*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

“සිංහල සාහිත්‍යයේ සොල්දාදු උන්නැහේ නික්මෙයි….!

“නවකථාකරුවකු, කෙටිකථාකරුවකු, කවියකු, තිර පිටපත් රචකයකු, පරිවර්තකයකු, වෘත්තීය සමිති ක්‍රියාධරයකු සේ ම නීතිඥයකු ද වූ එච්. ඒ. සෙනෙවිරත්නයෝ තෙඅසූ වියක සිය මැදිහත්කාර ජීවන චාරිකාව ඉකුත් සන්ධ්‍යාවේ දී නිමා කළෝ ය.උසස් පෙළ වියේ තරම් සිසු වියේ දී අහම්බෙන් මා අතපත් “යදම් බිඳුම” නමැති අමුතු ආරක නවකථාව නිසාවෙන් එච්. ඒ. සෙනෙවිරත්න නමින් ලේඛකයකු වන බව දැනගත් මාහට ඉන් දශකයකට පමණ පසු අලුත්කඩේ මහාධිකරණ නීතිඥ සංතාගාරයේ දී ඔහු ඇසගැසිණි.

හෙතෙම නීතිඥවරයකු බව මා දත්තේ එදින ය !වහා ඔහු වෙත ගිය මම, මා කවරෙක් දැ යි හඳුන්වා දුනිමි. ළෙංගතු සිනාවකින් මුව සරසාගත් සෙනෙවිරත්නයෝ “ඔයාගෙ පරම්පරාවෙ ගොඩක් අය මාව ලේඛකයෙක් හැටියට දන්නෙ නෑ, සතුටුයි හඳුනා ගැනීම” යි කීහ.එතැන් සිට ඔහු අලුත්කඩේ අධිකරණය වෙත පැමිණෙන සෑම අවස්ථාවක ම මා මුණගැසීමටත්, ඔහුගේ කණිටු සහායක නීතිඥවරයා ලෙස මා සම්බන්ධ කර ගැනීමටත්, අදාළ සේවා ගාස්තු නිසි පරිදි ගෙවීමටත් වගබලා ගත්තෝ ය.වරක් මා සතුව තිබූ “යදම් බිඳුම” කුඩා නවකථාව ඔහුට ගෙන ගොස් පෑ කල ප්‍රීති ප්‍රමෝදයට පත් හෙතෙම “අප්පොච්චියේ, මේ ප්‍රින්ට් එකේ කොපියක් මා ළඟත් නෑ වෙන්නැති, ආයෙ කවද ද කොළඹ එන්නෙ ?” යි විමැසී ය. අනතුරුව අප හමු වූ දින උදෑසන මා සොයා ආ සෙනෙවිරත්නයෝ ගමන් මල්ලක් පිරෙන්නට, ඔහු එතෙක් ලියා තිබූ බොහෝමයක් කෘතිවලින් පිටපත බැගින් මට පරිත්‍යාග කළෝ ය.

ඒ සියලු පොත්වල පළමු පිටුවේ “අශාන් සහෝදරයාට – සෙනෙවිගෙන්” යනුවෙන් ලියා පිටසන් කර තිබිණි.වෘත්තීය ජ්‍යෙෂ්ඨත්වයත්, විෂයාශක්තභාවයත් සලකා මම මුල් කාලීනව “සර්” නමින් ඔහු ඇමතීමට පෙළැඹී සිටීමි. වරක් මා ඇමතූ ඔහු මෙසේ කීය, “අයිසෙ, නො නවතින විප්ලව න්‍යාය පිළිගන්නවනෙ, මට ඔය වැඩවසම් ආමන්ත්‍රණ එපා. කිසි ප්‍රශ්නයක් නෑ මචං කියල කථා කරන්න” මා පියාටත් වඩා දශකයක් පමණ වියපත් ඔහුට එසේ ඇමැතීමේ ඇති අපහසුතාව මා මුහුණ බලා වටහාගත් හෙයින් දෝ “එහෙමත් අමාරුනම් මට සෙනෙවි කියන්න. වයස් පරතරය, ස්ත්‍රී – පුරුෂ භේද යාළුකම්වලට බාධාවල් කරගන්නෙ ළාමක මිනිස්සු.” අවසන් වරට හමු වූ දා තෙක් ම මම ඔහුට මිස්ටර් සෙනෙවිරත්න යි ඇමැතීමි.හදිසියේ ම අවේලාවේ සාන්ත බස්තියමට පැමිණි කල මා අමතන ඔහු “පරණ ක්ලයන්ට් කෙනෙක්ගෙන් ෆීස් වගයක් හම්බුණා, මොනව හරි කමු ද ? යි විමසයි.

අපි කඩයකට ගොඩවී මේසයක අසුන්ගත් කල “ට්‍රොට්ස්කිවාදියෙක් වුණා ම අඩියක් පුඩියක්කාරිය ගහල ඉන්න ඕනි. බලනව අයිසෙ ඇඟේ හැටි” කියයි. සේවකයකු අමතා “මේ මහත්තයාට වඩේ එක්ක ප්ලේන් ටී – මට ප්ලේන් ටී එක්ක වඩේ” ඇනවුම් කරයි. “මට මිනිස්සුන්ගෙ මූණ බලං ගාස්තු කියන්න බැහැනෙ, උං ඒක දන්නවා, සල්ලි තියෙන එකත් ගෙවන්නෙ නැතුව මගාරින්න යි බලන්නෙ, හරි වැඩක්නෙ වෙලා තියෙන්නෙ” සිනාසෙමිනි ඔහු පවසන්නේ.සොල්දාදු උන්නැහේ තිර රචනය මුද්‍රණය නො කරන්නේ ඇයි දැ යි මා වරක් විමැසූ කල අත් පිටපත ඒ වන තෙක් ම තමා සතුව ඇති බවත්, එහෙත්, තිර රචනයට වඩා රූපගත කිරීමේ දී අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජගේ තනි කැමැත්තට සිදු කළ වෙනස්කම් හේතුවෙන් තමාට ඊට හිතක් නැති බවත් ඔහුගේ ප්‍රතිචාරය විය.

තමා ලියූ මුල් තිර රචනයේ පනස් තුනේ හර්තාලයට වෙඩි තැබීමේ සිදුවීම දෙවන ලෝක යුද්ධය වෙත පොළාපැන තිබීම ගැන තමා හා පතිරාජ අතර බරපතල විසංවාදයක් ඇති කරලූ බවත්, “යකෝ උඹ ලියපුව ගෙඩි පිටිං ෂූට් කළොත් මට වෙන්නෙත් හතරවෙනි තට්ටුවෙ ජනේලෙකින් පාරට පනින්න” යැයි පතිරාජ තමා අමතා කී බවත් ඔහු සිනාමුසුව සිහිපත් කළේ ය.මානව සමාජය දැනුමෙන් සහ උසස් වින්දනයෙන් සන්නද්ධ කිරීම සඳහා කරන ලද දැවැන්ත කැපකිරීමෙන් ද, නිරහංකාර, නිහතමානී සරල ජීවන පැවැත්මෙන් ද යුත් අසිරිමත් මිනිසෙකු ලෙස ඔහුගේ ගුණ සුසුවඳ අප අතර සදා රැඳෙනු ඇත.සිය ජීවිතකාලය පුරාවට දීප්තාලෝකය විහිද වූ එකින් එක තාරකාවෝ සිය කාර්‍ය භාරය අවසන් කොට කෙමෙන් කෙමෙන් නිවී යති. ඉන් නිපන් අන්ධකාරය දුරුකරලීම පිණිස තාරුකාවක් තබා කදෝකිමියකු තරමින් ජනිත වනු නො පෙනේ.

ඉදින්, ලාංකේය අසංවේදී නරුම සමාජය නමැති ගවරවළේ තවත් කාලයක් ලැග සිටීමට සිදු වීමේ දුර්දශාවෙන් අපගේ ආධ්‍යාත්මයන් තවමින් – පෙළමින් මෙහි ම වැද සිටිමු.

එච්. ඒ. සෙනෙවිරත්නයන්ගේ අතීත සෞම්‍ය මතකය අප හදවත් තුළ සදාකල් රැඳී පවතීවා….!!!

අශාන් ඉන්දික.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan