*
Friday, April 26, 2024
spot_img

Latest Posts

බෞද්ධකරණයට ලක්වූ ලාංකීය වාමාංශික ව්‍යාපාරය

ලාංකීය දූපත් රාජ්‍යයේ ඓතිහාසික පොත පත සහ බූමියේ පවතින පෞරාණික නටඹුන් දෙස බැලූ විට ලංකාව අනාදිමත් කාලයක සිටම බෞද්ධ රාජ්‍යයක් ලෙස පැවත එන බව පැහැදිලිවම අපට හඳුනාගත හැකිය. ලංකාව සුදු අධිරාජ්‍යවාදීන් යටතේ පැවති සමයේදී ඔවුන් ලංකාව තුල පැවති වැඩවසම් ආකෘතීන් සියල්ල මුලිනුපුටා දමා නව්‍ය බුර්ෂුවා ආකෘතිය මෙහි ස්ථාපනය කිරීමට කටයුතු කර තිබුනද බෞද්ධ සංකෘතිය සතු අධිකාරියට අත තැබීමට උත්සාහ දරා නැති බවද එය එලෙසම පවත්වාගෙන යාමට ඉඩ හැර ඇති බවද පෙනෙන්නට තිබේ.

මේ තත්වය තුලින් අපට පැහැදිලි වන්නේ ඒවන විට ලාංකීය ජනජීවිතයේ පතුලටම සහ ප්‍රාදේශීය සෑම මිනිස් සෛලයකටම කිඳාබැස තිබූ බෞද්ධ සංකෘතියට අත තැබීම පහසු කාර්‍ය්ක් නොවන බවත් ඒ හරහා අනවශ්‍ය මහජන කැළඹීමකට ඉඩ ඇති බවත් සුදු පාලකයන් විසින් තේරුම් ගැනීම යැයි අපට සිතිය හැකිය.

සුදු පාලකයින් ලංකාව අතහැර දමා ගිය පසුද බුද්ධාගමට මුල් තැන දෙන බව සඳහන් ප්‍රඥප්තීන් රටේ මූලික නීතියට නැවත එක් කිරීමෙන් ප්‍රකට වන්නේද රට තුල පැවති බෞද්ධ සංකෘතික අරටුවේ ඇති ප්‍රබලත්වයයි.
බටහිරයන් අපට ලබාදුන් අධ්‍යාපන ක්‍රමවේදය තුල පවා බුද්ධාගම සා. පෙල, උ. පෙල සහ විශ්වවිද්‍යල තුල පවා ප්‍රධාන විෂය දහරාවක් බවට පත්වීම විශේෂයෙන්ම පාලි බෞද්ධ විශ්ව විද්‍යාල ඇතිවීමෙන්ද සහ අධ්‍යාපන ආයාතන වල සහ ඇතැම් රජයෙ ආයතනවල වැඩ ඇරඹීමට පෙරෙ පන්සිල් සමාදම් වීම වැනි සංකෘතිකාංග තුලින්ද අපට නව සිස්ටම් එක පවා ලංකාව තුලදී බෞද්ධකරණය වීමේ ලක්ෂන දැක ගත හැකිය.

හුදෙකලා සංස්කෘතික දූපතක් වීම නිසාම යුග යුග ගනනාවක් තිස්සේ සිදුවූ සංකෘතික ලැගීම විසින් ශිෂ්ඨ අනෙකාව ප්‍රතික්ෂේප කිරීම හෝ එසේ නැතහොත් පිටතින් ගෙනෙන දේ තමාගේ සංකෘතික කෝවක දමා මකවා විකෘති කර නිමවා ගැනීම අප වැනි අතීත ජාතීන් සතු නෛසර්ගික ලක්ෂනයකි. මා මෙහිදී සඳහන් කරන්නේ ආර්ථික හා දේශපාලන දර්ශනයක් ලෙස මෙරටට පැමිණි මාක්ස්වාදය වැඩිකල් යාමට පෙර මෙරට මහා සංකෘතියේ ආබාශයට හසුව බෞද්ධ කරණය වීමේ විපරීතයයි.

පිටින් පැමිණෙන ඕනෑම දර්ශනයක් ප්‍රතික්ශේප නොවී මුල් අල්ලාගෙන මේ බිමේ පැලවීමට නම් බිමේ පවතින මහා සංකෘතිය යටතේ බෞතිස්ම විය යුතුමය.

මේ තත්වය සමඟ ලංකාවට පිටින් ආපු “සමාජවාදය” නැමති ප්‍රායෝගික දැනුම් පද්දතිය බෞද්ධ සංකෘතිය යටතේ බෞතිස්ම වී අවසානයේ ආගමික සමාජවාදයක් බවට ඌනනය විය. මේ මොහොතේ පවා ලාංකීය වාමාංශිකයන්ට අනුව මාක්ස්ගේ ඒංගල්ස්ගේ කෘති යනු මාක්ස් සොයාගත් පරම සත්‍ය අඩංගු බයිබලය වැනි ශුද්ද ග්‍රන්ථ මිස විචාරකයට බඳුන් කලයුතු ප්‍රකාශන නෙවේ.

විශේෂයෙන් ස්ටාලින්වාදී වම තුල නිර්මාණය වූ වැටුප් ලැබීමකින් තොරව දේශපාලනය වෙනුවෙන් දිවිය කැපකල පූර්ණකාලීන සාමාජිකයා යනු දුක් විඳින ලෝක සත්වයා ගලවාගැනීම පිනිස කැප උන ලිංගිකත්වයෙන් පවුල් ජීවිතයෙන් වෙන්වූ බෞද්ධ පූජකයා හා සමානයෙකි. ලාංකීය ස්ටාලින්වාදීහූ වාම පූර්ණකාලිකයා නැමති විමුක්ති දායකයාගේ චරිතය නිමැවීමට ගෙන ඇත්තේ බිමේ තිබූ බික්ෂු චරිතයයි.

වදකාගාර තුලදී වාම කැරළිකරුවන් මුහුණ දුන් නියපොතු, දත් සහ සරීරාංග ගලවා දැමීමේ වදවේදනාවන් වාමාංශිකයන් සමාන කලේ ලෝක සත්වයා සසරින් එතෙර කිරීම උදෙසා ඇස්,හිස්, මස්,ලේ දන් දුන් බෝධිසත්ව ගුණාංග වලටය. මෙහිදී වාමාංශිකයන් මේ වද බන්ධන අර්තගන්වාගන්නේ මගහරවා ගත යුතු දේවල් විදියට නොවේ අනිවාර්යයෙන් මුහුණදිය යුතු උත්තරීතර බෝසත් පරමාදර්ශ ලෙසය.

යම් හෙයකින් මේ පූර්ණකාලික සාමාජිකයා පූර්ණකාලික දිවියෙන් ඉවත්ව පෞත්ගලික ජීවිතයක් කරා ගියේ නම් සිවුරු හැරි විට හීරළුවා යැයි අපහාස විඳින පරාජිකාවූ පූජකයා විඳින අපහාසයන්ට සමාන අපහාසන්ට ඔහුට පක්ෂය තුලදී මුහුණදීමට සිදුවේ. මේ හරහාද ප්‍රකටවන්නේ මේ වාම බාවිතාව තුල ඇති ආගමික කරණයයි.

ආගමික සංස්ථාපිතයන් තුල පවතින මූලික අදහසක් නම් සියළු ලෝක සත්‍යයන් දන්නවුන් සිටින්නේ තම ආගමික සංස්තාපිතය තුල බවත් ඉන් පිටත සිටින උන් ලෝක සත්‍ය නොදැන මංමුලාවී දුක්විඳින බවත්ය. වාම පක්ෂ තුල පවතින අදහසද මෙයටම සමානය. ඔවුන්ට අනුවද සත්‍ය දන්නේ ඔවුන් පමණි. පරිබාහිර සමාජයේ සියල්ලම මුලාවූවන්ය.

එහිදී වාමාංශිකයන්ද පූජකයන් මෙන් සමාජයට සත්‍ය ඉගැන්වීමට යයි. ඔවුන්ගේ මේ සත්‍ය දැනුවත් කිරීම සමාන වන්නේ දේශපාලන ප්‍රචාරණ කටයුත්තකට නොව ආගමික ධර්ම දූත සේවයකටය. නමුත් මෙහි ඇති යථාර්ථය නම් මොනයම් හෝ මංමුලාවක් මිසක ඔවුන් දන්නා සත්‍යයක් ද නොමැතිවීමයි.

පක්ෂයේ නායකයා අතින් සිහිනෙන්වත් වරදක් සිදුනොවෙතැයි ද ඔහු පවසන සෑම සියළු දෙයම පෙරාපු රත්‍රං මෙන් අනාගත දේව වාක්‍ය වන්නේය යන අදහසද මේ වාම ව්‍යාපාර තුල පවතී. මෙයද ආගමික අදහසකි. සිහිනෙන්වත් වැරදි නොකරන මුනිවරු වැඩ සිටින්නේ විඥානවාදී කඳවුර තුල මිස බුද්ධිමය දේශපාලන ව්‍යාපාර තුල නොවේ. ආගම හෝ ආගමේ කතෘ හෝ විවේචනය කල සැනින් පොළු මුගුරු ගෙන සටනට එන ආගමික අනුගාමිකයන් සේ මේ පක්ෂවල සාමාජිකයන්ද පක්ෂය හෝ පක්ෂ නායකයන් විවේචනය කල සැනින් දන්ඩෙන් පහර කෑ සර්පයන් සේ යුධ ප්‍රකාශ කරයි.

මැයි පෙළපාලි සහ පක්ෂයේ දේශපාලන රැළි සඳහාද මේ පක්ෂවල සාමාජිකයන් සහබාගීවන්නේ දැඩි බක්තියෙන් යුතුවය. වෙනත් ධනේශ්වර පක්ෂ විසින් පවත්වනු ලබන පක්ෂය ප්‍රවර්ධනය කරන රැළි, පෙළපාලි සඳහා පහල මට්ටම්වල සිටින සාමාජිකයන්ට ආහාර පාන සහ යම් ගෙවීමක්ද සිදුකර ප්‍රවාහන පහසුකම්ද සපයයි. නමුත් වාම පක්ෂවල සාමාජිකයන් වන්දනා ගමනක් සේ මත් පැන් නොබී පේවී තමන් හරිහම්බ කරගත් දෙය වියඳම් කරගනිමින් පක්ෂ ප්‍රවර්ධන කටයුතුවලට සහබාගීවේ.

එහිදී ඔවුන් සිතන්නේ ඔවුන් යම් ශුද්ධවූ කට යුත්තකට සහබාගීවූ බවය. ඒ අනුව ගත් කල ලාංකීය කොමිනිස්ට් පරම නිෂ්ඨාව යනු ආගමේ පවතින මොක්ෂය බඳු නොපෙනෙන නොදන්නා යුටෝපියාවකි.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan