පසුගිය කොටසේ නැවතුන තැන් සිට…
වෙඩි තැබීම නතරවී සුළු වේලාවකට පසුව පොලිස් ට්‍රක් රථ කීපයක්ද ඉහල පොලිස් නිලධාරීන් කන්ඩායමක්ද කඳවුරු පරිශ්‍රය තුලට පැමිනෙන ලදී. ඒ අතර 88,89, ඝාතන සම්බන්දව නමගිය නියොජ්‍ය පොලිස්පතිවරයෙක්ගේ සොයුරෙක්ද පැමිණ සිටියේය.
ඔහු මුරට සිටි බටයන් අමතා “පැනලා යන එවුන්ට තියන ගමන් ඇතුලටත් තියලා දාපල්ලා” යැයි පවසනු අප සමඟ සිටි රැඳවියෙකුට ඇසී තිබින.
ඒ සමඟම ක්ෂනික විහිදුම් බලකායට (R.D.F.) අයත් අවිගත් හමුදා බටයන් කන්ඩායමක්ද ට්‍රේල් යතුරු පැදිවල නැගී කඳවුරු බූමිය තුලට පැමිණියේය. එහි සිටි සෙබළුන් දෙදෙනෙක් රැඳවුම් ශාලාවේ වැට අයිනට පැමිණ ඔවුන් සතුව තිබූ තුවක්කු පෙන්වා “උඹලට මේ තුවක්කු දුන්නොත් උඹලා පොලීසියට ගහලා පැනලා යනවාදැයි” රැඳවියන්ගෙන් ඇසීය. එහිදී අනුරාධපුරයේ රන්ජි නැමති රැඳවියා ” ඕවා දුන්නොත් නොට්ටිගේ පුතාලා තොපි ඔක්කොම බාවනවා” යැයි පිළිතුරු දුන්නේය.
එසේම එහිදී මැණික්හින්නේ ජයලත් නැමති රැඳවියා එළියේ පක්ෂය නැති නිසා අපි මෙසේ නිහඬව සිටින බවත් එළියේ පක්ෂය තිබුනා නම් ඔක්කොම මරළා අපි මෙතනින් පැනලා යන බවත් මේ මගුළ කඩාගෙන යන එක අපිට ඒ හැටි දෙයක් නොවන බවත් සොල්දාදුවන්ට පැවසීය. එහිදී ලජ්ජාවට පත්වූ සෙබළුන් කිසිවක් සිදු නොවූවා සේ සෙමෙන් වැට ලඟින් ඉවත්විය.
මේ පසුබිම තුල ලෙස්ලි අයයා විසින් කඳවුර තුල හදිසි රැස්වීමක් කැඳවනු ලැබින. මේ රැස්වීමේදී කතා කල ලෙස්ලි අයියා “සහෝදරවරු පැනලා යන්ට, හැබැයි මීට වඩා පරෙස්සමට පැනලා යන්ට යැයිද මේ විදියට ලාබෙට උන්ට අපේ ජීවිත් ඩැහැගන්ට අවස්තාව සලසා නොදෙන්නැයිද” රැඳවියන්ගෙන් ඉල්ලා සිටියේය.
එහිදී කතාකල කරඬි (වලහා) සිරගෙදරකින් පැනයාම සිරකරුවෙකු සතු පරම අයිතියක් බවත් ඒ අයිතිය පලදායි වීමට නම් නිරුපද්‍රිතව පැනයායුතු බවත් පවසා සිටියේය.
පලාගිය එක් රැඳවියෙකු කඳවුර අසල ඇති අගලේ වෙඩි වැදී වැටී ඇති බවත් තවත් කීපදෙනෙකු තරමක් ඈත ස්තානයක මරා දමා ඇති බවත් අපට ඒවන විට දැනගන්නට ලැබී තිබින. නමුත් ඒ කවුරුන්දැයි ඒවන විටත් අප දැනගෙන සිටියේ නැත.
එදින රාත්‍රී හතට පමණ ශාලා හතරෙන් රැඳවියන් හතර දෙනෙක් වෙඩි වැදී මිය ගියවුන්ගේ මෘතදේහ හඳුනා ගැනීම සඳහා පිටතට රැගෙන ගියේය.
අපේ ශාලාව වෙනුවෙන් පිටතට රැගෙන ගියේ ජයේ අයියාය. පැය දෙකකට පමණ පසුව නැවත කඳවුර තුලට රැගෙන ආ ජයේ අයියා විසින් අගල තුල බාලේ මියගොස් ඇති බවත් ඔහුට වෙඩි වැදී තිබුනේ උදරයට බවත් ට්‍රැක්ටර් ප්‍රේමේ සහ කළු අයියාද විජේද කඳවුරේ සිට සැතපුම් එකහමාරක් තරම් දුරක ගං ඉවුරක වෙඩිතබා මරාදමා ඇති බවත් කළු අයියාගේ හිස පපුව ගෙල ප්‍රදේශය වෙඩි වර්ශාවකට හසුව ඇති බවත් පවසා සිටියේය.
(එහිදී නිරුපද්‍රිතව පලාගිය අයෙකු හරහා මට පසුකාලයකදී දැනගැනීමට ලැබුනේ කළු අය්යා පලායමින් සිටි ප්‍රදේශය හමුදාව විසින් වටකරනු ලැබ ඔහුට යටත්වී දණ ගසන ලෙස අණ කොට ඇති නමුත් එහිදී කළු අයියා වැට මුගුරකින් සෙබළුන්ට පහරදී පලායෑමට දැරූ උත්සාහයකදී ඔහු මෙසේ වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇති බවය. ඒ අතරවාරයේ බන්ඩයියා ඇතුළු පිරිස පලා ගොස් තිබූ අතර පලායෑමේදී වෙඩි වැදුන ට්‍රැක්ටර් ප්‍රේමේද විජේද එහිදී මරණයට පත්ව ඇත.)
ජයේ අයියා පැමිණ පැවසූ පුවතෙන් රැඳවියන් කම්පනයට පත්විය. ඉක්බිති රැඳවියන් විසින් ඔවුන් සතුව තිබූ සුදු සරොම් ඉරා සකස්කරගත් දැවැන්ත සුදු කොඩියක් අඩි පනහක් පමණ උස රැඳවුම් ශාලාවේ වහළය මුදුනේ සවි කලේය. එසේම රැඳවියන් විසින් තැනූ අඩි දහයක් පමණ උස කටවුට් එකක් ශාලා පිවිසුම ලඟ සවිකල අතර එහි එහි මෙසේ ලියවී තිබින…
” නැවත වතාවක් මේ මිහිමත ගලා ගියේ යුක්තිය වෙනුවෙන් හඬ දුන් මිනිසුන්ගේ රැධිරයයි. යුක්තිගරුක දේශයක් මේ පොළෝතලය මත නිමැවෙන කෙදිනක හෝ නුබලා වෙනුවෙන් රතු මල් කළඹක් එහි තැබීමට අපි අමතක නොකරමු.”
වෙඩි තැබීම සිදුවූ දිනට පසු දින උදෑසනම රැඳවියන් සියළු දෙනා රැස්වින. එහිදී සියළු රැඳවියන් දින තුනක් නිරාහාරව සිට එහිදී ඉතිරිවන ආහාර සළාක මුදල (පරිපාලනය එකඟකර ගෙන) මියගිය රැඳවියන්ගේ ඥාතීන්ට ලබාදීමට කටයුතු කරමු යැයි “කායා” විසින් යෝජනා කර සිටියේය. ඒකමතිකව සියළු දෙනාම ඒ යෝජනාවට එකඟවූ අතර දින තුනක් අප නිරාහාරව සිට ඒ ඉතිරිවූ ආහාර සලාක මුදල අසරණව සිටි මියගිය රැඳවියන්ගේ ඥාතීන්ට යැවීමට එදා අපට හැකිවින.
පසුව අපට දැනගන්නට ලැබුනේ මියගිය අයගේ ඥාතීන් ආර්ථික වශයෙන් අන්ත අසීරු තත්වයක සිටි බවත් අප යැවූ මුදල ඔවුන්ට විශාල සහනයක් වූ බවත්ය.
පසුදින නිලධාරීන් රඳවියන් ගණන් කිරීම සඳහා රැඳවුම් ශාලාව තුලට පැමිණි මොහොතේ උදරයට වෙඩි වැදුන රැඳවියා ලේ වහනය වී මියයන තුරුම රෝහලකට රැගෙන නොගියේ මන්දැයි ලෙස්ලි අයියා නිලධාරීන් ගෙන් ප්‍රශ්ණකර සිටියේය. පණ අදින මනුශ්‍යයෙකු රෝහලක නොයැවීමට තරම් නිල ඇඳුම් තුල සිටින්නේ අමනුශ්‍යයන්දැයි ඔහු අසා සිටියේය. එහිදී ලෙස්ලි අයියා දෙස එක දිගට රවා බලනු විනා වෙනත් පිළිතුරක් නිලධාරීන්ගෙන් ලැබුනේ නැත.
ලෙස්ලි අයියාගේ සටන්කාමී ආබාශය මේවන විට කඳවුරේ සියළු රැඳවියන්ට බලපා තිබින. එසේම ඒ හේතුවෙන්ම රැඳවියන් තුල ඇතිවෙමින් තිබූ පෙර නොවූවිරූ සටන් කාමී බව නිසාම පරිපාලන නිලධාරීන්ද යම් තරමකට පසු බැස තිබින.
ඇතැම්විට රැඳවියන්ගේ පලායෑමට පවා එය යම් තරමකට හෝ බලපාන්නටද ඇත. නමුත් රැඳවියන්ගේ රැඩිකල් ක්‍රියාකාරිත්වය පමණ ඉක්මවා ගිය සෑම විටෙකම ඒවා පාලනය කිරීමට ලෙස්ලි අයියාගේ දේශන වලට හැකිවිය.
කළු අයියා ඇතුළු රැඳවියන් මෙසේ ඝාතනය වීම ලෙස්ලි අය්යාට තදින් දැනී තිබින. “අපරාදේ වැඩක් කරන්ට පුළුවන් හිත හොඳ මිනිස්සු නිරපරාදේ මැරිලා ගියා” යැයි ඔහු පසු දිනක ඒ සම්බන්ධව මා සමඟ පැවසීය.
මේ සිදුවීමට දින කිහිපයකට පසුව පලාගිය අයගේ චායා රූප පුවත්පත්වල පලවී තිබූ අතර ඔවුන් පිළිබඳව තොරතුරක් ලබාදෙන අයට තෑගි දෙන බවද එහි සඳහන්ව තිබින.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN
පෙර ලිපි –