Thursday, February 9, 2023
spot_img

Latest Posts

එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (9) දැවැන්තයෙකුගේ අවසන් හෝරා කිහිපය

මේ පලායෑමේ පොදු වෑයම තුල ඒ සඳහා කල්‍ යල් බලමින් සිටි තවත් සුවිශේෂී පුත්ගලයෙක් විය. ඔහු නමින් නුවර එළියේ කලු අයියාය. ඔහුගේ පලායාම සම්බන්ද උනන්දුව වැඩිවීමට හේතුව වී තිබුනේ පක්ෂය තුල ඔහු සමඟ ක්‍රියාන්විත ගනනාවකට සම්බන්දවී තිබූ ඔහුගේ අතිජාත මිත්‍රයෙකුවූ මැදිරිගිරියේ බන්ඩයියාද මැගසින් බන්දනාගාරයේ සිට පළ්ලෙකැළේට ගෙනැවිත් දමා තිබීමයි.

මේ දෙදෙනාම නිර්භීතබවෙන් මෙන්ම සරීරයෙන්ද දැවැන්තයින්ය. කළු අයියා යනු උසින් අඩි හයකට වඩා උසැති ශක්තිමත් මහතකින්ද යුත් තරමක් විශාල ඇස් ඇති කාල වර්ණ පුත්ගලයෙකි. ඔහු කඳවුර තුලදී නිකටේ සිට පහලට අඩි එකහාමරක් පමණ දික්වූ ඝන රැවුලක්ද වවාගෙන සිටියේය. මියයන විට ඔහුගේ වයස අවුරුදු තිස් තුනක්ව තිබින.

මීට වසර තිස්තුනකට පමණ පෙර මහ දවල් කඳවුරෙන් පලාගොස් කඳවුරට සැතපුම් එකහාමාරක පමණ ඈත ස්තානයකදී හමුදාව විසින් වටකර වෙඩිතබා මරාදැමුනු කළු අයියා නැමති මේ නිර්භීත නැනවත් සත්පුරුෂයා ගැන ලිපියේ මුලදීම යම් හැඳින්වීමක් කිරිම මා සතු යුතුකමක් සේ සළකමි.

කළු අයියා යනු පක්ෂයේ සටන් කාමීන්ට අවි පුහුණුව ලබාදුන් පක්ෂයේ තරමක් පැරණි සංවිධාකයෙකි.
ඔහු දක්ෂ කලාකරුවෙකු මෙන්ම මානවහිතවාදියෙකි එමෙන්ම ඝෘජු මිනිසෙකි.

වරක් ඔහු කඳවුර තුල තිබූ අඩියක පමණ දිග ලී කොටයකින් ඔහු සතුව සඟවාගෙන තිබූ කුඩා ආම්පන්න කිහිපයක ආධාරයෙන් වීනස් දෙවු දුවගේ මනරම් ප්‍රතිමාවක් නිර්මාණය කලේය. පසුව රැඳවියන් බැලීමට එන ඥාතියෙකුගේ අතේ කඳවුරෙන් පිටතට යැවූ ප්‍රතිමාව රුපියල් පන්දාස් පන්සියක මුදලකට විකුණා දමණු ලැබින. (වර්තමානයේ පනස්දාහක පමණ මුදලක්) අනතුරුව ඒ සියලු මුදල් වැයකොට ඔහු කඳවුරේ අධ්‍යාපනය ලබන රැඳවියන්ට ඇක්සයිසස් පොත්ද පෑන් පැන්සල් විශාල ප්‍රමාණයක්ද ගෙන්වා දුන්නේය.

තවත් විටෙක ඔහු සබන් කැටවලින් ඉසුරුමුණි පෙම් යුවල නෙළුවේය. ඒවාද කඳවුරේ නිලධාරීන්ට දී හිලව්වට රැඳවියන්ට අවශ්‍ය පෑන් පැන්සල් ගෙන්වා ගත්තේය. එසේම ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක්ද විය. පුත්ගලයෙකුගේ ජීවමාන රූපයක් පැන්සල් තුඩකින් කඩදාසි කොලයක් මත සිතුවම් කිරීමේ අපූරු හැකියාවක් ඔහු සතුව තිබිනි. එසේම ඔහු සතුව තිබූ සියළු හැකියාවන් ඔහු කඳවුරේ සෙසු රැඳවියන්ටද නිර්ලෝභීව ඉගැන්නුවේය.

එසේම පක්ෂය විසින් ක්‍රියාත්මක කල නිරායුද සිවිල් වැසියාට එරෙහි ඝාතනයන්ද ඔහු තරයේ විවේචනය කළේය. ඔහු ද සම්බන්ද වී තිබූ එවැනි ඇතැම් සිද්දි ගැන ඔහු කිහිප විටක්ම දැඩි පස්චත්තාපයෙන් මා සමඟ කරුණු පවසා තිබින.

ඔහුගේ අදහස වී තිබුනේ අපට කිට්ටුවෙන්ටවත් නොහැකි දැඩි මුරකාවල් මැද සිටින සැබෑ සතුරා වෙනුවට දැන හෝ නොදැන වැරදි කරන ගම්බද දුප්පත් මිනිසුන්ට දඬුවම් දිම පලක් නැති ක්‍රියාවක් බවය. එසේම පස්සෙ කාලෙකදී අප කාටත් අමතක උනු කැරැළ්ල තුලදී මියගිය උන්ගෙන් යැපුන ඔවුන්ගේ අසරණ ඥාතීන්ට මොනයම් හෝ උදව්වක් කලයුතුය යන්නද ඔහු නිතරම පැවසු හා ඔහුගේ සිතතුල පැවතුන අදහසකි.

මෙවර ඔහුගේ පලායෑම අසාර්ථක වී එහි වන්දිය ලෙස ඔහුට ඔහුගේ ජීවිතය නැති උවද සිරගෙවල් බිඳ පලායෑම වූකලී ඔහුට මහ කජ්ජක් නොවූවා උවද විය හැකිය. මන්ද කළු අයියා සහ බන්ඩයියා යන දෙදෙනාම මීට පෙර අවස්තා ගනනාවකදීම බන්දනාගාර බිඳ පලාගොස් තිබූ අයවළුන්වූ බැවින්.

එමෙන්ම වෙඩි උන්ඩ ද ඔවුන්ට එතරම් බියකරු දෙයක් ලෙසද නොදැනෙන්නටද ඇත. මන්ද ඒවන විටත් ඔවුන්ගේ සිරුර පුරාම සුවවූ මූනිස්සම් සලකුණු ගණනාවක්ම තිබුනා සේ මට මතකය.

කෙසේ හෝ මේ පැනයාමේ සිද්දිය සිදුවූයේ උදේ වරුවකය. රැඳවියන් රැකවල් කිරීම සඳහා කඳවුර වටා සාදා තිබූ මුර කපොලු පිහිටා තිබුනේ අඩි පනහෙන් පනහ වැනි පරතරයකටය. සාමාන්‍යයෙන් එක් මුරපොලක අවිගත් බටයන් සිවු දෙනෙක් පමණ සිටියේය. ඔවුන් සෑම දෙනා අතම ටී 56, රයිපලයක් සහ අමතර මැගසින් තුනක් තිබින.

එදින මොනයම් හෝ හේතුවක් මත අප සිටි රැඳවුම් ශාලාව ආසන්නයේම පිහිටි මුර පොලේ සිටියේ එක් බටයෙක් පමණි. ඔහුටද එහි තිබූ බංකුවක් මත නින්ද ගොස් තිබින. ඒ මොහොතේ නීරීක්ෂන රාජකාරීයේ පැමිණි පොලිස් පරීක්ෂකවරයෙක් විසින් මේ පොලිස් බටයාගේ අවිය රැගෙන ගියේය.(පසුව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විය යුතුය)

මෙහිදී මේ සිද්දිය දුටු කළු අයියාද, බන්ඩයියාද කඳවුරේ කටුකම්බි වැටවල් වලින් රිංගා යමින් සහ කටුකම්බි රෝල් උඩින් පනිමින් අවි රහිතව මුර බටයා සිටි මුරපොල අසලින් “අපි යනවා” යැයි කියමින් පලායන්නට විය. එහිදී ඒ පසුපසින් බාලේ, ද ට්‍රැක්ටර් ප්‍රේමේ, ද අජිත්,ද විජේ,ද පැනයන්නට විය.

එවිට එහි සිටි පොලිස් බටයා මදක් ඈතට දිවගොස් “මෙන්න පනිනවෝ” යැයි මොර ගාන්නට විය. එවිට අසල මුරපොලවල් වල සිටි බටයන් එතැනට පැමින පලායන්නවුන් දෙසට වෙඩි වර්ශාවක් නිකුත්කරන්නට විය. සුළු වේලාවකින් එල්.එම්.ජී. ප්‍රහාරයකද හඬ ඇසින.

රැඳවියන් පලාගිය දෙසින් තිබුනේ ජලය අඩු ගැඹුරු ඇල මාර්ගයකි. එහිදී පලා යෑම සඳහා අඩි පනහක පමණ ඇල බෑවුම බැස අනෙක් පස ඉවුරේ අඩි පනහද නැගගත යුතුව තිබින.

ඒ මොහොතේ මා සිටියේද ශාලාවෙන් පිටතය. එහිදී එළියේ සිටි රැඳවියන් විසින් වෙඩි තබන පොලිස් බටයන් දෙසට “වෙඩි තියන්ට එපා” යැයි කෑගසමින් අතට හසුවූ ගල්මුල් වලින් දමා දමාගසන ලදී. එහි අරමුණ පලායන්නවුන්ට නිරුපද්‍රිතව පලායෑමට අවස්තාව සලසාදිමය.

එහිදී එළියේ සිටි පොලිස් බටයන් කීපදෙනෙකු විසින් කඳවුර තුලටද අවිමානන්නට වූ අතර සෙසු බටයන් දිගටම පැනයන්නවුන්ට වෙඩි තබන්නට විය. සැලකිවයුතු වේලාවක් වෙඩි තැබීම සිදුවී අනතුරුව වෙඩි හඬ නතරවිය.

ඒ සමඟම ඇල බෑවුම දෙසින් මර හඬක් නගනු ඇසින. එහිදී ඇල බෑවුම තුල අකුලක උදරයට වෙඩි වැදුන රැඳවියෙකු වැටී සිටින බව අපට මුර බටයෙකු හරහාම දැන ගන්නට ලැබින. ඒ මොහොතේ අපි අගලේ වෙඩි වැදී වැටී සිටින අය වහාම රෝහලකට රැගෙන යන ලෙස ඉල්ලා එක දිගට කෑ ගැසුවෙමු. නමුත් එහි සිටි නිලධාරීන් වෙඩි වැදුන රැඳවියා රෝහල් ගතකිරිමට අදාල කිසිවක් සිදුකලේ නැත.

ඒ මොහොතේ ඇළ අගල තුල උදරයට වෙඩී වැදී වැටී සිට ඇත්තේ බාලේය. හවස්වන විට ඔහු අධි රැධිර වහනය හේතුවෙන් මියගොස් තිබින. මිය යනවිට විට ඔහුගේ වයස අවුරුදු විසි හයක් පමණ වන්නට ඇත ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

පෙර ලිපි –

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.