත ලකුණු සංඛ්‍යාවට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් මහේෂ් තීක්ෂණ සහ පැතුම් නිශ්ශංක ICC එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල කැපීපෙනෙන ජයග්‍රහණ ලබා ගනිති: වනිඳු හසරංගට වඩා එක් දැවී යාමක් පිටුපසින් දෙවැනි වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ තීක්ෂණ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 13ක් ඉදිරියට පැමිණ 19 වන ස්ථානයට පත්වෙයි: 38 සිට 29 දක්වා ස්ථාන 09 කින් ඉහළට පැමිණෙමින් දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නිශ්ශංක, චරිත් අසලංක අභිබවා ඉහළම ශ්‍රේණිගත ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වෙයි: මේ අතර තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංග එක් ස්ථානයක් ඉහළට ගොස් අටවැනි ස්ථානයට පත්වෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan