*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

නොම වෛරය දියෝ, ටියුෂන් පියෝ, දෙව ශිල්ප බයෝ

ලංකාවේ ටියුෂන් කලාව බිහිවූයේ අද ඊයෙක නොවේ. ටියුෂන් ඉතිහාසය දශක ගණනක අතීතයට දිව යන්නකි. ටියුෂන් ක්ෂේත්‍රය වඩාත් ප්‍රසිද්ධ වන්නේ අපොස උසස් පෙළ විෂයය ධාරාවන් සඳහා.

අසවල් සර් යැයි නම් දරා සිටින ටියුෂන් ගුරුවරුන් උසස් පෙළ විද්‍යා, ගණිත, වානිජ සහ කලා විෂයයන් තුළ එමට ය. ටියුෂන් සංස්කෘතිය බිහිවන්නේ ද පාසල් අධ්‍යාපනයේ පවතින අඩුපාඩුකම් නිසා යැයි යම් අයෙකුට තර්කයක් ගොඩ නැඟීමට පුළුවන්. අසවල් ඒරියා එක රන් කරන්නේ අසවල් ටියුෂන් සර් විසින් යැයි ටියුෂන් කල්ට් බිහිවීම ආරම්භ වූයේ ද අද ඊයෙක නොවේ.

ටියුෂන් ක්ෂේත්‍රය අමුතුම ලෝකයකි. ගුරුවරයකු පන්තියක උගන්වයි. ඔහුගෙන් දහස් සංඛ්‍යාත දරුවන් උගනී. ඉගැන්වීමට අමතරව තවත් දහසක් දේ ගුරුවරයා විසින් දරුවන් වෙත පවසයි. දරුවා ඔහු කරන කියන සියළු දෑ නිහඬව අසා සිටියි, සෑම දෙයටම හිස වනා මුදුනින් පිළිගනියි. තර්ක නොකරයි, ප්‍රශ්න නොකරයි, වාද නොකරයි. ඒ අතර ගල් පැලෙන මුසාවක් දෙඩුව ද හිස් මුදුනින් පිළිගනියි.

මේ තුළින් ගුරුවරයාගේ අනුගාමිකයන් පිරිසක් බිහිවේ. ටියුෂන් ගුරුවරයා ආගමක් බවට පත්වේ. ඒ බලවේගය කොපමණ ශක්තිමත් ද කිවතොත් ඔහුගේ මතවාදය වැරදි බව යම් අයෙකු තර්ක කළහොත් “අපේ සර් ට මුකුත් කියන්න එපා” යැයි රෙදි උස්සන් ඒමට ද මෙම අනුගාමිකයන් පසුබට නොවේ.

ටියුෂන් කර්මාන්තය තුළින් අරගලයන් බිහිවූ අවස්ථා ඉතිහාසයේ පවතී. එම අරගලයන් දේශපාලන අරගලයන් විය හැකිය; සමාජ අසමතුලිතතා, බලය මූලික කොටගත් විෂමතා වලට එරෙහි අරගල විය හැකිය; ධනපතිවාදයට එරෙහිව කළ අරගල විය හැකිය. කෙසේ වෙතත් පියවි ඇසට පැහැදිලිව දැකිය හැකි වූ එවන් අරගලයන් මතුවූයේ කලා සහ වානිජ ධාරාවන් තුළ ය. විද්‍යා සහ ගණිත ක්ෂේත්‍ර තුළ බිහිවූ අරගල නැතුවාම නොවේ. නමුත් ඒ හුදෙක් ආගමික අරගල ය. සිංහල බෞද්ධකම රැකගන්නා අරගල ය. රැඩිකල් මතය විද්‍යා ගණිත ටියුෂන් කර්මාන්තයට දිරවන්නේ නැති පාට ය.

මිත්‍යාව ප්‍රවර්ධනය වැඩි වශයෙන් සිදුකරන්නේ විද්‍යා ගණිත විෂයයන් උගන්වන ගුරුවරුන් විසින් බව ද, මිරිස් කරල සහ දෙහිගෙඩිය පස්සා පැත්තේ එල්ලූ මිල අධික වාහන වලින් ඇවිත් බහින්නේ බයෝ/මැත්ස් උගන්වන ගුරුවරුන් යැයි ද පවසන්නේ මා නොව සන්නස්ගල ය.

විද්‍යා විෂයයන් ඉගැන්වීමට විකල්ප විද්‍යාව හෙවත් සූඩොසයන්ස් යොදා ගන්නා ගුරුවරුන් මෙන්ම ආගම දහම ද යොදා ගන්නා ටියුෂන් පියවරුන් අප සමාජ මාධ්‍ය ජාලා වල බොහෝ දකී. ඒ අතර “ලොකු සමාජ අරගලයක් කොට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට ඉඩ තැබුවේ නැහැ” යැයි ගල් පැලෙන මුසා දොඩන, ප්‍රවේණි විද්‍යාවේ ආචාරධර්ම උල්ලංඝනය කරමින් “මට තිබෙන්නේ ශුද්ධ ජාන” යැයි නන් දොඩන ජීව විද්‍යා ගුරුවරුන් ද අපි දකිමු. සර්කම්සිෂන් හෙවත් ශිෂ්ණයේ පෙර සම ඉවත් කිරීමේ සැත්කම සිදුකරන්නේ මුස්ලිම් මිනිසුන් විසින් බවත්, එසේ කිරීම සෞඛ්‍යයට හිතකර දෙයක් නොවන බවත් තර්ක කරන තවත් ජීව විද්‍යා ගුරුවරුන් ද ඒ අතර මතුවේ.

එක් දවසක් ජීව විද්‍යා ගුරුවරයකු ප්‍රසිද්ධ වේදිකාවේ පවසා සිටියේ අවශිෂ්ඨ ශිෂ්ණයක් වන භගමනිය විශාල වීම කර්මය මත හටගන්නා දෙයක් බවත්, එසේ වන්නන් “පිටරට ජීවත් වන” සංක්‍රාන්ති ලිංගිකයන් බවත් ය. ඔහුට අනුව සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ලංකාවේ ජීවත් නොවෙයි. එම ගුරුවරයාම තවත් අවස්ථාවක පවසා සිටියේ ධන ධ්‍රැවයට සෘණ ධ්‍රැවය ආකර්ෂණය විය යුතු බවත්, දැන් දැන් මෙය වෙනස් වී ධනට ධන ආකර්ෂණය වන බවක් දක්නට ඇති බවත්, එවන් මිනිසුන් අයිතිවාසිකම් ඉල්ලා සිටීම උත්ප්‍රාසය දනවන බවත්, බුදුරජාණන් වහන්සේ මෙවන් විකෘති තත්ව පිළිබඳ ඒ දවස් වල අනතුරු ඇඟවූ බවත් ය. ඒ අනුව සංක්‍රාන්ති සමාජභාවය, අන්තර්ලිංගිකභාවය සහ සමරිසිභාවය වැනි තත්ත්ව පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අභිබවා ගිය දැනුමක් ඔහුට පවතී.

ඊටම සරිලන පරිදි පන්ති කාමරයෙන් පරිබාහිරව තම මතවාදය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ඔවුන් ඉන්ටර්විව් ලබා දෙන්නේ නම ගිය යූටියුබ් කරුවන්ට මිස වගකිව යුතු මාධ්‍යයට නොවේ. විද්වත් කතිකාවක් ඇතිකර ගත යුත්තේ සමාජ කවටයන් සමඟ නොව තවත් විද්වතකු සමඟ ය.

මෙවන් විහිළු කලා හෝ වානිජ විෂයයන් උගන්වන ගුරුවරුන්ගෙන් මතුවනවා මා තවම දැක නොමැත. මා වැරදි වීමට පුළුවන. නමුත් විද්‍යා විෂයය උගන්වන ටියුෂන්කරුවන්ගේ මේ විහිලු අප දැන් දැන් මේ දකින්නේ සමාජ මාධ්‍ය ජාලා හරහා මුදල් ඉපයීමේ උපාය මාර්ගය ඔවුන් හඳුනා ගෙන ඇති බැවිනි. පන්තිය තුළ පවසන දෑ සජීවීව පටිගත කොට යූටියුබ් දැමීමෙන් අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබා ගත හැකි බවත්, ඒ සෑම ප්‍රතිචාරයකටම මුදල් ජනිත වන බවත් ඔවුහු දනිති. සෑම දෙයක් ම ඩිජිටල්කරණය වී ඇති තැන ටියුෂන් සංස්කෘතිය ද ඩිජිටල්කරණය වී ඇත. සන්නස්ගල වැනි ඇතමුන් එදා පැවති සමාජ අරගලය ඩිජිටල් වේදිකාව තුළ තවදුරටත් රැගෙන යද්දී තවත් පිරිසක් ගබ්සාව “කර්මය නම් උසාවිය” තුළදී විනිශ්චයට ලක්වනු ඇති යැයි පැවසීමට ඩිජිටල් වේදිකාව යොදා ගනී.

ආගම දහම ට නැඹුරු වූවාට වරදක් නැත. ධාර්මික ජන සමාජයක් බිහිකිරීමේ අරගලයක නිරත වනවා නම් එහි ද වරදක් පැවසිය නොහැක. නමුත් සංස්කෘතිය, සභ්‍යත්වය සහ ආගම යොදාගන්නේ ආන්තික ජන ප්‍රජාවන් අතර තවදුරටත් අපකීර්තිය ප්‍රවර්ධනය කිරීමට නම්, මිනිසුන් අතර වෛරය ප්‍රවර්ධනය කිරීමට නම්, එක් පසකින් “සියළු සත්වයෝ නිදුක් වෙත්වා” යැයි පවසා අනෙක් පසින් සමරිසියන් විකෘතිකාමීන් යැයි පැවසීමට නම්, ඒ සැමට වඩා මෙවන් බස් දොඩන්නේ උසස්පෙළ විභාගය ලිවීමට සූදානම් වන දරු පරපුරට නම් එහි බරපතල ගැටළුවක් පවතී.

88 – 89 වැනි අඳුරු යුගයන් හී දී තම පන්තියට එන දරුවන් ආරක්ෂා කර ගනිමින් සැබෑ සමාජ අරගල කළ කේසිරි වැනි ටියුෂන් ගුරුවරුන් අදටත් ජීවතුන් අතර සිටී. ගතානුගතික චින්තනයෙන් මිදී තර්කය මත ගොඩනැඟි සමාජ ආකල්ප මත ජීවිතය ජය ගැනීමට පාර කියා දුන් සන්නස්ගල වැනි ගුරුවරුන් අද ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටී. ඒ අතරම, වෘත්තීය සංගම් පිහිටුවා ගැනීමේ නිදහස යොදා ගනිමින් දේශපාලන අධිකාරියට කඩේ යන පශ්චාත් සමයේ ටියුෂන් ගුරුවරුන් ද සිටී. සමාජ මාධ්‍ය ජාලය යොදා ගනිමින් එම දේශපාලන න්‍යාය පත්‍රය සූක්ෂමව ක්‍රියාත්මක කිරීමට මිත්‍යාව ප්‍රවර්ධනය කිරීමේ වෑයමක යෙදෙන මොවුන් සමාජයට සිදුකරන්නේ සුළුපටු විනාශයක් නොවේ.

ඩාස් කැපිටා ග්‍රන්ථය ලියුවේ කාල් සහ මාක්ස් යැයි පුද්ගලයින් දෙදෙනෙකු විසින් බව පවසන විට, බොරු කියන්න එපා මිනිහෝ යැයි නැගිට ප්‍රශ්න කිරීමට සමත් තරුණ පරපුරක් අප අතර සිටිනවා ද? ගබ්සාව කර්මය මත විනිශ්චයට ලක්වනු ඇති යැයි පවසන විට අපයෝජනයේ වින්දිත කාන්තාවකට අයත්වන ඉරණම කුමක් දැයි ප්‍රශ්ණ කිරීමට සමත් තරුණ පිරිසක් අප අතර සිටිනවා ද? සමලිංගිකත්වය විකෘතියක් යැයි පවසන විට ඔබ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය අභියෝගයට ලක්කරනවා ද යැයි නැගිට ප්‍රශ්න කිරීමට සමත් තරුණ පිරිසක් අප අතර සිටිනවා ද? පෙරසම ඉවත් කිරීමේ සැත්කම සෞඛ්‍යයට අහිතකර බව පවසන විට කුමන විද්‍යාඥ්‍යා විසින් ද එසේ පැවසුවේ යැයි නැඟිට ප්‍රශ්න කිරීමට සමත් තරුණ පරපුරක් අප අතර සිටිනවා ද? මම සිංහලයෙකි සිංහලයාට තිබෙන්නේ ශුද්ධ ජාන යැයි පවසන විට එය ඩීඑන්ඒ පරීක්ෂාවකින් තහවුරු කරමුද? යැයි අභියෝග කිරීමට සමත් තරුණ පරපුරක් අප අතර සිටිනවා ද?

සංස්කෘතිය විනාශ වන බවත්, සමාජය පිරිහීමට ලක්ව ඇති බවත් තර්ක කරන උදවිය ගෙන් මෙම වසා දැමූ තිරයන් පිටුපස සිදුවන සැබෑ සමාජ පිරිහීම ප්‍රශ්ණ කිරීමට කාලය එළඹ ඇත.

ප්‍රමෝද් චින්තක පීරීස්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan