කලක් ගත වී තවත් සැරයක්
විශ්වය ම බිඳ වැටිණ
ක්ෂුද්‍ර එක් බුබුළකට
සක්වල ම මිටි කෙරිණ
ශේෂ වී ඇති එක ම බුබුළෙහි
ගුලි ගැහෙන අතරතුර
විශ්වයේ බිහිවීම
දෑස් ඉදිරියෙ දිග හැරිණ
කියැවූ පොතක හැම අකුරක් ම
පත අට එකට සිඳ
මල් කෙණ්ඩියක ලා බිව්වේ මම ය
ප්‍රබන්ධ චරිත ගෙන පණ පොවා
මා වෙත ම වැහෙන තුරු
සද් මන්ත්‍ර ජප කළේ මම ය
සකල විධ සංකල්ප රන්සුනු
හද බඳුන් ලා උණු කොට
රන් රෝස ද ආලේඛ්‍ය ද
තැනුවේ මම ය
වංකගිරි සඳ උයන් මන්දාකිණි අතර
ගමන් මං යා කොට
සිතියම් ද ඇන්දේ මම ය
අසංඛ්‍ය සිහින රන් කෙඳි
අමුණ අමුණා
ස්වයං බන්ධන වරපට
සියතින් ම ගෙතුවේ මම ය
මේ අදිසි විශ්වය
තනි ව රහසින් තනා
එහි ම ඉපදෙන මියෙන
මැවුම්කාර දෙවියන්
අන් කිසිවෙකු නො ව
මම ය
මා පමණ ය
අන්තිමේ දී!
ඔබ ආ බව
බොහෝ අත්හදාබැලීම් අවසන
මගේ විශ්වය
සියැසින් දැකිය හැකි
මායාමය දෑස හමු වූ බව
පොද වැස්සකට සහ
සංගීත ඛණ්ඩ නිමේෂයකට පසු
ඉතා පහසුවෙන්
තීන්දු කළේ ද මම ය
මගේ මේ අදිසි සක්වල
අතැඹුලක් සේ ඔබට හුරු බව
සියලු තාරකාවල කටහඬ
වෙන් වෙන් ව වැටහෙන බව
තනා ලූ රන් රෝස ස්පර්ශයෙන්
ඔබ දෑත් පිළිස්සී නො යනු ඇති බව
රන් කෙඳි වරපට මත
මා සමඟ වැතිර
සුළඟ හා කතා කරනු ඇති බව
සිතුවේ මම ය
මා තැනුණු විශ්වයේ අංශුවලින්
ඔබ ද නිර්මිත බව
මට කීවේ නම් ඔබ ය
එහෙත්
ඇදහිල්ල නම් වූ බිහිසුණු පාපය
දැන දැන ම සිදු කළ
ශුද්ධ වූ මිත්‍යාදෘෂ්ටික හර්දය
මගෙ ය
එවිට මට වැටහිණ
සියල්ලෝ ආ ගිය ලෙස
ඔබ ද පිට වී ගියා මිස
කිසිවක් ම නො වෙනස් ව
දැනුදු පවතී මා මැවිල්ලෙහි ඇස
මේ අදිසි විශ්වය
තනි ව රහසින් තනා
එහි ම ඉපදෙන මිය යන
මැවුම්කාර දෙවියන්
කවරෙක් ද මා මිස
~ කල්පනා ඇම්බ්‍රෝස්