මෛත්‍රී ඇතුලු පිරිසට අධිකරණ නියෝගයක්! වත්කම් ඉදිරිපත් කරන්නත් වෙලා!

0
402

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අයට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝගයක් නිකුත් කළේය.

ඒ තම වත්කම් හා බැරකම් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව දුන් නියෝගයයි.

දෙසැම්බර් මස 30 වනදාට පෙර එම දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස එහිදී නියෝග කර ඇත.

පාස්කු ප්‍රහාරයට අදාළව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් අද කැඳවූ අවස්ථාවේ දී එම නියෝග නිකුත් කර ඇත.

තවද, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තර වාර්තාවක් දෙසැම්බර් මස 30 වන දාට පෙර ගොනුකරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන සියල්ලන්හටම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි සම්පූර්ණයෙන්ම ගෙවීමටද අපොහොසත් වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??