*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

ඔව් සමලිංගිකත්වය නීතිවිරෝධීයි. නිකං නෙමෙයි, ව්‍යවස්ථාපිතව නීතිවිරෝධීයි – අධිකරණයටත් උඩින් ඉන්න පොලීසිය

ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය හා ප්‍රකාශනය බැඳි මානව හිමිකම් හෙවත් LGBTIQ අයිතිවාසිකම් පිළිබඳව පිට පිට පුවත් මැවූ කාලසීමාවකි 2020 – 2021. එම පුවත් සංෂිප්තව පහත දක්වමු;

01 – ‘සමලිංගිකත්වය’ නම් චෝදනාව මත අත්අඩංගුවට පත්වූ පුද්ගලයන්ගේ ලිංගික දිශානතිය ‘තහවුරු කරන’  මැයෙන් ඔවුන් බලහත්කාරයෙන් ගුදමාර්ග/යෝනිමාර්ග ආශ්‍රිත පරීක්ෂා වෙත යොමුකරන බවත්, ඒ සඳහා පොලිස් නිලධාරීන් හා අධිකරණ වෛද්‍යවරුන් සම්බන්ධ බවත් අනාවරණය වීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ශ්‍රී ලංකාවේ LGBTIQ පුද්ගලයන්ට වෙනස්කොට සැලකීම් වලින් තොරව ජීවත් වීමට අයිතියක් ඇති බවත්, ඒ වෙනුවෙන් තමා පෙනී සිටින බවත්, මෙම අනාවරණයේ සත්‍යතාවයක් තිබේ නම් ඊට එරෙහිව වහා ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රසිද්ධියේ පොරොන්දුවක් ලබා දුන්නේ ය. (2020 ඔක්තෝබර් 30)

02 – නීතිය යටතේ සමලිංගිකත්වය සාපරාදී වරදක් ලෙස අර්තකථනය කිරීමට රජය අපේක්ෂා නොකරන බවට කැබිනට් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් මාධ්‍ය වෙත පවසා තිබිණි. (2020 සැප්තැම්බර් 17)

03 – ඉතිහාසයේ පළමු වරට දීප ව්‍යාප්තව සිදුකරන ලද LGBTIQ පුද්ගලයන්ගේ සංගණන වාර්තාවක් අධිකරණ අමාත්‍යවරයාට ලබා දීම සිදුවිය. (2021 අප්‍රේල්)

ඡායාරූපය: ඊක්වල් ග්‍රවුන්ඩ්

04 – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව සියළු පුද්ගලයන් හට ස්ත්‍රී-පුරුෂ සමාජභාවය හා ලිංගිකත්වය මත වෙනස්කොට සැලකීම් වලට ලක්නොවී සිටීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනීසිටින බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු ජනාධිපතිවරයා බවට පත්විය. (2021 මාර්තු 01)

05 – සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට පත්වීමත් සමඟ, පුද්ගලයකු ඔවුන්ගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය මත අත්අඩංගුවට නොගත යුතු බවට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලීසියට නියෝග කළේය. (2021 මාර්තු 09)

මව්බිම පුවත්පත – 2021 මාර්තු 09

06 – LGBTIQ පුද්ගලයන්ගේ අභිමානයේ මාසය (PRIDE Month) වූ ජූනි මස දී පෙර නොවූ විරූ පරිදි දේශපාලන පිටියේ පක්ෂ විපක්ෂ නියෝජිතයන් රැසක් LGBTIQ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දොඩමළු වූ වර්ෂය බවට 2021 පත්විය.

07 – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයේ 12(1) සහ 12(2) වගන්ති අනුව LGBTIQ ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන බවත්, පවතින නීතිය යටතේ ඔවුනට වෙනස්කොට සැලකීම් සිදුකළ නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් 2014, 2017 සහ 2019 වර්ෂයන් වල ලබාදුන් සහතික වලට පටහැනි පරිදි, LGBTIQ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ හඳුනා නොගන්නා බව වත්මන් රජයේ එවකට කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රකාශ කළේය. (2021 අගෝස්තු 03)

08 – ඉකුත් වසරේ මනෝඋපදේශිකාවක් යැයි හඳුන්වා ගත් අමා දිසානායක නම් තැනැත්තියක විසින් නුවර පොලිස් ශ්‍රවණාගාරයේ සමරිසි ප්‍රජාව පිළිබඳ අපහාසාත්මක, සාවද්‍ය හා ද්වේශසහගත කරුණු ඇතුළත් වූ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට අදාළව මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිලි ගොනුවූ අතර, මීට අදාළව පොලීසිය හා අදාළ තැනැත්තියට එරෙහිව ගත් අධිකරණ ක්‍රියාමාර්ග වලට සුබවාදී ප්‍රතිචාර එක්කරමින් එම නඩුකටයුත්ත ඉදිරියටම පවත්වා ගෙන යාමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නේය. ශ්‍රී ලංකාවේ නීතිය LGBTIQ ප්‍රජාවට එරෙහිව යොදාගැනීමට එරෙහිව අධිකරණය ඉදිරියේ ගොනුවූ නඩුවක් විභාගයට ගැනෙන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. (2021 දෙසැම්බර් 08)

09 – ඉහත පොලිස් සම්මන්ත්‍රණයට අදාළව ශ්‍රී ලංකාවේ මනෝවිද්‍යාව පිළිබඳව ඉහළතම ආයතනය වන ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය (Sri Lanka College of Psychiatrists) විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ තැනැත්තියගේ සම්මන්ත්‍රණය තුළ ඈ මතුකළ කරුණු සාවද්‍ය බවත්, ඈ යෝජනා කරන පරිදි සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන බවත්, ශ්‍රී ලංකාවේ පවතින නීතිය යොදාගනිමින් LGBTIQ ප්‍රජාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන බැවින් එම නීති සංශෝධනය විය යුතු බවත් අවධාරණය කළේය. (2021 අගෝස්තු 18)

10 – ‘සමලිංගිකත්වය’ මත නාරාහෙන්පිට පොලීසිය විසින් අත්අඩංගුවට පත් සමරිසි පුරුෂයින් තිදෙනෙකුට එරෙහිව පැවරූ නඩුවක් විභාගයට නොගෙන ඉවත දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය. ඒ අදාළ නඩුකරය පවත්වා ගෙන යාමට අපේක්ෂා නොකරන බවට නීතිපතිවරයා විසින් පොලීසිය වෙත කළ ලිඛිත දැනුම් දීමකට අනුව ය. (2021 දෙසැම්බර් 10)

ඒ සියලු කරුණු එසේ තිබියදී පොලීසියට මේ පිළිබඳව පැවසීමට අමුතුම අන්දමේ අර්තනිරූපණයක් තිබේ. LGBTIQ ප්‍රජා අයිතිවාසිකම් වලට තර්ජනයක් වන පරිදි පැවැත්වූ පොලිස් සම්මන්ත්‍රණයට අදාළව මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවත්, ඊට අදාළව මේ වන විට නඩුකටයුත්තක් ක්‍රියාත්මක වන බවත් ඔබ මේ වන විට දන්නවා ඇත. මෙහිදී එක් මානව හිමිකම් ක්‍රියාකරුවකු විසින් මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව පොලිස් මූලස්ථානය වෙත යොමුකළ කරුණු වලට පොලිස් මූලස්ථානයේ මානව හිමිකම් කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ කාලිංග ජයසිංහ විසින් අපූරු පිළිතුරක් ලබා දී තිබේ.

මෙම පැමිණිල්ලට අදාළව මානව හිමිකම් කොමිෂන් සභාවට පිළිතුරු ලිපියක් යොමුකරමින් මීට දින කිහිපයකට ඉහත පොලිස් මූලස්ථානයේ මානව හිමිකම් කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පවසන්නේ සමලිංගිකත්වය ‘ව්‍යවස්ථාපිත වරදක්’ බවත්, 1995 අංක 22 දරණ පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තියේ විග්‍රහ කර ඇති අර්ත නිරූපණයන්ට අනුකූලව සමලිංගිකත්වය වරදක් බවත් ය.

ඊට අමතරව මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට අදාළ වීඩියෝපටය සමාජ මාධ්‍ය ජාලා වලට මුදාහැරීමේ වගකීම භාරගත යුත්තේ අමා දිසානායක විසින් බවත්, ඒ පිළිබඳ වගකීමක් ගැනීමට පොලීසියට නොහැකි බවත් ඒ මහතා සිය ලිපිය හරහා පෙන්වා දී තිබේ.

එමෙන්ම, අදාළ තැනැත්තිය විසින් යෝජනා කරන පරිදි ‘සමලිංගිකයන්ගෙන් දරුවන් බේරා ගැනීම’ නැමති කරුණට වලංගුභාවයක් ඇති බවට හඟවමින්, “මෙය සමරිසි ජනයා වෙනස් කිරීමකට භාජනය කිරීමට උත්සාහ දැරීමක් බවට අනාවරණය නොවන බවත්, එය දේශනයට සහභාගී වූ පොලිස් නිලධාරීන්ගේ දරුවන් මෙවැනි ක්‍රියා සඳහා යොමුවීමෙන් වළක්වා ගැනීමට සිදුකරන දැනුවත් කිරීමක් බවට නිරීක්ෂණය වන” බවත් පොලිස් මූලස්ථානයේ මානව හිමිකම් කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ කාලිංග ජයසිංහ මහතා විසින් සිය ලිපිය හරහා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, නූතන වෛද්‍ය විද්‍යාව මඟින් ප්‍රතික්ෂේප කරන, මනුෂ්‍යයන් සඳහා හානිකර බවට වෛද්‍ය විද්‍යාවෙන් පිළිගැනෙන පරිවර්තන චිකිත්සා (Conversion Therapy) හෙවත් ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය නිවැරදි මඟට ගැනීමට භාවිතා කරන්නේ යැයි කියන චිකිත්සා අනුගමනය කරන, ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organisation – WHO), ඇමරිකානු මනෝවෛද්‍යවරුන්ගේ සංගමය (American Psychiatrists’ Association – APA) ඇතුළු සියලු ජගත් සංවිධාන විසින් සාමාන්‍ය මනුෂ්‍ය චර්යාවක් බවට පිළිගැනෙන සමලිංගිකත්වය මානසික රෝගයක් බවට විශ්වාස කරන අමා දිසානායකගේ උපදේශනයේ සාවද්‍ය හෝ අපකීර්තිය ප්‍රවර්ධනය කරන කරුණු ඇතුලත් නොවූ බවට හා එය පොලීසිය වෙත ලබා දුන් දැනුවත් කිරීමක් බවට පොලිස් මූලස්ථානයේ මානව හිමිකම් කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නොකියා කියයි.

පොලීසිය නොදන්න දණ්ඩ නීති සංග්‍රහයේ 365

දණ්ඩ නීති සංග්‍රහය සමලිංගිකත්වය පිළිබඳව පවසන්නේ කුමක්ද? යතාර්ථය කතා කරනවා නම්, නම් දණ්ඩ නීති සංග්‍රහය සමලිංගිකත්වය පිළිබඳව කිසිඳු කරුණක් ප්‍රකාශ කරන්නේ නැත. එය දණ්ඩ නීති සංග්‍රහයේ (1995 සංශෝධිත) වගන්ති කියවූ සැනින් අවබෝධ වේ.

365: යම් පුරුෂයක, ස්ත්‍රියක හෝ සතකු සමඟ ස්වභාව ධර්මයට විරුද්ධව, කැමැත්තෙන් ම කාමුක සංසර්ගයෙහි යෙදෙන තැනැත්තෙකුට අවුරුදු දහය දක්වා කාලයක, දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ යුතු ය. ඔහු දඩයකට ද යටත් විය යුතු ය. මෙම වරද වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයෙකු විසින්, වයස අවුරුදු 16 ට අඩු පුද්ගලයෙකුට එරෙහිව සිදු කර ඇති විට අවුරුදු දහයකට නොඅඩු, අවුරුදු විස්සකට නොවැඩි බරපතල සිර දඬුවමක් සහ දඩයක් ද පැනවිය යුතුයි. එසේම අධිකරණය විසින් නියම කරන මුදලක් වැරැද්දට ලක් වූ පුද්ගලයාට සිදු වූ හානි වෙනුවෙන් වන්දි මුදලක් වශයෙන් ද ගෙවීමට නියම කළ යුතුයි.

365අ: ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙනත් තැනැත්තකු සමඟ යම් දැඩි අශිෂ්ට ක්‍රියාවක් සිදු කරන නැතහොත් එවැනි යම් ක්‍රියාවකට පාර්ශවකරුවකු වන හෝ, එබඳු යම් ක්‍රියාවක් යම් තැනැත්තකු විසින් කරනු ලැබීම කුට්ටනය කරන හෝ කුට්ටනය කිරීමට තැත්කරන කවර හෝ තැනැත්තකු වරදකට වරදකරු වන අතර, ඔහුට අවුරුදු දෙකක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ බන්ධනාගාරගත කිරීම හා දඩය යන දඬුවම් දෙකින්ම හෝ දඬුවම් කරනු ලැබිය යුතු ය. එම වරද සිදු කර ඇත්තේ අවුරුදු 16 ට අඩු පුද්ගලයෙකුට එරෙහිව නම් අවුරුදු දහයකට නොඅඩු අවුරුදු විස්සකට නොවැඩි සිර දඬුවමක් සහ දඩයක් ද එවැනි පුද්ගලයකුට වන හානි සම්බන්ධයෙන් උසාවිය විසින් නියම කරන මුදලක් වන්දි වශයෙන් ද ගෙවිය යුතුය.

පුරුෂයන්ට පමණක් සීමා වී තිබූ මෙම නීතිය 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය පරිදි ඕනෑම පුද්ගලයකු අතර බවට සංශෝධනය විය. ඒ අනුව, මෙය සමරිසි පුද්ගලයන්ට සීමාවන නීතියක් නොවේ.

මෙම නීතීන් වල පවතින අපැහැදිලි සහ ප්‍රශ්නසහගත ස්වභාවය නිසා සිතැඟි පරිදි විවිධ අන්දමින් එය අර්තනිරූපණය කරමින් LGBTIQ ප්‍රජාව අත්අඩංගුවට ගැනීම, ඔවුනට වෙනස්කොට සැලකීම්, හිංසනයන් හා ප්‍රචණ්ඩත්වයන් දියත් කිරීම ශ්‍රී ලංකා ඉතිහාසය පුරාවට සිදුවිය. මීට එරෙහිව මානව හිමිකම් ක්‍රියාකාරීන් විවිධ මට්ටමින් අධිවාචන කටයුතු වල නිරත වෙමින් සිටින බව ද සත්‍යයකි. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති භාවිතයෙන් පුද්ගලයන් අපරාදකරුවන් බවට පත්කරන්නේ 1883 යටත් විජිත සමයේ තෝමස් මැකෝලේ සාමිවරයා විසින් ස්ථාපිත කරන ලද යල්පැන ගිය නීති අනුවය. එකී වගන්ති වල දැක්වෙන විවිධ කරුණු හේතූන් ගණනාවක් නිසා සහජයෙන්ම ගැටළු සහගත ය. උදාහරණයක් වශයෙන් ‘ස්වභාවධර්මයට එරෙහිව’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලිව නිර්වචනය කිරීමට ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය අපොහොසත් වේ. මීට අමතරව, ‘තදබල අශෝබන ක්‍රියා’ යනු මොනවාද යන්න පවා නිර්වචනය කර නොමැත. නමුත් මේ හා සමානව සමලිංගික හැසිරීම් සාපරාදී කරන වෙනත් රටවල ‘ස්වභාවධර්මයට එරෙහිව’ ආදී කොටස් වලින් අදහස් කරන්නේ ප්‍රජනනය කොට දරුවන් ජනිත කිරීමේ අරමුණින් තොරව සිදුකරන ඕනෑම අන්දමේ ලිංගික ක්‍රියාවක් ය. එකී අර්ත නිරූපණය අනුව, ස්වයං වින්දනයේ යෙදීම, මුඛ සංසර්ගයේ යෙදීම, උපත් පාලනය සඳහා කොන්ඩම භාවිතා කර ලිංගික සංසර්ගයේ යෙදීම, හෝ සිපවැළඳ ගැනීම ඇතුළු දරු පිළිසිඳගැනීමක් සිදුනොවන ඕනෑම අන්දමක ලිංගික ක්‍රියාවක් නීතිවිරෝධීය. මෙම අර්ත නිරූපණය අනුව, ලිංගිකත්වය කුමක් වූව ද දරුවන් නොලබන ඕනෑම පුද්ගලයකු නීතිය අනුව අත්අඩංගුවට ගැනීමට හැකිවිය යුතුය.

2018 වසර තුළ පමණක් හුදෙක්ම සමලිංගිකත්වය නම් චෝදනාවක් මත අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 48 කි.

මෙහි පවතින විසිලුකාරීබව නිසාම, යටත් විජිත පාලනයේ රෝමානු කතෝලික බයිබලයේ අනුග්‍රහය මත රෝම ලන්දේසි නීතියට අනුව සම්පාදනය වූ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය කිරීමට එම නීති සම්පාදනය කළ රටවල් ද ඇතුළුව බොහෝ යටත් විජිතයන් මේ වන විට කටයුතු කර ඇත. මීට කදිම උදාහරණය ඉන්දියාවයි. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය හා බොහෝ සෙයින් සමාන ඉන්දියාවේ සමලිංගික හැසිරීම් සාපරදීකරන නීති ඉවත්කරනු ලැබුවේ ඉකුත් 2018 සැප්තැම්බර් 06 වෙනිදා ය.

දරුවන් ආරක්ෂා කරගත යුත්තේ සමරිසියන්ගෙන් ද?

සමලිංගිකත්වය යනු ලිංගික දිශානතියකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව,  

“පුද්ගලයකු ශාරීරිකව, ප්‍රේමණීයව, සහ/හෝ චිත්තවේගීයව තවත් පුද්ගලයකුට ආකර්ෂනය වීම ලිංගික දිශානතිය යනුවෙන් හැඳින්වේ. ලිංගික දිශානතිය ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවයෙන් වෙනස්වෙන අතර, ලිංගික දිශානතිය ප්‍රධාන වශයෙන්ම ලිංගික ආකර්ශනය, ලිංගික චර්යාව සහ ලිංගික අනන්‍යතාව යනුවෙන් අංග තුනකින් සමන්විත වේ.”

ඒ අනුව, ලිංගික දිශානතිය හුදෙක් ලිංගික ක්‍රියාවකට සීමාවන කරුණක් නොවන අතර, ශාරීරිකව, ප්‍රේමණීයව, සහ/හෝ චිත්තවේගීය ආදී වශයෙන් කරුණු සංකලනයක් මත නිර්මාණය වේ. එවන් පසුබිමක් තුළ, සමලිංගිකත්වය යනු ‘ව්‍යවස්ථාපිත වරදක්’ යැයි පොලිස් මූලස්ථානයේ මානව හිමිකම් කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පවසන්නේ නීතියේ කුමන වගන්තිය අනුව ද යන්න අප දන්නේ නැත.

දරුවන් ආරක්ෂා කරගත යුත්තේ සමරිසියන්ගෙන් නොව ළමා අපයෝජකයන් ගෙන් ය. පෙඩොෆීලීයා (paedophilia) තත්ත්වය මත දරුවන් ලිංගික ක්‍රියාකාරකම් වලට යොදාගන්නන් හුදෙක් එක් ලිංගිකත්වයකට සීමා වන්නේ නැත. ළමා අපයෝජකයන් සමරිසි පුද්ගලයන් හෝ විෂමරිසි පුද්ගලයන් අතර සිටිය හැකිය. නමුත් අමා යෝජනා කරන ‘දරුවන් අපයෝජනය කරන සමලිංගිකයන්’ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීම වරදක් නොවන බවට පොලිස් මූලස්ථානයේ මානව හිමිකම් කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යෝජනා කර සිටියි. එහෙත්;

– මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබියදී, එහි තීන්දුවක් හෝ ප්‍රකාශයට පත්නොවී තිබියදී,

– නීතිපති දෙපාර්තමේන්තුව විසින් පිට පිට තෙවරක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් LGBTIQ අයිතිවාසිකම් ආරක්ෂා වන බවට ප්‍රකාශ කර තිබියදී, 

– සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය (International Covenant on Civil and Political Rights – ICCPR) හරහා වැඩිහිටියන් ගේ පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිය තහවුරු කර තිබියදී,

– ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ICCPR ඇතුළු ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුකූලව ක්‍රියාකළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබියදී;

– රටේ ජනාධිපතිවරයා හා අධිකරණ අමාත්‍යවරයා සුළුතර ලිංගික අනන්‍යතා දරන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සඳහා පෙනීසිටින බවට ප්‍රකාශ කර තිබියදී;

සමලිංගිකත්වය යනු ‘ව්‍යවස්ථාපිත වරදක්’ බවට පොලිස් මූලස්ථානයේ මානව හිමිකම් කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යෝජනා කිරීම හරහා ඔහු සිටින්නේ ජනාධිපතිවරයා පමණක් නොව අධිකරණයට ද උඩින් ද යන්න අප දන්නේ නැත.

LGBTIQ සංස්කාරක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan