කෝලිගේ 100 වැනි ටෙස්ට් තරගය – ක්‍රීඩාංගනයෙන් අඩක් ප්‍රේක්ෂකයන්ට විවර වෙයි

0
318

ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අනිද්දා ඉන්දියාවේ මොහාලි ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතය. විශේෂත්වය වන්නේ මෙම තරගය ඉන්දීය හිටපු නායක විරාත් කෝලි ක්‍රීඩා කරන 100 වැනි ටෙස්ට් තරගය වීමයි.

මේ නිසා මෙම තරගයට ලොවපුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බහුතරයකගේ අවධානය යොමුව තිබෙනවා.

ඉන්දියාව පුරා යළි පැතිර යන කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙම තරගය ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමට තීරණය කර තිබිණි. ඒ, පන්ජාබ් ප්‍රාන්ත ක්‍රිකට් බළධාරීන්ගේ ඉල්ලීම මතයි.

කෙසේ නමුත් තරගය ආරම්භවීමට දින තුනක් තිබියදී මොහාලි ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරවලින් අඩක් ප්‍රේක්ෂකයන් සඳහා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසනවා.

‍ක්‍රිකට් ආයතනයේ ලේකම් ජයි ෂා මහතා පවසන්නේ විරාත් කෝලි 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීම ‌ඓතිහාසික අවස්ථාවක් බවයි. එම ඓතිහාසික අවස්ථාව නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබිය යුතු බවත් ඒ අනුව ක්‍රීඩාංගනයේ ධාරිතාවයෙන් 50% ක් ප්‍රේක්ෂකයන්ට විවෘත කිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කරනවා.

පෙබරවාරි මාසයේදී ඉන්දීය – කොදෙව් එක්දින තරගාවලිය ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව පැවති අතර කෙසේ නමුත් 20-20 තරගාවලියේදී ප්‍රේක්ෂකය්නට ක්‍රීඩාංගන දොරටු විවර විය.

ඉන්දු – ශ්‍රී ලංකා 20-20 තරගාවලියේ පළමු හා දෙවැනි තරග ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් පැවැත්විණි. කෙසේ නමුත් අවසන් තරගය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි නොවීය.

සුපිරි පිතිකරු විරාත් කෝලි මේ වනවිට පිතිකරුවෙකු ලෙස යම් පසුබෑමක සිටින අතර බොහෝ ක්‍රීඩාලෝලීන් සිටින්නේ මෙම තරගාවලිය තුළදී හෝ කෝලි සිය 71 වැනි ජාත්‍යන්තර ශතකය වාර්තා කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here