“නවකතාව යනු වීරයෙක් හසු කරගැනීම සඳහා වූ උගුලක් නොවේ නම් වෙන කුමක්ද?”

Date:

ප්‍රංශයේ ජීවත් වුණු Czech ජාතික ලේඛක මිලාන් කුන්දේරා 11/07/2023 වනදා, වයස 94 දී ජීවිතෙන් සමුගෙන ඇති බව දැක්කා. මිලාන් කුන්දේරා නමින් ලේඛකයක් මේ මිහිමත වාසය කරනබව මුලින්ම මට දැනගන්න ලැබෙන්නේ මංජුල වෙඩිවර්ධන ගේ බත්තලංගුණ්ඩුව නවකතාවෙන්. එතනදි කල්පිටි කලපුවේ ඉඳන් බත්තලංගුණ්ඩුව දූපතේ ඉන්නා තමන්ගෙ පියාව හොයාගෙන යන ඇන්තනී (නම මතක විදිහට) නම් තරුණයගෙ අතේ තියෙන්නෙ කුන්දේරා ගෙ “ජීවිතය අන් තැනක” (Life is Elsewhere) පොත. ප්‍රධාන භූමියේ අධිපති සංස්කෘතික ජීවිතයෙන් බත්තලංගුණ්ඩුව කොයිතරම් ඈත ද කියල කියන්න ඒක හොඳ හැඟවුම් කාරකයක්.

“නවකතාව යනු වීරයෙක් හසු කරගැනීම සඳහා වූ උගුලක් නොවේ නම් වෙන කුමක් ද?”

කුන්දේරා අපෙන් අහන ප්‍රශ්නය තමා ඒ. Life is Elsewhere කතාවේ ප්‍රධාන චරිතය ජෙරාමියෙල් එක්තරා ආකරයකට කුන්දේරා ගේ ම තරුණ වයසේ පිළිබිඹුවක්. නවයොවුන් වයසෙ ජෙරාමියෙල් කියන්නෙ කවියෙක්. තමන් ගේ රට සමාජවාදී රාජ්‍යයක් බවට පත්කරන්න හීන දැක්ක තරුණයෙක්. කාව්‍යමය අවධිය ඉක්මවන්න කලින් ජෙරාමියෙල් ගෙ ජීවිතය නිමා වුණත් එහි අමිහිරි ඵල භුක්ති විඳින්න වෙනව කුන්දේරා ට.

කුන්දේරා අතින් Life is Elsewhere ලියවෙන්නෙ 1973 දි. 1975 දී කුන්දේරා ප්‍රංසයට එන්නෙ Renes සරසවියේ ආචාර්යවරයෙකු විදිහට සේවය කරන්න. කුන්දේරා මුලින් චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් වුණත් පසුව ඔහු ඒ පක්ෂයෙ නමින් ක්‍රියාත්මක වුණු මර්ධනය තමන්ගේ ලේඛන ඇතුළේ සියුම්ව විවේචනය කළා. මේ නිසා 1979 චෙක් රජය ඔහුගේ රචනා “ප්‍රති-සමාජවාදී” යැයි නම් කරමින් ඔහුව සමාජවාදයට එරෙහි ප්‍රතිවාදියෙක් විදිහට හංවඩු ගහලා ඔහුගේ පුරවැසි භාවය අහිමි කළා. ප්‍රංස භූමිය ඉන්පස්සෙ ඔහුගේ විප්‍රවාසගත වාසස්ථානය වෙන්නෙ දෛවෝපගත ආකාරයකට. දේශපාලනය පුද්ගලික ජීවිතය අතර තියන ගැටීම, උපන් බිමෙන් විප්‍රවාසගත සාංකාව ඉන්පස්සෙ ඔහුගේ ලේඛනවලට බලපෑ බව කියනව.

“ලෝකය තුළ මිනිසාගේ පැවැත්ම ගවේෂණය කිරීම” කුන්දේරාට අනුව නවකතාවකින් සිදුකළ යුතු මූලික කාර්‍යයක් වුණා. Life is Elsewhere සිංහලයට පරිවර්තනය කරන අරුණ ප්‍රේමරත්න කෘතියෙ ප්‍රස්ථාවනාවෙ සඳහන් කරන ආකාරයට ඒ කාර්‍ය මේ වගෙයි.

“මිනිසා සහ ලෝකය අතර තිබෙන්නේ ඇසක් චිත්‍රයට දක්වන සබඳතාව නොවේ. නළුවෙකු වේදිකා පසුතලය කෙරෙහි දක්වන සබඳතාව ද නොවේ. ගොළුබෙල්ලෙකු උගේ කටුවට බද්ධවී සිටින අයුරින් මිනිසා ලෝකය සමඟ බද්ධවී සිටියි. එය ඔහුගේම කොටසකි. ලෝකය වෙනස් වෙද්දී මිනිසාගේ පැවැත්ම ද වෙනස් වෙයි”

යුරෝපය මුල්කරගෙන ඇති වුණු ලෝකය යුද්ධ, ඒ අනුව පැන නැගුණු නූතනත්වය, සමාජවාදයේ නැගීම, කුන්දේරා මිනිස් පැවැත්ම හඳුනාගන්න උත්සාහකරන්නෙ මේ සංසිද්ධි හරහා. කොහොම වුණත් කුන්දේරා ගේ නාමය ලෝකය පුරා ප්‍රකට වෙන්නෙ 1984 පළවුණ The Unbeatable Lightness of Being නවකතාව එක්ක.1988 ඒ කෘතිය සිනමාවට නැඟෙන්නෙ Daniel Day-Lewis, Juliette Binoche වගේ ඉහළම ගණයෙ නළු නිළියන්ගේ රංගන දායකත්වයෙන්. නවකතාවක් වඩාත් පරිපූර්ණව සිනමාවට නැඟුන අවස්ථාවක් විදිහට Unbearable Lightness සලකනව.

Life is Elsewhere (ජීවිතය අන්තැනක), The Unbearable Lightness of Being (පියාපතක් වන් ජීවිතයක්) The Farewell Waltz (සමුගැනීමේ සාදය) කුන්දේරා ගේ නවකතාවල සිංහල පරිවර්තන කිහිපයක්.

කුන්දේරා නොබෙල් ත්‍යාගය වෙනුවෙන් නිර්දේශ වුණත් එය ඔහුට ලැබෙන්නෙ නෑ. පෑනෙන් සිදුකළ මෙහෙවර වෙනුවෙන් මිලාන් කුන්දේරා නම් ලේඛකයාට ආචාරය පුද කරන ගමන් පහත උපුටනය ගන්නෙ ඔහුගේ “ජීවිතය අන් තැනක” කෘතියෙන්.

“එයා චිත්‍ර අඳින්නෙ කිසිම අසුබවාදී හැඟීමක් හිතේ තියාගෙන නෙමෙයි” සිත්තරා පිළිතුරු දුන්නේ ය. “කලාව කියල කියන්නෙ බුද්ධියෙන් පහළ වෙච්ච දෙයක් නෙමෙයි කියන එක තේරුම් ගන්න. බලු ඔළු එක්ක මිනිස්සු අඳින්න හරි, ඔළු නැති ගෑණු අඳින්න හරි ජෙරොමියෙල්ගෙ තියෙන පෙළඹවීම එයාට ඉබේ ලැබුණ දෙයක්. මේ දේවල් එයාගෙ හිතට ආවෙ කොහොමද කියල එයාට කිසිම දැනීමක් නෑ. මට ඒ ගැන හොඳටෝම විශ්වාසයි. මේ හැඩතල ගැන එයාට කොඳුරල කියන්නෙ එයාගෙම උපවිඥානය. ඒත් මේ අමුතුම විදිහෙ බලි රූප වල තේරුමක් නැහැ කියල නම් කියන්න බෑ. ජෙරොමියෙල් ගෙ රූපයි, යුද්ධයයි අතරෙ ගුප්ත සම්බන්ධයක් තියනව කියල ඔයාට හිතෙන්නෙ නැද්ද? යුද්දෙ රෑ දවල් නැතුව අපිව කම්පනයට පත් කෙරුව. අපිව බය ගැන්නුව. ඒ යුද්දෙ මනුස්සයගෙන් එයාගෙ ඔළුව, එයාගෙ මූණ පැහැරගත්තෙ නැද්ද? අපි මේ ජීවත් වෙන්නෙ ඔළු නැති ගෑණුන් ගෙ කඳ කෑලි ආශාවෙන් ප්‍රාර්ථනා කරන ඔළු නැති මිනිස්සුන්ගෙ ලෝකෙක නෙමෙයි ද? මං ඔයාගෙන් අහන්නෙ මෙච්චරයි, ඔයාගෙ පුතාගෙ චිත්‍ර වල තියෙනවට වඩා ඇත්තක්, යථාර්ථයක් තවත් තියනවද ? නෑ නේද?” – මිලාන් කුන්දේරා ( ජීවිතය අන් තැනක )

~ හෂාන් රන්දික ඩයස්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...