*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

චින්න චින්න ආසෛ – 20 – එකට වැඩිය දිලිසෙන දෙවෙනි කොටුවෙ තරු

සිංහල සිනමාවේ වීරයන් දිහා බලාගෙන හැදිච්ච වැඩිච්ච ළමා අවධියක් තිබ්බ මේ ලියුම්කරු ඒ කාලෙ ඉඳන්ම  සටන් ජවනිකාවලට වසඟ වෙලා හිටියේ.  ‘එදත් සූරයා අදත් සූරයා’ එකේ අන්තිම ෆයිට් එකේ ගාමිණී ෆයිට් කරන හැටි බලාගෙන ඇවිත් තුන වසරේ ළමයෙක් ඇඳෙන් බිමටයි බිමෙන් ඇඳටයි පැන පැන සටන් කරන හැටි, රත්මලානෙ ‘පත්මා’ හෝල් එකට එක්කන් ගිහින් චිත්‍රපටිය පෙන්නපු වසන්ත මාමා හිනා වෙවී බලාගෙන හිටිය. පුංචි පුංචි ආශාවන්. 

මාමගෙ වීරයා ගාමිණී. ලියුම්කරු ගාමිණීටත් ආසයි. ඒ තරමටම විජයටත් ආසයි. කොහොමත් ලංකාවෙ වීර භූමිකාව කැරකුණේ ඒ දෙන්නා වටේ. සනත් ගුණතිලක මේ ලියුම්කරුට පෙනුණේ වීරයෙක් හැටියට වඩා පෙම්වතෙක් හැටියට. ‘සසර සැරි සරන තෙක් ඔබ මගේ’ වැනි චිත්‍රපටිවල සනත් පෙම්වත් භූමිකාව ලස්සනට රඟපෑවා.

දැන් අපි නැවතත් අර වීර කතාවට ආවොත් ප්‍රධාන නළුවා කොහොමත් වීරයා වෙනකොට දෙවෙනි තලයකින් මතු වෙලා ඇවිත් පළවෙනි තලයට නොදෙවෙනි රඟපෑම් කරපු වීරයොත් සිංහල සිනමාවේ හිටියා. කතා දෙකක් නෑ එහෙම වීරයෝ දෙන්නෙක්ගේ නම් දෙකක් අසුරු සැණින් කියන්න පුළුවන්.

එක්කෙනෙක් කලං. අනිත් එක්කෙනා රොබින්. බොහෝ විට දකුණු ආසියානු වට්ටෝරු චිත්‍රපටිවල වීරයාගේ යාළුවා එක්කෝ සෘජු විහිළුකාරයෙක් නැත්නම් වක්‍ර විහිළුකාරයෙක්. ඍජුව හෝ වක්‍රව විහිළු නොකර වෙනස් විදිහේ වෙනත් අනන්‍යතාවකින් වීරයාට ආදේශකයක් වෙච්ච සමහර වෙලාවට වීරයාව අභිබවපු ලස්සන නළුවෝ දෙන්නෙක් තමයි කලං සහ රොබින්.

අපේක්ෂා චිත්‍රපටියේ මේ දෙන්නා එකට රඟපාපු හැටි කාටද මතක  නැත්තේ ? 

කලං තමන්ගෙ සැඳෑ සමය නිස්කලංකෙ ගෙවන අතරතුරේ රොබින් සටන් බිමෙන් අද නික්ම ගිහින්. 

අපේක්ෂා චිත්‍රපටිය එක තැනක සටනකදී කලං දුෂ්ටයාට ගලක් උස්සල ගහන්න හදනවා. හැමදාම දැකලා තියෙන සුපිරි වීරයා වෙනුවට ඇත්ත මහපොළොවෙ නියම පෙම්වත් වීරයෙක් අපට පේනවා. ඊට පස්සේ තමයි රොබින් එන්නේ. යාළුවා තමයි සටන්කරුවා. ලස්සන සුසංයෝගයක්.

ගාමිණී රඟපාපු චිත්‍රපටයක් ආවා ‘ඔහොම හොඳද’ කියලා. ලියුම්කරුගේ මතකය හරි නං ඒක දෙමළ චිත්‍රපටයක කොපියක්. ගාමිණී ගමෙන් එන ගොඩේ කොල්ලෙක්.  ඇවැස්ස නෑනා සෝනියා ටවුමෙ කෙල්ලෙක්. කෙල්ල නිතරම ක්ලබ් යනවා. ඒකේ ඉන්න දුෂ්ටයා තමයි බැප්ටිස්ට් ප්‍රනාන්දු. ගමෙන් ආපු කොල්ලා කෙල්ලගේ ආවතේව කාරයා වෙනවා. උද්දච්ච කෙල්ල කොල්ලව මඩවනවා.

දවසක් ක්ලබ් එකේ නැටුමකදි අර දුෂ්ටයා ගමෙන් ආපු කොල්ලට  කසයකින් ගගහා වදයක් දෙනවා. මේ ගුටි කෑමෙන් පස්සේ කොල්ලට හම්බ වෙනවා අමුතු මිනිහෙක්. කළු ඇඳුමක් ඇඳගත්ත කඩවසම් මිනිහෙක්. මේ ආගන්තුක මනුස්සයා කොල්ලව එක්කගෙන යනවා තමන්ගෙ නවාතැනට. එතැන් පටන් මේ නන්නාඳුනන ආගන්තුකයා කොල්ලට සටන් පුහුණුව දෙනවා.

ක්ලබ් එකේ දුෂ්ටයාගෙන් ගුටි කාපු මෝඩ පහේ තරුණයා ආත්මාරක්ෂක සටන්වලින් විතරක් නෙමෙයි ඇඳුමෙන් පැළඳුමෙන් පෙනුමෙන් පවා ස්මාර්ට් මිනිහෙක් වෙනවා. ඒ සියල්ල පිටුපස ඉන්නේ ආගන්තුක මිනිසා.

ඊට පස්සෙ තවත් දවසක් උදා වෙනවා අන්න එදා අර දුෂ්ටයාට රිටර්න් එක හම්බ වෙනවා. ‘රජකම් කෙරුවත් කළ කම් පළ දේ –  ගිය වාරේ නුඹේ මේ වාරේ මගේ’ කියලා ගය ගයා කොල්ලා දුෂ්ටයාට රිටර්න් එක දෙනවා. පස්සේ දුෂ්ටයගෙ ගෝලබාලයෝ කොල්ලා එක්ක සටනට එනවා. කොල්ලා සටන් කරනවා. හැබැයි ඒ කොල්ලගෙ ආත්ම විශ්වාසය තියෙන්නේ අර ආගන්තුකයා බෙල්ල බැඳපු සුරේක. සටන අතරතුර ගමේ කොල්ලා හැමතිස්සේම බෙල්ල අතගාල බලනවා සුරය තියෙනවද කියලා.  සුරය තියෙනකං තමන්ට කරදරයක් වෙන්නෙ නැහැ කියලා ගමේ කොල්ලො විශ්වාස කරනවා. පහරදීම් අතරතුරේ එක මොහොතක ගමේ කොල්ලා විසිවෙලා ගිහින් වැටෙනවා. බෙල්ල අතගාලා බලනකොට සුරේ නෑ. කොල්ලා කලබල වෙනවා. හැබැයි එතකොට අර ආගන්තුකයා වැටිච්ච කොල්ලගෙ මූන ගාවට සුරය අල්ලලා සුරය තියෙන බව පෙන්නනව.  

‘සුරේ නැති වෙලා නෑ තියෙනවා’ කියන එක දැක්කට පස්සේ කොල්ලා නැවතත් සටන් වදින්න පටන් ගන්නවා. 

අපි දන්නවා ගාමිණී ෆොන්සේකා කියන්නේ ලංකාවේ සිනමාවේ දැවැන්තම පෞරුෂය. ගාමිණී එක්ක එකට රඟපානකොට ගාමිණිගේ පෞරුෂයට අනිත් නළු නිළියන්ගේ පෞරුෂය දිය වෙලා යන හැටි අපි දැකලා තියෙනවා. ‘ඔහොම හොඳද’  චිත්‍රපටියේ ගාමිණීටත් පිහිට වෙන  ආගන්තුකයාගේ චරිතය රඟපෑවේ රොබින්. ඒ චරිතය රඟපාන කොට රොබින්ගේ පෞරුෂය ගාමිණී  ඉස්සරහ දිය වුණේ නෑ ඒ,  ඊට නොදෙවෙනි පෞරුෂයක් රොබින් සතුව තිබුණ නිසයි. ගාමිණි එක්ක කරට කර රඟපාන්න හයිය විතරක් නෙමෙයි පෙනුමත් රොබින්ට තිබුණා. 

චණ්ඩියා වගේ චිත්‍රපටයකත්  සංඛපාලි වගේ චිත්‍රපටයකත් රොබින් ඒ බව ඔප්පු කරලා පෙන්නුවා. 

ඒ විතරක් නෙමෙයි රොබින් කියන්නේ නාගරික පෞරුෂයක්. රොබින්ට තිබුණේ බටහිර ආරක්. ඒ ආරට හරියන හරියන සිනමාත්මක පාරක් රොබින්ට හම්බුනාද කියන එක වෙනම ප්‍රශ්නයක්.

චාලීස් ඒන්ජල්ස් ඇසුරෙන් හදපු ‘සූර දුතියෝ’ චිත්‍රපටියෙ සූර  දූතියන්ට මග පෙන්නුවේ රොබින්. ඒ එක සූර දූතියක් වෙච්ච විශාකා සිරිවර්ධන ඊයෙ පෙරේදා දවසක නිහඬවම සූර දූතයන්  සොයාගෙන සුරලොව වැඩලා තිබුණේ ඕනම සටනකට අවසානයක් තියෙනව කියල පෙන්වමින්.  තවත් සූර දූතියක් තමා රෝසි.  එයා නගරාධිපති නිල නිවස සුරලොවක් කරගනිමින් ජීවිතේ ගෙවනවා.

රොබින් ප්‍රනාන්දු පිළිබඳ මතකය ලියුම්කරු තුළ තැන්පත් වෙලා තියෙන්නේ සන්සුන් සටන්කරුවන්ගේ ලැයිස්තුවක. ඒ ලැයිස්තුවේ බෲස් ලී  ඉන්නවා. කුංෆු කතාමාලාවේ හිටපු ඩේවිඩ් කැරඩීනුත් ඉන්නවා. සෝරෝ චිත්‍රපටි මාලාවේ අන්තෝනියෝ බන්දාරෙසුත් ඉන්නවා. ඉන්දියාව පැත්තෙන් ගත්තොත් ධනුෂුත් ඉන්නවා. විශ්වරූපම් වගේ චිත්‍රපටයක කමල් හසනුත් ඉන්නවා. වළං කඩේට පනින ගොනෙක් වගේ සටන් නොකර සටනට කලින් හතර මායිම නිරීක්ෂණය කරන තියුණු දෑසක් සහිත රොබින් ප්‍රනාන්දු ඒ ලැයිස්තුවේ වැදගත් තැනක ඉන්නවා.

රොබින් ගේ සටන් ශෛලිය සිනමාවේ ලකුණක්. රොබින් ගේ සටන් ශෛලිය දේශපාලනයට ඇප්ලයි කරොත්; ඒක චේගුවාරාත්මක ශෛලියක්. දෙවෙනි කොටුවෙ අවංකව සෙල්ලම් කරලා එකට වඩා ආකර්ෂණය හදන ස්මාට් සටන් ශෛලියක්. විකල්ප වීරත්වයේ සන්සුන් සටන් ශෛලියක්. 

විමල් කැටිපෙආරච්චි 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan