*
Friday, March 29, 2024
spot_img

Latest Posts

අනුර කුමාර දිසානායක මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකින්නට යෑම ගැන ….

ඇත්ත වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකින්නට යෑම ගැන එක අතකට අප ඒ මහතා සමච්චලයට ලක් කළ යුතු නැතැයි සිතමි…..ඒ සිද්ධියේ හාස්‍යය ඇත්තේ සමාජවාදය තවමත් විශ්වාස කරන, ඒ නිසාම ඓතිහාසික – භෞතිකවාදය හෙවත් භෞතිකවාදී චින්තනයකට අනුව ඉතිහාසය විශ්ලේෂණය කරනවා යැයි සිතිය හැකි අනුර කුමාර දිසානායක මහතා වැනි කෙනෙකු ජනාධිපති ධුරය සඳහා තමන්ට “විවරණ” ලැබෙතැයි සිතා මහ නායක හිමිවරුන්ගේ ආයතන පද්ධතියට දැකුම් පෙවුම් රැගෙන යෑමේ නම් නොවේ…. එය දේශපාලනික ප්‍රයෝගයක් යැයි සිතිය හැක….

එය ජාගර දේශපාලන ප්‍රයෝගයක් වුවද, මෙරට නායකයා වන්නට නම් එය කළ යුතුව ඇත… අනුර දිසානායක නොව, ඇල්බට් අයින්ස්ටයින් ලංකාවේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුවද, ඔහුටත් පන්සල් පල්ලි කෝවිල් ගානෙ, හඳුන්කූරු සහ පිරිකර අරගෙන, තුන්නූරු නළලේ උලාගෙන, ඉටි පන්දම් අතේ ගෙන දේව මෙහෙයන්ට ඉඳගෙන, බිම වාඩිවී “ඉෆ්තාර්” කෑම කමින් ඒ මේ අත දුවන්නට සිදුවනු නොඅනුමානය….ඒ මෙරට ක්‍රමවේදයයි… එහෙම නොවුනොත් ඔහුට බෞද්ධ, හින්දු, කිතුණු, ඉස්ලාම් පර්ශත් වලින් අනුග්‍රහය නොලැබෙන අතර, ඡන්ද ලැබෙන්නේද නැත…

එහි හාස්‍යය ඇත්තේ අනුර කුමාර දිසානායක මහතා තමාට නුදුරු වටයකදීම ජනාධිපති වන්නට ලැබෙතියි සිතාගෙන, කිරුළු පැළඳීම සඳහා මහා සංඝරත්නයේ අනුමැතිය පතන කෙනෙකු ලෙස එහි ගියා නම්ය….අනුර මහතා එහි ගියේ ඒ අයුරින් බව අපට බැලු බැල්මට පෙනෙන්නට ඇති දෙයයි….අන්න එය නම් විහිලුවකි… ඒ ජනතා විමුක්ති පෙරමුණ හෝ එම පක්ෂය වටා ගොඩනැගී තිබෙන ජාතික ජන බලවේගය ජනාධිපතිවරයෙක් බිහිකරන තැනට යන්නට තව බොහෝ දුරක් ඇති බව දේශපාලනික යථාර්තය දන්නා ඕනෑම කෙනෙකුට වැටහෙන කරුණ වන නිසාය….එතැනට යන්න නම් ජනතා විමුක්ති පෙරමුණ –

  1. තනි බලවේගයක් ලෙස මෙරට ප්‍රධාන මැතිවරණයකදී එක් මැතිවරණ බළ ප්‍රදේශයක් හෝ ජයග්‍රහණය කර පෙන්විය යුතුය. ජවිපෙ ( සහ ජාතික ජන බලවේගය ) තවමත් ඇත්තේ එවැනි ජයග්‍රහණයකට බොහෝ ඈතිනි. ජනාධිපතිවරණයක් ජයගන්නට නම් ප්‍රතිවාදී අපේක්ෂකයාට අවාසි දිස්ත්‍රික්ක හෝ විශිෂ්ඨ අයුරින් දිනා, පරතරය පවත්වා ගත යුතුය…. දිස්ත්‍රික්ක දිනනවා තබා, ආසනයක් වත් තවම පැහැදිලි පරතරයකින් දිනා පෙන්විය හැකි තත්වයක් බිම් මට්ටමේ ජවිපෙට තිබෙනවාද?….අවම වශයෙන් එළඹෙන පළාත් සභා මැතිවරණයේදී වත් දෙවැනි තැනට හෝ පැමිණ පෙන්වන්නට එම පක්ෂයට හැකියාවක් තිබේද යන්න ජවිපෙ විශ්ලේෂකයන් කල්පනාවට ගත යුතුය….රජයක් පිහිටුවීම, ජනාධිපතිවරණයක් ජය ගැනීම යන කරුණු එන්නේ පසුවටය….
  2. එම පක්ෂයට සහ බලවේගයට මෙරට සිංහල නොවන වාර්ගික කොටස් වල විශාල සහායක් දිනාගත හැකිද?….මෙරට නිදහසෙන් පසුව පැවති මැතිවරණ වලදී දමිළ සහ මුස්ලිම් සහෝදර ජනකොටස් සමාජවාදය හෝ වම එතරම් උනන්දුවකින් අනුමත කර නැත….උතුරේ අරගල කළ සමයේ ඇතැම් දමිළ නායකයන් වාමවාදී ප්‍රවණතා සහිතව සංවිධානය වූ බවත්, එහිදී කන්දසාමි පද්මනාභා ( ඊ.පී.ආර්.එල්.එෆ්), ඩග්ලස් දේවානන්ද, බාළකුමරන්, සෙල්වරාජා යෝගචන්ද්‍රන් ( කුට්ටුමනී – ටෙලෝ ) වැනි නායකයන් වාමවාදී නැඹුරුවක් සහිතව සිටියහ….ඊට අමතරව වී.අයි.එස් ජෙයපාලන්, පුතුවෙයි රත්නදුරෙයි වැනි මෙරට උපන් දමිළ කවීන් සහ සාහිත්‍යධරයන් වාමවාදී සාහිත්‍යයේ අධ්‍යයනයන් සහිත අය වෙති….නමුත් සමස්ථයක් ලෙස දමිළ ජනතාව ව්‍යාපාරකරණය, සහ දක්ෂිණාංශික අපේක්ෂා සහිත තාක්ෂණික අධ්‍යාපනය වැනි පරිචයන්හි හැසිරෙනවා විනා වමට එතරම් නැඹුරුවක් නැත….මුස්ලිම් ජනතාව නම් කවදාවත් වමට ආශිර්වාද කළ බවක් දක්නට නැති අතර, ඉදිරියේදී ද ඔවුහු එසේ කරතියි සිතිය නොහැක….ජවිපෙ සිය ආරම්භයේදීම මේ ජන වර්ග දෙකම පහසුවෙන් අමතක කර දැමූ සහ පසුව ඔවුන්ගෙන් එක් වර්ගයක් සමඟ පැවති අභ්‍යන්තර අර්බුදයට දේශපාලනික විසඳුමක් ලබා දීමට එරෙහි පාර්ශව ශක්තිමත් කර, ඔවුන්ව උසි ගැන්වූ පෙරගමන්කාර බලවේගය විය…..( “ලබ්/බෙන්ද ගහන්නෙ?” කථාව බොහෝ දෙනා අසා ඇතැයි සිතමි ) .. එමෙන්ම වතු කම්කරු ශ්‍රමිකයන් ජවිපෙ සාහිත්‍යයේ සහ දර්ශණයේ “වැඩකරන ජනතාව” හඳුන්වන විට එතරම් මතකයට ගත් කොටසක් බව පෙනෙන්නට නොතිබිණි….. මේ පාර්ශව සතුව ඉදිරි ප්‍රධාන මැතිවරණයකදී භාවිතා කළ හැකි ඡන්ද ලක්ෂ විස්සක්, විසි පහක් පවතී යැයි උපකල්පනය කළහොත්, ඒවායින් ලොකු කොටසක් කඩාගෙන ජනපති කෙනෙක් පත් කරන්නට හෝ, පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගන්නට ජාතික ජන බලවේගයට හැකිද?…..

මේ සරල කරුණු දෙක පමණක් සළකා බැලුවත් 2024 හෝ 2025 වසරකදී ජනතා විමුක්ති පෙරමුණ හෝ එම පක්ෂය විසින් ගොඩනගනු ලබන සන්ධානයකට මෙරට ජනපති කෙනෙක්, පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගැනීම ප්‍රායෝගිකව පහසු යැයි නොසිතන බැවින් එම පක්ෂයේ නායකයා නුදුරේදීම ජනාධිපති කෙනෙකු වන්නට පෙර සූදානම් වීම යම් ප්‍රහර්ෂයක් උපදවයි…..

( මීට අමතරව සිංහල ජනයා අතර ගම් මට්ටමෙන් පවතින ප්‍රභූ වන්දනාව, කුළ සාධක, ජාතික අභිලාෂයන් වැනි බොහෝ කරුණු සමඟම, අප වැනි අයගේ තිබෙන වාම විරෝධයද ජවිපෙට බොහෝ ඡන්ද අහිමි කරනු ඇත… මේ අභියෝග සියල්ල ජයගෙන එම පක්ෂ සන්ධානය තව වසර තුනකින් මෙරට ජයග්‍රාහී දේශපාලන බලවේගය වුවහොත්, එය “මිරැකල් ඔෆ් ශ්‍රී ලංකා” යනුවෙන් නාම ස්ථාපනය කර ලෝක ඉතිහාසයට එක් කළ යුතු සන්ධිස්ථානයක් වනු ඇත… )

බටහිර රටවල් වල ආගම දේශපාලනයෙන් වෙන් කෙරුණේ විශිෂ්ඨ වූ චින්තන විප්ලවයක් මඟිනි…. සමහරු එයට පුනරුදය යැයි කියති….සමහරු එයට දාර්ශණික විප්ලවය සහ ප්‍රඥාවේ අවදිය යැයි කියති… ඒ කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසි අයිතිවාසිකම්, ජනතාවගේ පරමාධිපත්‍යය වැනි සංකල්ප බිහිකර, ඒ ඔස්සේ විද්වතුන්, උගතුන් මෙහෙයවන කථිකාවත් ගොඩ නඟා, අරගල සිදුකර, එකී නව ඓහිකවාදී සංරචක සමඟ අයිතිවාසිකම් පිළිබඳව විඥාණය ජනතාව තුළ පැළපදියම් කර, ඒවා සුරක්ෂිත කරන ආයතන පද්ධතියක් බිහිකිරීම බොහෝ කැප කිරීම්, බිලි පූජා තුළින් සිදු කළ දෙයකි…. ලන්දේසින් සහ බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ගියේ, අන්න එසේ බිහිවූ ආයතන පද්ධතියක් සහ නෛතික – දේශපාලනික රාමුවක් වුවද, ඒ කථිකාව මෙරට තුළදී සිදු වූවක් නොවන හෙයින්, අපේ ජනතාව ඒ උත්තරාරෝපිත ආයතන පද්ධතිය, රාමුව සහ පටිපාටීන් පිළිගත්තේ අර්ධ – වැඩවසම් අර්ථකතන ඒවාට ලබා දෙමිනි…. ඒ අනුව ජනාධිපති යනු රජෙකු වන අතර, මේ රජාට කිරුළු පළඳින්න නම් නුවර ගොස් ඒ විහාරවල හත්පළේ වැඳ වැටී, ඉක්බිතිව ශාන්ත ලූසියා දෙව්මැදුරට ගොස් දණ ගසා, ඉනුත් පසුව දවටගහ පල්ලියේ බිම ඉඳගෙන, නල්ලූරු කෝවිලේ කමිස නැතුව අඩ නිරුවතින් දුවමින් ආශිර්වාද ගත යුතුය….වැඩේ කෙරෙන්නේ එවිටය….

රාජ්‍ය බලය සහ පල්ලිය අතර සම්බන්ධය බිඳ දැමිය යුතුය යන්න තරයේ විශ්වාස කළ ප්‍රංශ දාර්ශණික වෝල්ටෙයාර් එන්ගලන්තයේදී ඒ පිළිබඳව කළ දාර්ශණික සංවාදයක් අවසානයේ, ඔහුගේ හිතවතුන් සමඟ වීදියට බට විට “ශාන්ත බාර්තොලමිව්” දේවස්ථානයේ ඉදිරි වහලයේ කුරුසිය ඔහුට දිස්විය….සිය උගත් මිතුරන් දෙස වරක් නැවත හැරී බැලූ හෙතෙම “ආං අරක අතන තියෙනවා…. මේං ඒ පැත්තට නගරයේ බළවත් උදවිය යනවා…… මෙන්න මහත්වරුනි ඔබ සහ අපි සංවාද කරනවා” කියා මහ හඬින් සිනාසුනේය….

පන්සල්, පල්ලි, කෝවිල් ගානේ බඩගාමින් “ඔටුනු පළඳින” රජෙක් ත්‍රී සිංහලාධීශ්වර වෙන්නට පෙර කළ යුතු පෞරාණික වතාවත් ටික කරනවා ඇරෙන්න, ජනාධිපති උනාම කරන්නේ මොනවාදැයි සවිස්තරාත්මකව පෙන්වීමට අවශ්‍ය කියවීම සහ දැනුම ඇති කරගැනීම පවා මෙරටින් බොහෝ දුරස්ථ දේශපාලනික සිහින වශයෙන් තවමත් පවතී…..ඒ නිසා “ආං ඒවා අතන තියෙනවා…. මේං ඒවට නායකයො ගිහින් පෙරළි පෙරළි වඳිනවා…. ඕං ඔහෙලා සංවාද කරනවා ” තමා….

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයත්, එම පක්ෂය සමඟ අත්වැල් බැඳගෙන සිටින විද්වතුන් සහ ප්‍රාමාණිකයනුත් මෙරට සියළු ආගම් දේශපාලනයෙන් සැබෑවටම වෙන් කර, ඒ ආගමික සංස්ථා සියල්ල දේශපාලනයට බලපෑම් කළ හැකි අයුරින් පවත්වා ගන්න සිවිල් බලය විසංයෝජනය කර දමන්නට යමක් කරනවා නම්, ඒ සඳහා සත්‍ය කථිකාවතක් ආරම්භ කරනවා නම්, මේ කඩිමුඩියේ ඔටුනු පළඳින්න කරන හාස්‍ය ජනක උත්සාහයට වඩා අතිශයින් ප්‍රයෝජනවත් විශිෂ්ඨ වූ යමක් ඔවුන් අතින් කෙරුණා ලෙස ඉතිහාසය ඔවුන්ව මතක තබා ගන්නවා ඇත….

ජවිපෙ ගැන මීට වඩා යමක් ලියන්නෙ නැත….

  • දමිත් කේතක

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan