නිදහසේ වැළලෙමු !

Date:

නිදහස් දිනේ ගැන මගේ සත දෙක මෙහෙමයි.

නිදහස කියන්නේ සංකේතාත්මක දෙයක්. ඒ නිසා ඒක සමරන්න ඕනි කියන එකට වලංගු බවක් තියනවා. හැබැයි ඇත්තටම ලාංකික නිදහසෙන් සංකේතවත් වෙන්නේ මොකක්ද මේ වෙද්දි?

ඔය නිදහස ගත්ත කියලනේ කියන්නේ. ලැබුණ කියලත් කියනවා. ඉතිං ඔය ”ගත්ත නිදහස” හෝ ”ලැබුණ නිදහස” ගැන හෝ කොහොමත් කවදත් ලොකු අදහසක් අපට තිබුණේ නැහැ. ගන්නේ කුමන නිදහසක් ද කියලවත් ඒ ගන්නා එකත් එක්ක මොකද කරන්නේ කියලවත් අපිට මාර්ග සිතියමක් තිබුණේ නැහැ (roadmap). කොහොමත් අපි දිව්වේ එදාවේල හොයාගන්න දතකන රටක් හැටියට.

එහෙම එදාවේල ටුවර් ගහගහ දිගුකාලීන යුද්දෙක පැටලුණා. ඔහොම පණනල ගැට ගහගෙන ඉන්නකොට තමයි කොරෝනයි, ආර්ථික අර්බුදෙයි, හොරුරැළයි එකට (අ)සම්බන්දවෙලා තමයි රට බිංදුවටම වැටුණේ.

දැන් සමරන්න යනවා. මොකක්ද සමරන්න තියෙන්නේ? නොහැකියාව, එදාවේලත් නැතිකම, රෝඩ්මැප් එකක් නැති කම, හොරුරැළ, උං ඔක්කොම යාළුවො කියන එක, පුළුවන් ඔක්කොම මේකෙන් චුතවෙනවා කියන එක, යන්න හදන එවුන්ටත් එයාපෝට් එකේදී බදුගහනවා කියන එක.

අපි දැන් නිදහසේ වැළලෙමින් පවත්න්නේ…

නිදහස කියන්නේ තමන්ගේම තීරණ ගන්න පුළුවන් අවකාශයක් හදාගන්න එකට. ලෝකය ගෝලයක් වුනාට අපි කවුරුත් දිහා බලාන ඉන්නෙත් නැතුව අපි දිහා කවුරුත් බලාන ඉන්නවා කියල හිතන්නෙත් නැතුව මින්පෙර කිසිදා නොසිතුව ගමනාන්තයක් කරා නිර්භීතව යන්න පුළුවන් එකට. ඒ තමයි මගේ නිර්වචනය.

අපි කළේ හිටපු තැන වළක් කපාගෙන වැළලුනා මිසක් අලුත් කිසිවෙක් නොගිය පාරක් හොයාගත්ත එකවත්, ඒ පාරේ ලස්සන ගමනක් ගිය එකවත් නෙවෙයි. වළේම වැළලුනා. වැළලුණ වළේ ලස්සන ගැන කවි ලිව්ව.

ඔය සමරනවා කියන්නේ වැළලුන වළ ගැන කවි කියන එකට. ඒ කවි අහන්න තමයි ස්ටේජ් ගහගෙන මිළියන ගණන් වෙන්කරගෙන ඔය සැරසෙන්නේ.

එකතැන පල්වුන එකට නිදහස කියල කියන්නේ කවුද?

ගමනක් යන්න නිර්භීත මිනිස්සු ඉන්න ඕනි. පාලකයෝ විතරක් නෙවෙයි මිනිස්සුත් නිර්භීත වෙන්න ඕනි. අවදානමක් ගන්න ඕනි.

මොනවා කරන්නත් සිහින තියෙන්න ඕනි….ඒ සිහින ඔස්සේ මනෝරාජික අත්පත් කරගන්න ඕනි (pursuit of utopia). ඒ මනෝරාජික අත්පත් කරගන්න කොන්දේසි විරහිත වෙන්න ඕනි.

රැඩිකල් කියන්නේ සිහිනයක අවසානය දක්වා යන එකට. අවසානය කියන්නේ අපි කවුරුවත් නොදන්නා තැනකට. එහෙම සිහින දකින්නන් ඉන්න ඕනි.

ටෙරී ඊගල්ටන් කියන්නේ නිදහසේ ‘ස්වයං සිද්ධ’ බවක් තියනවා කියල. ඒක සිදුවෙන්න ඕනි. සිදුවෙන්න නම් සිහින දකින්නන් ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙන්න ඕනි.

එහෙම නැතුව ගෝල්ෆේස් එකේ කාලතුවක්කු පත්තු කළාට නිදහස් වෙන්නේ නැහැ. සද්දෙට කපුටෝ ඉගිලෙනවා ඇරෙන්න.

Image@ Cast Away (2000)

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...

ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) ජාතික...

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : 2025 වසරේදී, විදේශ...