Sunday, November 27, 2022
spot_img

Latest Posts

නින්දෙන් ඇහැරෙන උද්ධමන බිල්ලා

පසුගිය වසර අවසන්ව ඇත්තේ 12.1%ක උද්ධමනයක් වාර්තා කරමින්. ආහාර උද්ධමනය 22.1% තරම් ඉහළ අගයක්. වසරේ පළමු මාස 9 තුළම උද්ධමන දර්ශකය 4.4%කින් පමණක් ඉහළ යාමත්, අවසන් තෙමස තුළ පමණක් 7.4%කින් ඉහළ යාමත් අවධානය යොමු කළ යුතු කරුණක්. ඒ අනුව, අවසන් තෙමස තුළ පැවති උද්ධමනය සමාන කළ හැක්කේ 32.8%ක වාර්ෂික උද්ධමන අනුපාතයකටයි. මේ සංඛ්‍යාව දෙස බලා 2020 වසර තුළ උද්ධමනයේ දිශානතිය පිළිබඳ අදහසක් ගන්න පුළුවන්.

ඉහළ යන උද්ධමනය මිත්‍යාවන් ගණනාවක් බිඳ දමනවා. පළමුවැන්න, මුදල් සැපයුම ඉහළ දමමින් උද්ධමන රකුසාගෙන්ද බේරී සිටිය හැකි බවට පළ කෙරුණු අදහසයි. හිටපු මහ බැංකු අධිපතිවරයාද මේ න්‍යායේ ප්‍රකාශකයෙක්ව සිටියා. වත්මන් අධිපතිවරයා විසින් ධුරය භාර ගැනීමෙන් පසුව මුදල් සැපයුම ඉහළ යාම උද්ධමනයට හේතු වන බව පිළි ගනිමින් කතා කළත්, අවශ්‍ය අවස්ථාවේ මුදල් සැපයුම අඩු කර ගැනීමේ හැකියාව මහ බැංකුව සතු නිසා මුදල් සැපයුම ඉහළ යාම උද්ධමනයට හේතු නොවන ඇති බව අවධාරණය කළා.

අධිපති කබ්රාල්ට අනුව මහ බැංකුව විසින් මුදල් සැපයුම වැඩි කිරීම ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් සැත් පිහියකින් රෝගියෙකුගේ සිරුර කැපීම වැනි දෙයක්. කපන්න වගේම රෝගියාට හානියක් නොවන සේ අවශ්‍ය අවස්ථාවේ කැපුම මහන්නත් වෛද්‍යවරයාට පුළුවන්. අධිපති ධුරයට කබ්රාල් පත් වීමෙන් පසුව ගත වූ තෙමස තුළ 32.8%ක වාර්ෂික උද්ධමනයකට සමාන අනුපාතයකින් මිල මට්ටම් ඉහළ යාම තුළ පෙනී යන්නේ මහන එක කපන තරම්ම ලේසි නැති බවයි.

උද්ධමනය විසින් බිඳ දමන දෙවන මිථ්‍යාව ඩොලරයේ මිල පාලනය කිරීමෙන් උද්ධමනය පාලනය කළ හැකි බවයි. මෙය සම්පූර්ණ බොරුවක්ම නොවන අර්ධ සත්‍යයක්. ආනයන සීමා කිසිවක් නැත්නම් ඩොලරයේ මිල පාලනය කිරීමෙන් උද්ධමනය පාලනය කළ හැකියි. එහෙත්, ආනයන සීමා ඇති විට ඩොලරයේ මිල පාලනය කළ පමණින් දේශීය වෙළඳපොළෙහි ඉල්ලුම් සැපයුම් අසමතුලිතතාවය සමතුලිත නොවන නිසා මුදල් සැපයුම ඉහළ මට්ටමක පවතින තුරු භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නොවැලැක්විය හැකියි.

බඩු මිල ඉහළ යාමට හේතුව ඉහළ බදු යන්නද, අඩු වශයෙන් ලංකාවේ සන්දර්භයේදී, මෙවැනිම මිථ්‍යාවක්. බදු වැඩියෙන් අය කරද්දී අයවැය හිඟය පහළ ගොස් සල්ලි අච්චු ගැසීමේ අවශ්‍යතාවය අඩු වන නිසා බදු හේතුවෙන් සෘජු ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ බලපෑම නිශේධනය වෙනවා. යහපාලන ආණ්ඩුව කාලයේ බදු වැඩි කර, ඩොලරයද ඉහළ යන්න ඉඩ දී තිබියදීත් උද්ධමනය මේ අයුරින් ඉහළ නොගොස් බඩු මිල පාලනය වී තිබුණේ උද්ධමනයට මුදල් සැපයුමේ බලපෑම ඔය දෙකෙන්ම සිදුවන බලපෑමට වඩා වැඩි නිසයි.

මුදල් අමාත්‍යංශය හා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන මැදිකාලීන සාර්ව-ආර්ථික සැලසුම අනුව උද්ධමනය 4-6% අතර පවත්වා ගැනීම රජයේ සැලසුමයි. පසුගිය වසර 12ක කාලය තුළ ලංකාවේ උද්ධමනය මේ සීමාව තුළ හෝ ආසන්නයේ රඳවා ගැනීමට හැකි වී තිබෙන අතර 2009 ජනවාරි මාසයෙන් පසුව උද්ධමනය කිසි විටෙකත් ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් වී නැහැ. ගැලවිල්ලට කවර හේතු ඉදිරිපත් කළ හැකි වුවත්, 12.1%ක උද්ධමනය විසින් පෙන්වා දෙන්නේ පැහැදිලි ලෙසම මහ බැංකුව සිය වගකීම් ඉටු කිරීමට අසමත්ව ඇති බවයි.

මේ තරම් ඉහළ මට්ටමකට ගොස් තිබෙන උද්ධමනය විසින් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකද ප්‍රශ්න කෙරෙනවා. මේ වන විටද වාණිජ බැංකු විසින් 6% පොලියට මහ බැංකුවෙන් අරමුදල් ලබා ගනිමින් සිටින අතර එම අරමුදල් තෙමස් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර 8.16%ක පොලියක් උපයනවා. වාණිජ බැංකු වල ප්‍රමුඛ පාරිභෝගිකයින්ද 9.18%ක පොලියකට ණය ලබා ගනිමින් සිටින අතර මෙය පවතින උද්ධමනයට වඩා 3%කින් පමණ අඩු පොලියක්. මේ තත්ත්වය යටතේ, සාමාන්‍ය පුද්ගලයින්ට උද්ධමනය විශාල ප්‍රශ්නයක් වුවත්, සීමිත පිරිසකට “කල්ල මරේ” තත්ත්වයක් ඇති වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.