*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ඇය යන්න ගියා මැකිලා

ගී ඇසුර 20

එච්. එම්. ජයවර්ධන අමුතු මිනිහෙක්, අහිංසක මිනිහෙක්. ඒ සියල්ලටම වඩා අදීන මනුස්සයෙක්. පටිගත කිරීමකට ආ විටත් ඔහුගේ බටනලාව තරමටවත් ඔහු කතා කරන්නේ නැහැ. මාලිනී බුලත්සිංහල සමඟ යම් කටයුත්තකට, මිතුරු සමාගමකට එක් වුණාම තොරතෝංචියක් නැතිව කතා කරන්නේ මාලිනී. එච්. එම්. ඒවාට මදහසකින් පමණක් ප්‍රතිචාර දක්වමින් දුම් වැටියක් උරමින් සවන් දෙන නිහඩ මනුස්සයෙක්;

ඒත් ඔහුගේ ඇතැම් ක්‍රියා අනිත් අයගෙ නිහඬතාවන් පුපුරවන්නට තරම් ප්‍රබලයි. “මුහුදු ලිහිණි” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය වෙනුවෙන් ඔහු වෙත පිරිනැමුණු ජනාධිපති සම්මානය ප්‍රතික්ෂේප කිරීම එහෙම අදීන ක්‍රියාවක්. ඒ අවුරුද්දෙම තිරගත වුණු ධර්මසිරි බණ්ඩාරනායකගෙ “තුන්වෙනි යාමය” චිත්‍රපටය වෙනුවෙන් ප්‍රේමසිරි කේමදාස නිර්මාණය කළ සංගීතය තමන්ගේ සංගීතයට වඩා විශිෂ්ට සහ ප්‍රශස්ත බව ඔහු කියා සිටියා. සම්මාන උළෙලෙන් අනතුරුව, ඒ කියන්නෙ 1984 දෙසැම්බර් 19 වනදා ඇත්ත පත්තරේ මුල් සිරැසිය සැරසුණේ “කේමදාසට දියයුතු සම්මානය මට එපා.” යනුවෙන් වූ ඔහුගේ ප්‍රකාශය පදනම් කරගෙන.

එච්. එම්. ගෙ ගම සියඹලාණ්ඩුව. ඔහුගෙ සංගීතයට ස්වභාවධර්මයේ සෞන්දර්යය එන්නට ඇත්තෙ සියඹලාණ්ඩුව ගමේ ගහකොළ, ඇලදොළ සහ සුළඟේ රිද්මයෙන් වෙන්නට ඕනෙ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වගේම එච්. එම්. ජයවර්ධනත් මුලින්ම පෙම් බැන්දෙ බටනලාවට. පසුකාලයේ කේමදාසගේ පටිගත කිරීම් බොහෝමයක නිත්‍ය බටනලා වාදකයා වුණේ එච්. එම්. ජයවර්ධන. කාලයක් කේමදාස සමඟ ළඟ ඇසුරක් තිබුණ ඔහුට කේමදාස සංගීත නාද ආකෘතිවල යම් ඥාතිත්වයක් අඩු වැඩි වශයෙන් තිබුණා. ඒ ඔහුගේ පසුකාලීන ඇතැම් නිර්මාණවල. එවන් සමහර ගීයක් ඇහෙද්දි ඒක කේමදාසගෙද කියල පැටලවෙන තරමට ඒ නෑකම ප්‍රබලයි. කොහොමටත් සිය ජීවිතයෙ අවසන් කාල පරිච්ඡේදයෙ කේමදාස – මාලනී – එච්. එම්. අතර තිබුණෙ අදහස්, මතවාදවල වගේම සංගීත භාවිතයෙත් ළඟ බැඳීමක්.

එච්. එම්. ජීවිතය පටන් ගත්තෙ අති දුෂ්කර ගිරි දුර්ග රැසක් තරණය කරමින්. විටෙක ගමේ ලී ඉරන රස්සාව කළ ඔහු තවත් විටෙක කළේ කුලී වැඩ. ඕවර්සියවරයෙකු ලෙසත්, සමූපකාරයකත්, තැපැල් කන්තෝරුවකත් තාවකාලික රැකියා කළ ඔහු අගහිඟවලට මුහුණ දෙන්නට බැරිම තැන සිය නිවස පිටුපස කංසා වගා කරන්නටත් පෙළඹුණා. ඉන් අන​තුරුව පස්සර මිතුරන් පිරිසක් සමඟ මැණික් ගරන්නත් ගියා. ඒත් අන්තිමේදී ගුවන් විදුලි වාදක මණ්ඩලයට එක් වන්නට ඔහුට වරම් ලැබුණේ සිය පාසල් ගුරුවරයෙකු වූ සිනමාවේදී වසන්ත ඔබේසේකර සහ ප්‍රවීණ සංගීතවේදී පණ්ඩිත් අමරදේවගෙ කාරුණිකභාවය නිසා.

එච්. එම්. ජයවර්ධනට මාලිනී බුලත්සිංහල මුණගැහෙන්නෙ ගුවන් විදුලි සංගීත වැඩ සටහන්වලදි. ඒ හිතවත්කම ළඟ ඇසුරක් බවට පත්වෙලා 1978 දෙසැම්බර් 30 වෙනිදා ඔවුන් අතිනත ගත්තා.

කේමදාස ඇසුර එක්ක හිටපු තවත් ගායනවේදියෙක් තමයි අමරසිරි පීරිස්. අමරසිරි – එච්. එම්. මිත්‍රත්වය ගොඩනැගුණෙ මේ දෙන්නම ගුවන් විදුලිප වාදක මණ්ඩලයෙ එකට කටයුතු කරන කාලයෙ. අමරසිරි වෙනුවෙන් එච්. එම්. ජයවර්ධන විටින් විට ගීත කීපයක් ගුවන් විදුලි වැඩසටහන් වලදි නිර්මාණය කරල තිබුණත් වඩාත් ජනප්‍රිය වුණේ “විහඟ ගීතය” යි. (ගී පද – නිලාර් එන්. කාසිම්) එය නිර්මාණය කළේ, මියුසිංග්ස් නිෂ්පාදනයක් ලෙස ජනගත කළ අමරසිරි පීරිස්ගේ ප්‍රථම නිර්මාණ සමුච්චය වූ “කන්‍යාවි” කැසට් පටය හා සංයුක්ත තැටිය වෙනුවෙන්. එය එච්. එම්. – මාලිනී – අමරසිරි සුසංයෝගයේ අග්‍ර ඵලයක්. එච්. එම්. ජයවර්ධන ජීවත්ව සිටි අවධියේ ඔහු ප්‍රිය කළ ස්වකීය තනු රචනා කීපය අතර “විහඟ ගීතය” ඉදිරියෙන්ම තිබුණා.

“කන්‍යාවි” ගී එකතුවෙන් වසර කීපයක ඇවෑමෙන් තමයි අමරසිරි පීරිස්ගෙ “ස්නේහයේ නගරයයි” සංයුක්ත තැටිය නිෂ්පාදනය වෙන්නෙ. ඔහු ගී තෝරද්දි දිර්ඝ කාලයක් තිස්සේ සමීප ඇසුරක් තිබුණු ජ්‍යෙෂ්ඨ ගී පද රචක සුනිල් සරත් පෙරේරාට අමතන්නෙ නව පද මාලාවක් ලබාගැනීමේ අටියෙන්.

ඒ 1990 දශකයෙ මැද භාගය. සුනිල් සරත් පෙරේරා එතකොට කටයුතු කළේ පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා විදියට. වනජීවි දෙපාර්තමේන්තුව තිබුණෙත් ඔහු යටතෙ. ඔය අවධියෙ වස්ගමුව වනෝද්‍යානයට ඔහු ගිය චාරිකාවකදි නැවතිල හිටියෙ කදුරුපිටිය බංගලාවෙ. එදා හවස් වරුවෙ මහ වැස්සක් වැහැල රෑ වෙනකොට පායල තිබුණ. වරුසාවට හේදිල ගිය වනගොමුවට හඳ පෑව්වම ඒක හරිම චමත්කාරජනක දර්ශනයක් වුණා. නකල්ස් කඳු පෙළේ සුදු කඳුවැටිය ඈතින් දිස් වුණේ වෑහෙන දිය සීරාව රිදීවන්ව දිස්නෙ දෙමින්. අපේ ජ්‍යෙෂ්ඨ ගීත රචකයගෙ කවි කල්පනාව අවධි වුණේ මේ සොබාදහමෙ රූ සිරියෙන් ලද ප්‍රහර්ෂයෙන්. ඔහු වශීකෘතව පරිසර සිරිසර විඳිමින් සිටින අතරතුර හඳ මැකිල ගියා. ආයෙත් අඳුර. කිසියම් අපේක්‍ෂා භංගත්වයක් ඔහුට දැනුණා. ඒ පරිසර සංසිද්ධි මත ප්‍රේමාන්විත කල්පනාවක් දැවටිලා ගී පද පෙළක් ඔහු අතින් ලියවුණා. සඳ අඳුරට නතු වීමෙන් යළි නොඑන පරිසර සිරිය හරියට නෝක්කාඩුවෙන් ඈත් වුණු අහංකාර ප්‍රේමයක් වගේ කියලයි ඔහුට හිතුණෙ.

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

මුළු ගීයම රූපකයක්. මිහිදුම් සළුවෙන් මුහුණ වසා ගත් වන සිරසක අසිරිය තුළම තමයි ගිම්හානයට පෙර යළි නොඑන්නට ගිය ප්‍රේමනීය මතකය සැඟවිලා තියෙන්නෙත්. හඳ එළියෙන් දේවුණු නිල්ල නිලන නිල් කඳුවැටිවල සැඟවුණු රහස ඒ ප්‍රේමයම තමයි. රසිකයා තුළ විප්‍රලම්භ ශෘංගාරය ජනනය කරන්නෙ අත්‍යුත්කෘෂ්ට සෞන්දර්යයක ආලෝළනය කරවමින්. හරියට හයිකු කවියක වගේ. ජපන් හයිකු කවි හැම එකක්ම වගේ පරිසරයට සමබන්ධයි. ඒ යටින් දිවෙන නිහඬතාව තුළ තමයි කවියෙ ගැඹුර ගැබ් වෙන්නෙ. මේ පද රචනයෙත් එහෙමයි.

ඔය ගීතය ලියැවුණු අලුතම තමයි සුනිල් සරත් පෙරේරාට අමරසිරි පීරිස්ගෙ ආරාධනය ලැබෙන්නෙ. ඔහු මේ පද මාලාව පිටපත් කරගෙන ගිහින් අමරසිරිට දෙනවා. ගීතය කියැවූ සැණින් අමරිසිරි හිතන්නෙ මේ පදමාලාවට වඩාත් සාධාරණය ඉටුකළ හැකි සංගීතවේදියා එච්. එම්. ජයවර්ධන කියලයි. අමරසිරි, එච්. එම්. හමු වූ අවස්ථාවක සුනිල් සරත්ගෙ පදමාලාව ඔහු අතට පත්කරනවා. එච්. එම්. ජයවර්ධන ඔය ගීතයේ තනුව හදන්න ගත්තු දවස්වල ඔහුගේ ළබැඳි බිරිඳ මාලිනී බුලත්සිංහල ඇමරිකාවේ ප්‍රසංග කීපයකට සහභාගී වීම සඳහා විදේශගත වෙලයි හිටියෙ. එච්. එම්. ගීතය අතට අරන් එයින් කියවෙන අරුත යළි යළිත් මෙනෙහි කළා.

යළි කවදාවත් හමු නොවෙනා බව
මඳ පවනක් හිස අත ගා කීවද
අදහාගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා

වෙනත් ප්‍රස්තුතයක් මුල් කරගෙන ලියා තිබුණත් ඒ ගී පද පෙළ තමන්ගෙ ජීවිතයට මොකක් හෝ බලපෑමක් කරන ඉඟියක්ද? ඔහුට දැනුණෙ හරි අමුතු හැඟීමක්. ඒ සංවේදී හැඟීමත් එක්ක තනුවක් නිර්මාණය කරගන්නට ගත් වෑයම අසාර්ථක වුණා. එතැන් සිට දින ගණනාවක්ම ගී පද පෙළ සටහන් වූ කඩදාසිය සර්පිනාව අසල තිබුණත් එයට තනුවක් නිර්මාණය වුණේ නැහැ. ඒ හැම දවසකම එච්. එම්. මධුවිතක් තොල ගාමින් සර්පිනාවේ සරපුවරුව අතර ඇඟිලි යවමින් පැය ගණන් ගත කර තිබුණත් ඒ උත්සාහයන් පල දැරුවේ නැහැ.

ඔහොම සති කීපයක්ම ගෙවිල ගියා. එක දවසක් අහම්බෙන් හිතට ආ තනුව ඔහු අර කඩදාසියේ සටහන් කළා. ස්ථායී සහ අන්තරා කොටස්වල ස්වර ප්‍රස්තාර ලිව්වත් දෙවන අන්තරා කොටස අවසන් නොකරම පටිගත කිරීමට ශබ්දාගාරයට ගියා. හැබැයි එදා එච්. එම්. හිටියෙ වෙනදා විදියට නෙවෙයි. කොන්ඩෙත් අවුල් කරන් ව්‍යාකූල විදිහකට. ගීත පටිගත කීරීම් යොදාගෙන තිබුණෙ ටොරානා ශබ්දාගාරයෙ. වාද්‍ය වෘන්දය පටිගත කිරීමට සූදනම් වෙලා හිටියා. ඒත් ඒ කටයුත්තට සහභාගි නොවූ එච්. එම්. ජයවර්ධන, අමරසිරි පීරිස්ට කතා කළා.

“මොකද ජයේ?”

“අමරසිරි අයියෙ, මං මෙලඩිය ටිකක් දාගෙන ආවා. මට මහ අමුත්තක් දැනෙනවා. මීට වඩා මට කරන්න බැහැ. ඔයගොල්ලො රෙකෝඩින් එක කරගන්න.”

ඔහු ස්වර ප්‍රස්තාර බාරදීල යන්න ගියා. තනුවෙ තිබුණෙ අසම්පූර්ණ බවක්. ඒත් මූලික හැඩය ගොඩනැගිල තිබුණ. අමරසිරි පීරිස් සහ තිස්සසිරි පෙරේරා එකතු වෙලා ආමුඛ හා අන්තර් සංගීතයේ පොඩි වෙනසකුත් කරල සංගීත රචනාව සම්පූර්ණ කළා. ඒ දෙන්න අතර ඇතිවූ සම්මුතියකින් සුදුසු සංගීත භාණ්ඩ තීරණය කරලයි ගීතය පටිගත කළේ. ශබ්ද පරිපාලකවරුන් වුණේ විද්‍යා මුණසිංහ සහ හේමලාල් ගීතදේව. ඊට පස්සෙ තනු රචකයගෙ මඟ පෙන්වීමක් නැතුවම අමරසිරි ගීයට හඬ මුසු කළා. අහඹු සිදුවීම් අතර වුණත් එය පරිසමාප්තියට පත්වුණේ අතිශය සාර්ථක විදිහට.

ස්නේහයේ නගරයයි” සංයුක්ත තැටිය නිකුත් වුණෙත්, ගීතය ජනප්‍රිය වුණෙත් ටික කාලෙකට පස්සෙ. හැබැයි ගීතය පටිගත කරල දින කීපයකින් එච්. එම්. ජයවර්ධන විතරක් නෙවෙයි කිසිදු ගීත ලෝලියෙකු අපේක්‍ෂා නොකළ පුවතක් ඇමරිකාවේ සිට වාර්තා වී තිබුණා. ඒ, හිස ගැල්වූ ඩයි වර්ගයක් ආසාත්මික වීමෙන් ආදරණීය ගායන ශිල්පිනී මාලිනී බුලත්සිංහල ජීවිතයෙන් සමුගත් පුවතයි. එතකොටත් එච්. එම්. ජයවර්ධනගෙ හිතේ සුනිල් සරත් පෙරේරා ලියූ ගීතයෙ පද වැල් යළි යළිත් නින්නාද දුන්නා.

ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

ඒත් ගීතය සහ ඇගේ මරණය අතර ආධ්‍යාත්මික සම්බන්ධයක් තිබුණේද, නැද්ද යන සාධකය තවමත් අපි කාටවත් තේරුම්ගත නොහැකි අවිද්‍යාත්මක අභිරහසක්.

© නිලාර් එන්. කාසිම්

පෙර ලිපි:

පුන්සඳ රෑට

ගමේ කෝපි කඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan