ගුවන් සේවා නිලධාරිනියක ඝාතනය කරලා, සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට!

0
170

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 10 කොළඹ (LNW): ගුවන් සේවා නිලධාරිනියක යැයි පවසන කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ පුවතක් කහතුඩුව අධිවේගී පිවිසුම අසල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඝාතනය කළා යැයි පැවසෙන සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අද (10) අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය සදහන් කරයි.

ඝාතනයෙන් අනතුරුව ඔහු විදේශ රටකට පලායෑමට සඳහා සූදානම්ව ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ, පිළියන්දල මඩපාත ජබුරලිය පදිංචිව සිටි මාපිටියගේ දුලාංජලී අනුරුද්දිකා නැමැති 42 හැවිරිදි එක් දරු මවක් බව සඳහන් වේ.

ඇයගේ සැමියා පානදුර රෝහලේ වෛද්‍යවරයෙක් බවට තොරතුරු වාර්තා වේ.

ඇය සිවිල් ගුවන් සේවා අධිකාරියේ රැකියාව නිමවා කාර්යාල සේවා බස් රථයෙන් පැමිණ කහතුඩුව අධිවේගී පිවිසුමෙන් හොරණ කොළඹ මාර්ගයට පැමිණෙමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් කඩුවකින් ගෙලට පහරදී පලා ගොස් ඇතැයි පොලිසිය කියයි. බරපතළ තුවාල ලද ඇය වෑතර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ඝාතකයා පැමිණි මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කළ මූලික විමර්ශනවලදී එය අනුරාධපුර ප්‍රදේශයේ එකක් බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

පොලිසිය සඳහන් කරන්නේ, අනියම් පෙම් සබඳතාවක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඝාතනය සිදු කළ පුද්ගලයා වීසා උපදේශන ආයතනයක් පවත්වාගෙන යන අයකු බවට තොරතුරු ද පොලිසියට ලැබී ඇත. බම්බලපිටියේ පිහිටි ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණ ගොඩනැඟිල්ලක ඔහුගේ කාර්යාලය පිහිටා ඇති බව ද පොලිසියට ලැබී ඇති තොරතුරුවල සඳහන් වන අතර , සැකකරු ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ සහ ඒ සඳහා පැමිණි මෝටර් රථය සොයා පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇