කටින් ගැහීමටත් ශ්‍රී ලංකාව සුදානම් විය යුතුය.

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 25 ,(LNW)කොළඹ :

ගාල්ල ශ්‍රී ලංකාවට එරෙහිව එන කුමන කණ්ඩායමතට වුව පහසු නැත.ඒ නිසාම ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරග දෙකම ගාල්ලේ පැවත්වීමට තීරණය කර ඇත.එහෙත් ඔස්ට්‍රේලියාව යනු නානාප්‍රකාර ක්‍රීඩකයින් සතු පොළවකි.ලෝකයේ සූරතම කණ්ඩායම ලෙස නම් කරන්නට හැකිකම ඔවුන් නිරන්තරයෙන් ආරක්ෂා කර ගන්නේ එරට ක්‍රිකට් සැළසුම්වල ප්‍රතිපලයක් ලෙසය.යම් වැටීම් සිඳු වුව ද,ක්‍රිකට්මය සංස්කෘතියක සිටින ක්‍රීඩාවට සම්බන්ධ විවිධ කොටස් එය ඉවසීමෙන් සහ සංයමයෙන් වෙනස් කර ගැනීමට සමත් හූ වෙති.


ඔවුන් පිටියේ දි අතිශයින් දරුණුය.ඇතැම් හැසිරීම් වියරුය.එහෙත් ඒවා උපක්‍රමශීලී නාට්‍යානුසාරී ඉදිරිපත් කිරීම්ය.ඉතාම සංයමයෙන් පිටතට පෙන්වන හැසිරීමට වඩා වෙනස් වූ සංයමයකින් ප්‍රතිවාදියා කෝප ගන්වා ඔහුගේ මානසික ඒකාග්‍රතාවය බිඳදැමීම සඳහා අටවන උඟුල්ය.
පැට් කමින්ස්ගේ නායකත්වයට වඩා මේ සංචාරයේ නායකයා වන ස්ටීව් ස්මිත් යටතේ මෙවැනි බලපෑම් සිඳුවන්නට ඇති ඉඩ වැඩිය.ඒ ගාල්ල ශ්‍රී ලංකාවට වඩාත් හිතකර බව දන්නා නිසාමය.එමෙන්ම ඔස්ට්‍රේලියාව සිටින්නේ ලෝක ටෙස්ට් සූරතාවය යළිත් වරක් හිමි කර ගැනීමේ ආසන්නයේය.ආසන්නම තරගාවලියේදී ප්‍රබල ඉන්දියාව බිම ඇන පරාජය කරය.


මේ තත්ත්වය නිසා කටෙන් ගසා දිනීමේ සංස්කෘතිකාංග මතු විය හැකි අතරම ඔස්ට්‍රේලියාවට තැනේ හැටියට ක්‍රියාත්මක වීමට හැකියාව ඇති පිරිස් ද හිඟ නැත.ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් වෙනුවෙන් සැකසෙන තණතනිල්ලේ දී නේදන් ලයන් ද පහසුවෙන් අමතක කළ නොහැකිය.අනිවාර්යෙන්ම ඔහු පමණක් රැඟෙන ඔස්ට්‍රේලියාව සටනට එනු නැත.තවත් දඟ පන්දු යවන්නෙක් ද කණ්ඩායමට එකතු කර ගන්නවා නිසැකය.ඒ බොහෝ විට මැතිව් කුනේමාන් විය හැකිය.මේ දෙදෙනාට අමතරව මාර්නස් ලබුස්චේන්ජ් ද වැඩි පන්දු වාර ගණනකට යොදා ගන්නට ඉඩ ඇත.විශේෂයෙන්ම නිතර පන්දු නොයවන නමුත් ට්‍රැවිස් හෙඩ් ද ප්‍රතිවාදි පිතිකරුවන්ට අන්තරාය දනවන සළකුණකි.


එසේම ඔස්ට්‍රේලියන් පිතිකරණය පහසුවෙන් දමනය කිරීමට අපහසු එකකි.ස්ටීව් ස්මිත්,ට්‍රැවිස් හෙඩ් වැනි පිිතිකරුවන් මෙන්ම උසමාන් කවාජා ද ආසියාතික තණතීරුවල අසාර්ථකම නැත.එසේම මාර්නස් ලබුස්චේන්ජ් ද දඟ පන්දුවට හොඳින් මුහුණ දිය හැකි බව පෙන්වා ඇත.ඒ නිසා ප්‍රභාත් මෙන්ම බොහෝ විට ඔහුගේ සහයට යොදා ගනු ඇතැයි සිතිය හැකි නිශාන් පීරිස්ට ද වැඩ ගොඩක් කරන්නට සිඳුවනු ඇත.ඇතැම් විට ලකුණු සහ කඩුලු අතර සිටින සොනාල් දිනූෂ මේ තරගයට යොදවා ගතහොත් ඔහුගෙන් ද වැඩක් ගැනීමට ඉඩ ඇත.


කෙසේ නමුත් බැලූ බැල්මට ශ්‍රී ලංකාව ගාල්ලේදී ඉදිරියෙන් සිටින බව ඇත්තකි.එය අධි විශ්වාසයක් කර නොගෙන කල්පනා කළ යුතුව ඇත්තේ ඔස්ට්‍රේලියාව කොතනටත් ඔට්ටු හැකියාවන්ගෙන් පිරි කණ්ඩායමක් බව ඔප්පු කර ඇති නිසාය.කවුරුන් පරාජය වුව ද දිනුවද ගාල්ලේ ටෙස්ට් තරගයක් පහසුවෙන් නියමිත දින පහ ගෙවන්නේ නැත.ඒ නිසා දෙපිළේම පිතිකරුවන්ට එම අභියෝගය ජය ගැනීම සඳහා විශාල වගකීමක් පැවරෙනු ඇත.


මේ වන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ අවසන් ය.පළමු ටෙස්ට් තරගය ජනවාරි 29 වන දා ආරම්භ වීමට නියමිතය.පැමිණ සිටින කණ්ඩායමේ ගාල්ල වෙනුවෙන් ඔවුන්ගේ ඉහළම බලාපොරොත්තුව වන නේදන් ලයන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව මේ ඡායාරූපයේ දක්වා ඇත.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය