ආසියානු පැරා ආස්වාදයෙන් මිදී වගකීම් කියවා ගනිමු

Date:

ආසියානු පැරා ක්‍රීඩා උළෙල නිමා වි ඇත.ඒ රන් පදක්කම්වල දීප්තිය ඔවුන්ගේ ආබාධවලින් වැසී ගිය බවක් හැඟෙන්නේය.නිරෝගී ශරීරයකට කාන්දම් සේ ඇඳෙන බොහෝ අය මේ ශරීර ඊටත් වඩා අපහසුවෙන් කරන මේ ජයගැනීම් ගැන එතරම් උනන්දු නොවන්නේය.එහෙත් ඔවුන් ආසියාවේ රටවල් අතර සිය හැකියාවන්ගෙන් ශ්‍රි ලංකාව 18 වන තැන තබන්නට සමත් විය.


පලදාව දැක් වුණේ රන් 2,රිදී 5 සහ ලෝකඩ හතරක් ලෙසය.රන් පදක්කම් දෙකෙන් එක පදක්කමක් හිමි කර ගන්නා ප්‍රදීප් සෝමසිරි හමුදාවෙන් රටට උරුම වුණ ආබාධිතයෙක් නොවේය.පාලකයන්ගේ වැරද්දට නිර්මාණය වුණු යුද්ධය ඉතිරි කළ තවමත් තරුණ විය ඉක්මවා නොගිය ආබාධිත ප්‍රජාවක් ලංකාවේ හැම තැනකම සිටියි.ඒ අතරින් පාලකයන්ගෙන් පැමිණි පිඩාවට නොසැළකීමට අවිවලින් ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් වූ උතුර රටක් හැටියට පැරා ක්‍රීඩාවට හරියට ඉලක්ක වී නොමැත.ඒ යුද්ධයේ අවිවල හඬ නිහඬ වුව ද,උතුර සමස්තයට ඈදා ගැනීම නිවැරදිව සිඳු නොවන බැවිනි.යුද්ධය පලයක් වූයේ මන්ද යන්න දේශපාලනිකව කියවා නොගැනීම මෙයින් පැහැදිළිය.දැන් පැරා ක්‍රිඩාව හරහා සිඳු වි තිබෙන්නේ පාලන තන්ත්‍රයේ දේශපාලනික අතපසුවීම් සහ නොසළකා හැරීම් විසින් රාජ්‍යයට එරෙහිව ඇති කළ විරෝධය සමනය කිරීමේ දී,රාජ්‍යයේ හිතෛශීත්වය වෙනුවෙන් උතුරේ දෙමළ ජනයාගේ එදිරිවාදියා කළ හමුදාවන්ට සිය ආබාධිත පිරිසට මාර්ගයක් කර සැකසූ පැරාරන් පද ක්‍රීඩාවෙන් උතුරට සැළකිය යුතු නියෝජනයක් නොලැබෙන තැන ඊට මැදිහත් වීමේ රාජ්‍ය යාන්ත්‍රණය සැකසීම පසෙක ලා දේශපාලනික වගකීමෙන් ඉවත්වීමය.


රටේ දේශපාලකයාට ගැටුම ප්‍රශ්නයක් වන්නේ අඩුවෙන්ය.ආරක්ෂාව සහ මහජන මුදලෙන් සිඳුවන නඩත්තුව නිසා ගැටළු ආදිය පැන නඟින්නේ අඩුවෙන්ය.ගැටුම් සමනයට පත් කිරීමේ හමුදා පොලිසි සිට ගැටුම් සඳහා රජයේ නොසැළකිල්ලෙන් ඇද දමන පිරිස් ද වන දේශපාලකයන් නොවන පිරිස් ගැටුම්වල වැඩි වේදනා බර දරන්නෝය.සිවිල් සමාජය හෝ ක්‍රීඩාව වැනි දේ සළකන්නේ සෙල්ලම් වන සරල වචනයෙන් වන තරමට පටු තැනෙක කොටුව තිබෙන බැවින් මේ සමාජමය වෙනස පිරවීමේ ව්‍යාපෘතිවලට යොමු වන්නේ අඩුවෙන්ය.ඒ නිසා උතුරට බෙදීම කියන සංකල්පයෙන් නොව උතුරෙන් ගැනීම කියන සංකල්පය අනුව සළකා බැලූ විටද ලංකාවේ පැරා ක්‍රීඩාවට උතුර ආකර්ශණය කර ගැනීමේ සැළසුමක් හෝ පිළිවෙලක් දැකීමට නැත.
සාමාන්‍ය පුරවැසියන් ක්‍රීඩාවෙන් ලබන ජයග්‍රහණ ප්‍රමාණය අතික්‍රමණය කර වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් පසුගිය කාලයේ ලංකාවට ගෙනවිත් ඇත්තේ පැරා ක්‍රිඩකයින්ය.ඒ අතර වැඩිපුරම ඉන්නේ හමුදාවල විරුවන්ය.ඔවුන් රට බේරා ගැනීමට යුද වැදුණු විරුවෝ ලෙසය. එහිදී පාලකයන්ගේ වැරදි නිසා අනාරක්ෂිත වූ කියන වචනයවත් ඒ රණවිරු නාමය ඇතුළේ හේතුපඨයක් නොවීම නිවැරදිම යථාර්තතය මතු නොකරන්නේය.ඒ බොහෝ දෙනෙක් තවමත් යුද්ධය වෙනුවෙන් අදේශපාලනිකව සෙබළා තුළ සැකසූ “දෙමළා ද්‍රෝහියා” ලෙස සිතන හැඟීමෙන් මේ රට ගැන දක්වන දේශපාලන දැක්මේ අඩුවක වෙසෙන්නෝය.ඒ අවි නිහඩ කළ ද පැවත්ම වෙනුවෙන් කොයි මොහොතේ ගැටුමක් ඇතිවන ඉඩ වසා නොදමා, මේ රටේ දේශපාලන යාන්ත්‍රණයට ගින්දර සහ පුළුන් ඇවිලෙන දුරින් තබන්නට ඇති උවමනාව නිසාය.රටේ පොදු මානවීය සමාජ ප්‍රශ්න අභිමුවේ නිවැරදි දැක්මක් සහ සැළස්මක් වෙනුවට තමන්ගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීම මත දේශපාලනයේ යෙදෙන පිරිස් ඒවා වසා ගන්නට යොදන විනාශයේ පියවරක් හැටියට දේශප්‍රේමය අවුලාවිම සිදු කරයි.


කෙසේ හෝ මේ මොහොතේ මෙරටට පදක්කම් දිනා දුන් සියළුම පැරා ක්‍රිඩකයින් විරුවන්ය.රටට සතුටු වන්නට ආඩම්බර වෙන්නට පුරවැසියන් හිඟ මොහොතක එවැනි එකළොස් දෙනෙක් දක්ෂතා අතරට පැමිණීම වැදගත්ය.මේ ක්‍රිඩකයින් ඒ තත්ත්වයට ගෙන ඒමට වැඩ පිළිවෙලක් නැත.නමුත් වැඩ පිළිවෙලක් තිබිය යුතුය.එය යම් යම් ආකාරයට යම් යම් මොහොතවල්වලදී ක්‍රියාත්මක කරන්නට ඇතැම් දේශපාලකයන් පෙළඹුණු විට ඒ අයගේ දේශපාලනය වෙනුවෙන් විකිණෙන්න යාම ලංකාවේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් නොව සාමාන්‍ය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද තියෙන අවුලකි.එවිට සිය මනස සහ කයට මුල්තැන දීමට වඩා වෙනත් මානයකින් උස් වෙන්නට දරන වෑයම සමඟ ක්‍රීඩාව දියවී යාමේ අවදානමක් පැන නඟියි.
මෙහිදී හමුදාමය දායකත්වය ලෙස නිරෝගී ශක්තිමත් පුරවැසියන් ගැන කතා කිරීමට පමණක් සීමා නොවී ආබාධ සහිත පුරවැසියන් කියූ සැනින් හමුදාව සිහිවීම පාලනයේ වරදකි.කෙසේ වුව එහි හමුදා පුහුණුව යටතේ සිරුරත්,මනසත් ඉහළින් පවත්වා ගැනීම සඳහා ලද පුහුණුව ද සමඟ ක්‍රීඩාවට පිවිසි පිරිස් හැරෙන්නට මේ රටේ අන් අබාධිතයින් වෙනුවෙන් ක්‍රීඩාමය හැකියාවන් වර්ධනය කිරීමට සඳහා සහ ක්‍රීඩාවට යොමු කිරීම සඳහා නිශ්චිත වැඩ පිළිවෙලක් නොමැත.එවැනි තත්ත්වයක් යටතේ පැරා ක්‍රීඩාව දෙසට හමුදාවන් හී ආබාධිත ප්‍රජාව දක්වන දස්කම් නිසා යොමු වූ පිරිස් ගෙනෙන ජයග්‍රහණ හරහා උද්දාමයට පත් වූ සුළු කොටසක් මේ වන විට ක්‍රීඩාවට පිවිස ඇත.ඒ පිරිස වෙනුවෙන් මේ මොහොත පළල් කිරීමට වැඩ සටහනක් සැකසීම රාජ්‍යමය වශයෙන් සිඳු විය යුතු වී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ සිට සැකසිය යුතු විධිමත් වැඩක් වී ඇත.
දැනට බෙහෝ විට සිඳුවන්නේ සමාජ සේවා නිලධාරීන් හරහා ප්‍රදේශයේ ආබාධිත ප්‍රජාව හඳුනා ගැනීම සහ ඔවුන්ට රජයේ සමාජ සේවා දීමනාව ලැබීමට සුදුසුකම් ඇද්ද නැද්ද යන්න දැන ගැනීමය.අධ්‍යාපනය යන කාරණය සඳහා පළල් ඉඩක් ආබාධයක් තිබෙන විට සමාජයේ නැති බව මේ රටේ තත්ත්වයකි.තවමත් මේ ලියුම්කරුගේ වෙනස් අවශ්‍යය සහිත දරුවා රැඟෙන ඒමට ඔහු විශේෂ පුහුණුවක් ලැබූ ස්ථානයට යන්නට සැරසෙන විට “කොහේද පිස්සන් කොටුව හන්දියට ද” අසන වචනය හොඳින් හුරුය.කොටුව ලෙස කොන් කිරීම මේ සමාජයේ ඇත්ත ස්වරූපය පෙන්විමක්ය.


ඉතිං එවැනි සැළකීමක මේ වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාවට සැළකීමට පත්වන සමහර නිලධාරීන්ද එය වගකීමක් රාජකාරියක් නොව තමන්ගේ පෞද්ගලික උනන්දුව මත සිදුවන දෙයක් ලෙස පෙන්නා එවැනි වෙනස් අවශ්‍යයතා සහිත පුදග්ලයින්ගෙන් යැපෙන එක ද අසාමාන්‍ය නැති බොහෝ විට දැකිය හැකි සුලබ කරුණක්ය.මේවා ඒ නිසා මුල සිටම සකස් කිරීමට අවධානය දීම වඩාත් වැදගත්ය.
මෙම ජයග්‍රහණවලදී රන් පදක්කම දිනූ සෝමසිරි පමණක් නොව රිදී පදක්කම් දිනූ මලල ක්‍රීඩිකා ජනනි ධනංජනා සහ පිහිණුම් ක්‍රිඩිකා ගලීනා බස්නායක යන පැරා ක්‍රීඩිකාවන් ද ආබාධයන්ට ගොදුරු වි ඇත්තේ යුද්ධයෙන් නොවේය.එසේම ලෝකඩ පදක්කමක් දිනා දුන් පිහිණුම් ක්‍රීඩක නවීඩ් රහීම් ද එසේය.ඔවුන් හැදෙන්නේ පිළිගත් අධ්‍යාපනික පසුබිමක් සමඟ මේ පොළවට අවශ්‍යය ආදරය දෙන මිනිසුන් ඇසුරේය.කුමුදු ප්‍රියංකා ලෝක වාර්තා පවා තැබූ දක්ෂ ක්‍රීඩිකාවක් වන අතර ඇය මෙවරත් ලෝකඩ පදක්කමක් දිනුවාය.ඇය ද හමුදාමය බැදීමක් රහිත වුව ද,යුද්ධය විසින් අතුරු පලයක් ලෙස පොළවේ විසුරුවා හරින ලද ආයුධ සංස්කෘතිය නිසා අවුරුදු 16 වන තෙක් අනාබාධිතව ගෙවූ ජීවිතය ආබාධිත තත්ත්වයට පත් කර ගත් ක්‍රිඩිකාවක්ය.ඒ අත් බෝමබයක් පුපුරා යාමෙන්ය.


එසේම මේ කණ්ඩායමට පදක්කම් නොලද පිරිසක් ද ඇතුළත් වූහ.ඒ අය අතර හමුදාමය නොවන පුරවැසියෝ ද වූහ.මේ හමුදාමය නොවන පුරවැසියන්ට මාර්ගය විවර වී ඇත්තේ යම් ආයතන,පාසල්,ඔවුන්ගේ පවුල්,සමහර නිලධාරීන් සහ හොද සමාජ ඇසුරක් තිබිම වැනි කාරණා ඔස්සේ ලැබෙන සහයෝගයෙන් සහ දිරියෙන්ය.එසේ නොවන්නට පොදු වැඩ පිළිවෙලක ආනුභාවය මේ ජයග්‍රහණවලින් එළියට එන්නේ නැත.එසේම සමහර පදක්කම් නොලද්දෝ ද ජාතික මට්ටමෙන් තමන්ගේ ඉසව්වල ජාතික වාර්තා අලුත් කළහ.


මේ ජයග්‍රහණවලින් පෙනෙන අඩු පාඩු කවරේද?එවැනි පැරා ක්‍රීඩා උළෙලක් ජාතික මට්ටමෙන් පාසල් කේෂත්‍රයේද තිබිය යුතුය.රාජ්‍යය මැදිහත් විය යුතු අත්‍යවශ්‍යය අංගයක් ලෙස එය හැදින්විය හැකිය.ක්‍රීඩා අමාත්‍යවරයා මෑථ කාලයේ යහපත් තීරණයක් ගෙන වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාවගේ ක්‍රීඩාවන් එම ක්‍රීඩා සංගම්වල මුල් සංගම්වල අනුග්‍රාහකත්වයට සහ අවධානයට පත් කළ යුතු බව කීවේය.එය වැදගත්ය.
එසේම අමාත්‍යවරයා මේ මොහොතේ ඇතැම් ක්‍රීඩාවන්ට සම්බන්ධ ප්‍රධානීන්ගේ ද ගුණ වැයුම්වලට ලක් වෙමින් තිබෙයි.ඒ ඔහු අමාත්‍යංශයෙන් වියදම් ලබා නොගැනීම ගැනයි.නොගන්නා දේ අගය කළ යුතුය ඔහුගෙන් ලැබිය යුතු දේ ද සිතා බැලිය යුතුයි.ප්‍රධාන වශයෙන් ඔහු ක්‍රිඩා සංගම්වල ස්වාධීනත්වයට කරන බලපෑම් නිසා ඇතැම් ක්‍රිඩා තිබුණ මට්ටමෙන් පහළට වැටුණ බව පැහැදිළිය.එසේම මේ මොහොතේ ක්‍රිඩා භාණ්ඩවල මිල ගණන් සෑහෙන දුරට ඉහළ ගොස් ඇත.වහාම එය පාලනය නොකරන්නේනම් ක්‍රිඩා කිරීමේ තත්ත්වය පහත වැටීම ද නොවැළක්විය හැකිය.ආබාධ සහිත ක්‍රීඩාවන් හී ද මේ තත්ත්වය දැකිය හැකිය.ඒ ඒ ක්‍රීඩාවන් සඳහා විශේෂි උපකරණ පුහුණුවට සහ තරගවලට අවශ්‍යය වන්නේය.රෝද පුටු ක්‍රීඩා එක් උදාහරණයකි.ක්‍රිඩා අමාත්‍යවරයාගේ වැටුප,වාහන වියදම,විදෙස් සංචාර ටිකට් පත් (රාජකාරි) අත හැර දැමුවාට ඒ මුදල ක්‍රීඩාව පවතින පොළවට ගලා එන්නේ නැත.එසේ වීමට ඔහු කළ යුත්තේ එම මුදලින් වෙනම අරමුදලක් තැනීමය.එවැන්නක් නැත.එසේම ඔහුට මේ ක්‍රීඩා භාණ්ඩ මිල පාලනයට ඒවාට බදු සහන දෙන කැබිනට් පත්‍රයක් ගෙන ක්‍රිඩාව වෙනුවෙන් කැබිනට් මණ්ඩලය සමඟ සටන් කළ හැකිය.
කිසිවක් නොගෙන සිටීමෙන් ක්‍රීඩාවට අත්වන සෙතට වඩා කීඩාවට රාජ්‍යමය වශයෙන් ලැබිය යුතු අනුග්‍රහයන් පළල් කිරීම සිඳු විය යුතුය.සමහර විට ඒ දේවල් නොතකා අමාත්‍යවරයාගේ අත් හැරීම් වෙනුවෙන් ප්‍රශස්ති ලියන්නේ ඒ හරහා තමන්ගේ ක්‍රිඩාවට වැඩි අවධානයක් දිනා ගන්නට විය හැකිය.එය ලංකාවේ හැටියට වැරදි නැත.වැඩියෙන්ම සළකන්නට දේශපාලකයෝ කැමති තමන්ගේ ගුණ වයන්නන්ටය.


රට පුරා මේ දිනවල විවිධ සංදර්ශන,සැණකෙලි වෙනුවෙන් ක්‍රීඩාපිටිවලට වන හානි දැකිය හැකිය.ඒවා සමහර විට යම් යම් ක්‍රීඩාවන් පදනම් කරගෙන ඇතැම් ක්‍රිඩාවන්ට ඇතුළත් වීමටවත් නොදෙන තැන් ය.ඒවා පිටුපස සිටින්නේ ද දේශපාලන බලය සහිත පුද්ගලයින්ය.ක්‍රිඩා අමාත්‍යවරයා කුරුණෑගල දී කළ ආකාරයට හෝ මෙවැනි කාරණා ගැන සිය මාධය අංශයෙන් හෝ දැන මැදිහත් වි පියවර ගැනීමට ක්‍රියා කළ යුතුය.
කෙසේ වුව මේ මොහොතේ වැදගත් ජයග්‍රහන ගෙනා පැරා ක්‍රිඩකයන්ට උපහාර සහ තිළින ප්‍රදානයට මුල් තැන දීම බව අපි විශ්වාස කරන්නෙමු.නමුත් මේ සිටින්නේ තිස් වසරක යුද්ධයෙන් ආබාධිත වූ පිරිස් සිය ජීවිතයේ තාරුණ්‍යයෙන් කෙමෙන් ඈත් වෙමින් සිටින අවදිය ය.ඉන් අනතුරුව සැබවින්ම මේ පොළවේ පැරා ක්‍රීඩාවට පහළ සිට ඉහළට ව්‍යාපත් වීමේ මාර්ගයක් නැත්නම් ශ්‍රී ලංකාව පැරා ක්‍රීඩාවේ කීර්තියේ පහළට කඩා වැටෙනු නැවත්විය නොහැකිය.ඒ නිසා විධිමත් ලෙස සකස් වුණ ජාතික මට්ටම දක්වා ප්‍රාදේශිය මට්ටමේ සිට පැරා ක්‍රිඩකයින් සොයාගත හැකි වැඩ සටහනක් අවශ්‍යය වන්නේය.එයම පාසල් කේෂ්ත්‍රයටද අදාළය.විශේෂයෙන් පාසල්වල මෙවැනි තත්ත්වයක් ඇති වූ විට එවැනි දරුවන් සඟවා ගැනීම වෙනුවට පාසල් වෙත යොමු වීම ඉහළ යනවා ඇත.එසේම ජාතිකමය වශයෙන් ආබාධා සහිත දරුවන්ට සාමාන්‍ය පංති කාමරවල ඉගෙන ගැනීමට පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකාව සලමන්කා ගිවිසුම හරහා ඇති කරගෙන ඇති එකඟතාවයන් දැන්වත් පෙරට ගෙන ආ යුතුය.


ඒ නිසා මේ එළැඹ ඇති හෝරාව විසිල් ගැසීමට අත්පොළසන් දීමට වඩා ඒවා දිගටම සුරැකීමට වැඩ සටහනක් ඇති කළ යුතු හෝරාවක්ය.ජාතික ක්‍රීඩා විද්‍යායතනයෙන් මේ දක්වා කරගෙන යන ක්‍රීඩා පුහුණු වැඩ සටහන් අතරට වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාවන් ඒ ඒ ආබාධ අනුව පුහුණු කරන්නේ කෙසේ ද යන්නත්,එවැනි දක්ෂතා දක්වා ඇති ආබාධ සහිත ප්‍රජාවන්ට ක්‍රිඩා පුහුණුකරුවන් වීමට අවශ්‍යය මාර්ගය සකසා ගැනීමටත් හැකි ලෙස ඉඩක් වෙන්විය යුතුය.එසේ වුවහොත් දැන් වයසත් සමඟ සමුගැනීමේ මොහොතට සමීප වෙමින් සිටින පැරා ක්‍රිඩකයන්ට සිය ජීවිතය අලුත් තැනකින් යළිත් පටන් ගන්නට ඉඩ ලැබෙනු ඇත.
මෙහි ඇති ඡායාරූපයේ සිටින්නේ ආසියානු පැරා පදක්කම්ලාභින්ය.එසේම පහත දක්වන සබැඳියෙන් සියලුම ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රඩිකාවන් තමන් සහභාගි වූ තරගවලින් අත්කර ගත් ස්ථාන ගැන දැක ගන්නට හැකිය.


https://resultsapg.hangzhou2022.com.cn/rds/nations/detail/SRI

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝට්ටු පෙරළීමෙන් ටහෝ විලෙහි අට දෙනෙක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඇමරිකාවේ විශාලතම...

වතු කම්කරු වැටුප් වැඩි වීම ගැන බලාපොරොත්තුවක්!

කොළඹ LNW:මෙම වසරේදී වතු කම්කරු දෛනික වැටුප රු.1700 දක්වා...

යුක්තිය මෙහෙයුමෙන් කළේ බොරුවක්ද? – මාස 05ට පොලීසිය හොයාගෙන තිබෙන අයිස් සහ හෙරොයින් තොගය!

කොළඹ LNW:පසුගිය මාස 05ක කාලය තුළ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ...