සටහන – පුලී
නොවැම්බර් 17, LNW (කොළඹ): එංගලන්තයේ තුන්වන චාල්ස් රජුගේ ප්‍රියතම Jacket Potato ව පිළිබඳ අපූරු තොරතුරක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබේ. ඒ අනුව, චාල්ස් රජුගේ ප්‍රියතම Jacket Potato Topping එක වන්නේ චීස් සහ බේක් කළ බෝංචි ඇට (Cheese and Beans) මිශ්‍රණය බව අනාවරණය විය.
මෙම තොරතුර හෙළිවූයේ බ්‍රිතාන්‍යයේ Lancashire ප්‍රාන්තයේ Preston නගරයේ පිහිටි සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය Spud Bros ආහාර රථය වෙත රජු සිදුකළ සංචාරයක් අතරතුරදීය. එහි හිමිකරුවන් වන Jacob සහ Harley Nelson සහෝදරයන් හමුවූ අවස්ථාවේදී Jacob විසින් රජුගෙන් ඔහුගේ ප්‍රියතම අල කෑමට එක්කරන දේ පිළිබඳව විමසා තිබේ.
ඊට පිළිතුරු දෙමින් චාල්ස් රජු Cheese and Beans තමන්ගේ ප්‍රියතම සංයෝගය බව පවසා ඇති අතර, එය කිසිවකට දෙවැනි කළ නොහැකි සාම්ප්‍රදායික රසවත් එකතුවක් බවද සඳහන් කර තිබේ. මේ පිළිබඳව සතුටට පත් Spud Bros සහෝදරයන් විහිළුවට මෙන් පවසා ඇත්තේ ඔවුන්ගේ ජනප්‍රිය අල කෑමට දැන් රාජකීය අනුමැතියද හිමිව ඇති බවයි.
Spud Bros ආහාර රථය මේ වන විට TikTok සමාජ මාධ්‍ය ජාලයේ විශාල ජනප්‍රියත්වයක් දිනාගෙන තිබේ. විශාල ප්‍රමාණයේ බේක් කළ අල (Jacket Potatoes) විවිධ රසවත් අමුද්‍රව්‍ය සමඟ පිළිගන්වන ආකාරය සහ පාරිභෝගිකයන් සමඟ සිදුකරන විනෝදජනක කතාබහ ඇතුළත් වීඩියෝ හේතුවෙන් ඔවුන්ට TikTok ඔස්සේ මිලියන පහකට අධික අනුගාමිකයන් පිරිසක් හිමිව සිටිති.
රජුගේ පැමිණීම වෙනුවෙන් Jacob සහ Harley සහෝදරයන් විශේෂ අල කෑමක්ද සූදානම් කර තිබූ අතර එය ඔවුන් නම් කර තිබුණේ ‘Royal Spud’ යනුවෙනි. එම විශේෂ ආහාරය හඳුන්වාදීමට පෙර ඔවුන් රජුට තවත් අපූරු තෑග්ගක් පිරිනමා තිබේ. ඒ අතින් ගෙතුම් ක්‍රමයට සකස් කළ කුඩා අලයක හැඩයෙන් යුත් ‘Positive Potato’ නමැති නිර්මාණයකි. එහි “Helping others one potato at a time” යන පණිවිඩයද ඇතුළත් කර තිබුණි.
මෙම හමුවේදී චාල්ස් රජු අල වර්ග පිළිබඳවද සිය දැනුම ප්‍රදර්ශනය කර තිබේ. බේක් කිරීමේදී පිටත කොටස හොඳින් කර කර ගත හැකි අල වර්ග භාවිත කරනවාදැයි ඔහු සහෝදරයන්ගෙන් විමසා තිබීමද විශේෂත්වයකි.
මෙම සංචාරය චාල්ස් රජු බ්‍රිතාන්‍ය කිරුළ භාරගැනීමෙන් පසු Preston නගරයට සිදුකළ පළමු සංචාරය ලෙසද වාර්තා වේ. සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය ආහාර සංස්කෘතියක් සමඟ රජු මෙලෙස සම්බන්ධ වීමත්, ඔහුගේ සරල ආහාර රුචිකත්වය හෙළිවීමත් හේතුවෙන් මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයක් දිනාගෙන තිබේ.



