මහින්ද රාජපක්ෂ රටට ඉතුරු කළ පාඩම

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ 81 වැනි උපන්දිනය අදට (නොවැම්බර් 18) යෙදී තිබේ. මේ, ඒ වෙනුවෙන් ලියැවුණු කෙටි සටහනකි.


මීට වසර කිහිපයකට පෙර නොවැම්බර් 18 යනු රාජෝත්සවයකි. ඒ නිදහස් ශ්‍රී ලංකාවේ ජේ. ආර්. ජයවර්ධනයන්ට පසුව බිහි වූ ජනප්‍රියතම දේශපාලකයාගේ උපන්දිනය වූ නිසාය.

අද මහින්ද රාජපක්ෂ සිය දිවියේ අසූ එක්වෙනි උපන්දිනය සමරන වෙලාවේ, ඔහු ළඟ සිටි අය බොහෝ දෙනෙක් ඔහු ළඟ නැත. ඔහුගේ බිරිය බන්ධනාගාරගත වූ පළමු ජනාධිපති ආර්යාව වූවාය. නාමල් තවමත් ඇප ප්‍රතික්ෂේප වී බන්ධනාගාරගත වී ඇත. යෝෂිත හා රෝහිත පුතුන් දෙදෙනාද වැඩිපුර ගත කරන්නේ උසාවිවලය.

මැදමුලනේ සිංහයා, මහරජාණෝ, අප්පච්චි, දකුණේ වීරයා කියා මහින්ද රාජපක්ෂයන්ව මංමුළා කරවූ මිනිසුන් ඔහුව අමතක කර ඇත.

නමුත්, මහින්ද රාජපක්ෂව අපට අමතක නැත. 2005 වසරේදී මහින්ද රාජපක්ෂව ජනාධිපති පුටුවේ ඉන්දවන්න, අපේ බොහෝ මිතුරන් තනතුරු, වරදාන, වරප්‍රසාද අපේක්ෂා නොකර කොන්දේසි විරහිතව සහයෝගය දුන්නෝය.

අවුරුදු 18 කට පෙර LNW උපත ලබන්නේ, මහින්දට අමතක වුණත්, අපට අපගේ ප්‍රතිපත්ති පාවා දෙන්න බැරි වුණු හෙයිනි. දූෂණයට, මැර බලයට, රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව අප මහින්ද රාජපක්ෂට හා ඔහුගේ සුදු පටි, කළු පටි ඇඳගත් වන්දිභට්ටයන්ට එරෙහිව අපගේ මාධ්‍ය භාවිත කළේ, තාඩන, පීඩන, ගර්ජන හා තර්ජනවලට වඩා අපේ සාමූහික හිත් තද නිසාය.

මහින්ද රාජපක්ෂ සමඟ අපට තිබුණේ දේශපාලන ප්‍රශ්නයක් මිස පෞද්ගලික ප්‍රශ්නයක් නොවේ. 88/89 හා දශක තුනක කුරිරු යුද්ධයෙන් බැට කෑ අපට, අනෙකාට වෛර කරන්න හිත දුන්නේ නැත.

මහින්ද යනු මිනිසා හා මහින්ද යනු දේශපාලකයා ගැන ගැඹුරු තක්සේරුවක් අපට ඇත. අපි කවමදාවත් ඒ දෙකොන පටලවා ගත්තේ නැත.

යුද්ධය ඉවර කර මව්බිමට පැමිණ පොළොව සිපගත් මහින්ද හා, තම බිරිය තමන් හැදූ පොලීසියෙන් කුදලාගෙන යන දිහා සංවේගයෙන් බලා සිටි මහින්ද, වසර 17 ක පරතරය ඇති වූ භූමිකම්පාවකි. 88/89 පාද යාත්‍රා යමින්, ජිනීවා ගොසින්, මව් පෙරමුණ තුළින් රාජ්‍ය මර්දනයට එරෙහි වූ මහින්ද අපූරු මිනිසෙකි. මානව හිතවාදියෙකි.

මහින්ද රටට ඉතුරු කළ පාඩම එයයි. බලයේ ඉන්න විට රටම වැලඳ ගනියි. ඔල්වරසන් දෙයි. මහරජාණෝ කියයි. අප්පච්චි කියයි. දණ නමා ආචාර කරයි. උපන්දිනයට පත්තරවල පිටු පිරෙන්න වෛවර්ණ දැන්වීම් දමයි. නමුත්, බලය ගිලිහුණු විට, ඉහත කී මිනිස්සුම ඊළඟ මහරජාණෝ ළඟට යයි.

පසුගිය අවුරුදු 18 තුළ මහින්ද, සිරිසේන, ගෝඨාභය, වික්‍රමසිංහ හා දිසානායක ආණ්ඩු හැදෙන හැටිත්, ආණ්ඩු කැඩෙන හැටිත් ගැන අපට මනා අවබෝධයක් ඇත.

ඒ අවබෝධය අප සුළුවට තකන්නේ නැත.

විපක්ෂයේ ඉන්න විට දේශපාලනයේ හැසිරීමත්, එම පිරිස් පාලන බලයේදී හැසිරීමත්, ඔවුන් නැවත විපක්ෂයට ගිය විට හැසිරීමත් අපට ලැබුණු පාඩමයි. ඒ පාඩම අපට වැඩියෙන්ම ඉගැන්නුවේ මහින්දයි. බලයේ පාඩම අපට ඉගැන්නුවේ මහින්දයි. ප්‍රතිපත්ති පාවා නොදී අපේ මතය වෙනුවෙන් හිටගන්න ඉගැන්නුවේ මහින්දයි.

දූෂණයට, තාඩන, පීඩනවලට නොබියව එක පෙළට හිටගන්න ඉගැන්නුවේ මහින්දයි. බලය යනු හුදෙක් ඉතාමත් තාවකාලික ස්වයං වින්දනයක් බව ඉගැන්නුවේ මහින්දයි.

වෛරක්කාර දේශපාලනය ඉවර වෙන තැන ඉගැන්නුවේ මහින්දයි.

එම නිසා, මහින්දගෙන් රාජමානව බැබළුණු වන්දිභට්ටයන් ඔහුව අමතක කර ඇති කාලයකදී, ඔහුට සුබ පතා විශේෂ සටහනක් ලියන්න අපට හැකි වන්නේ, මහින්ද යනු මිනිසා හා මහින්ද යනු දේශපාලකයා පිළිබඳව අපට තිබෙන නිහතමානී අවබෝධය නිසයි.

1970 මහින්ද, 88/89 මහින්ද, 2005 මහින්ද, 2009 මහින්ද, 2015 මහින්ද, 2019 මහින්ද, 2022 මහින්ද, 2024 මහින්ද, 2026 මහින්ද ගැන දේශපාලකයෝ විතරක් නොව මුළු රටේ මුළුමහත් ජනතාවම ඉගෙන ගත යුතුයි. මහින්ද මේ රටට ඉතුරු කළ පාඩමේ නම මහින්ද, රස, විස හා වස.

එහි ඇත්තේ අටලෝ දහමයි ….

~ විශේෂ ලියුම්කරුවකු විසිනි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාවන්තිස්ස වෙනුවෙන් පරිසරවේදීන් ජාත්‍යන්තරය අවදි කරයි (PHOTOS)

කොළඹ LNW:ආසියාතික අලියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම අලි මිනිස් ගැටුම...

බහරේනයේ ඇමරිකානු රේඩාර් පද්ධතියට එල්ල කළ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 17:බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා...

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයට නව මුළුතැන්ගෙයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW: වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ...

ලාෆ්ස් ගෑස් මිල අඩුකරයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...