*
Monday, May 13, 2024
spot_img

Latest Posts

යහපාලන කාලයේ ණය වැඩි වීම ….

මේ සමඟ පළ කරන වගුවෙහි තිබෙන්නේ 2015-2019 අතර එක් එක් වසර වලදී සහ සමස්තයක් ලෙස රාජ්‍ය අයවැය තුලනය වූ ආකාරය. මැතිවරණ වසරක් වූ 2015දී රජයේ ආදායම් අඩු වී වියදම් ඉහළ ගියා. රජය එම වසරේ වියදම් වෙනුවෙන් (පැරණි ණය ආපසු ගෙවීම් හා පොලී ගෙවීම් හැර) එම වසරේ රාජ්‍ය ආදායමට වඩා රුපියල් බිලියන 319.8ක් වැය කළා. එනම්, එපමණ ප්‍රාථමික අයවැය හිඟයක් පවත්වා ගත්තා.

ප්‍රාථමික අයවැය හිඟයක් ඇති විට එම හිඟය පියවා ගැනීම සඳහා ණය ගන්නට සිදු වෙනවා. ඊට අමතරව, පැරණි ණය හා පොලී ගෙවීම සඳහාත් ණය ගන්නට සිදු වෙනවා. 2015 වසරේදී ප්‍රාථමික අයවැය හිඟය වූ රුපියල් බිලියන 319.8ක මුදල පියවා ගැනීමට අමතරව, පැරණි ණය සඳහා පොලී ගෙවීම පිණිස රුපියල් බිලියන 509.7ක මුදලක්ද, පැරණි ණය වල එම වසර තුළ ආපසු ගෙවිය යුතු කොටස සඳහා තවත් රුපියල් බිලියන 808.1ක මුදලක්ද අවශ්‍ය වුනා. ඒ අනුව, වසර තුළ රුපියල් බිලියන 1,637.7ක මුදලක් ණය ලෙස ලබා ගත යුතු වුනා.

ඉහත ණය අවශ්‍යතාවයෙන් රුපියල් බිලියන 1,116.5ක මුදලක් දේශීය මූලාශ්‍ර වලින්ද, ඉතිරි රුපියල් බිලියන 521.1ක මුදල විදේශ මූලාශ්‍ර වලින් ලබා ගැනුනා. මෙයින් රුපියල් බිලියන 304.7ක මුදලක් ලබා ගත්තේ ස්වෛරිත්ව බැඳුම්කර විකිණීම මගින්.

කෙසේ වුවද, 2016 වසර මැදදී ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹීමෙන් පසුව එම වැඩ සටහනේ එකඟතා අනුව රාජ්‍ය වියදම් පාලනය කෙරුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ප්‍රාථමික අයවැය හිඟය රුපියල් බිලියන 29.4 දක්වා පහත වැටුණා. ඒ අනුව, එම වසරේ මුළු ණය අවශ්‍යතාවයද රුපියල් බිලියන 1,381.9 දක්වා පහත වැටුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතව සිටි 2017 හා 2018 වසර තුළදී රාජ්‍ය මූල්‍ය කළමනාකරණය තව දුරටත් වැඩි දියුණු වී ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති වුනා. ඒ කියන්නේ, එම එක් එක් වසර තුළ රජය විසින් වියදම් කළේ ආදායමට වඩා අඩුවෙන්. එහෙත්, පැරණි ණය වල වාරික හා පොලී ගෙවීම සඳහා එම වසර වලදීද අලුතෙන් ණය ලබා ගත යුතු වුණා.

සාමාන්‍යයෙන් සිදු වන පරිදි, මැතිවරණ වසරක් වූ 2019දී ඉහත තත්ත්වය නැවතත් ආපසු හැරවුනා. එම වසරේදී රාජ්‍ය වියදම රුපියල් බිලියන 537.7කින් රාජ්‍ය ආදායම ඉක්මවූවා. මෙම ප්‍රාථමික අයවැය හිඟයට ණය වාරික හා පොලී එකතු වීමෙන් පසුව, 2019 වසරේ ණය අවශ්‍යතාවය රුපියල් බිලියන 2,560.2 දක්වා ඉහළ ගියා. එම මුදලෙන් රුපියල් බිලියන 781.4ක් ලබා ගත්තේ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම මගින්.

යහපාලන ආණ්ඩුව පැවති 2015-2019 කාලය තුළ ඩොලර් මිලියන 12,050ක මුහුණත වටිනාකමැති ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර එකොළහක් නිකුත් කිරීම මගින් ශ්‍රී ලංකා රජය විසින් එකතු කරගත් මුළු මුදල රුපියල් බිලියන 1,923.1ක්. ණය ආපසු ගෙවීම සඳහා ලබාගත් ණයද ඇතුළුව එම කාලය තුළ රජය විසින් ලබා ගත් මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 9.177.8ක්. මේ අනුව, එම කාලයේ මුළු ණය අවශ්‍යතාවයෙන් 21.0%ක් ලබා ගෙන තිබෙන්නේ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම මගිනුයි.

රජය විසින් ව්‍යාපෘති ණය ලබා ගත් විට, එසේ ලබා ගන්නා අරමුදල් නිශ්චිත ව්‍යාපෘති වෙනුවෙන් වැය කළ යුතුයි. එහෙත්, ස්වෛරිත්ව බැඳුම්කර ලබා ගැනීමේදී මෙවැනි කොන්දේසියක් නැති නිසා ඒ හරහා ලබා ගන්නා අරමුදල් රජයට කැමති පරිදි වැය කළ හැකියි. පළමු ස්වෛරිත්ව බැඳුම්කරය නිකුත් කළ අවස්ථාවේදී සිටම මෙන් ශ්‍රී ලංකා රජය විසින් බොහෝ විට කර තිබෙන්නේ මෙසේ ලබා ගන්නා අරමුදල් වලින් ඒ වන විට ලබා ගෙන තිබුණු ණය වලින් කොටසක් ආපසු ගෙවීමයි.

පෙර ලිපියේ විස්තර කළ ඇති පරිදි ශ්‍රී ලංකා රජය විසින් මුලින්ම ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කළේ 2007 වසරේදීයි. එසේ නිකුත් කළ ඩොලර් මිලියන 500ක බැඳුම්කරය රුපියල් කළ විට ආසන්න වශයෙන් රුපියල් බිලියන 56ක පමණ මුදලක් ශ්‍රී ලංකා රජයට ලැබුණා. එම මුදල වැය කළේ පහත ආකාරයටයි.

තාවකාලිකව ලබාගත් බැංකු ණය පියවීමට- රුපියල් බිලියන 20ක්
භාණ්ඩාගාර බිල්පත් ණය පියවීමට – රුපියල් බිලියන 28ක්
ව්‍යාපෘති ණය වල වාරික ගෙවීමට – රුපියල් බිලියන 8ක්

කෙටියෙන් කිවුවොත්, මෙහිදී සිදු වුනේ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම හරහා ණය වී එම මුදල් පසුව වියදම් කිරීම නෙමෙයි. ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරන්නට කලින්ම ණය වී පසුව එම ණය ස්වෛරිත්ව බැඳුම්කර ණය වලින් පියැවීමයි.

ඉහත අවස්ථාවේදී ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම මගින් ලබා ගත් අරමුදල් රුපියල් කර එම රුපියල් වලින් රුපියල් ණය පියැවීමක් සිදු වුනා. මෙහිදී ක්ෂණිකව රජයේ ණය වැඩි වීමක් සිදු වුනේ නැහැ. එහෙත්, රුපියල් ණය වෙනුවට ඩොලර් ණය ආදේශ වීමක් සිදු වුනා. මෙය පසු වසර වලදීද දිගින් දිගටම සිදු වුනා.

ඩොලර් මිලියන 500ක මුදලක් රුපියල් වෙද්දී එක පැත්තකින් ඩොලරයක මිල පහළ ගොස් රුපියල අධිප්‍රමාණය වෙනවා. එසේ වූ විට රජයේ ඩොලර් ණය වල රුපියල් අගය පහත වැටෙනවා. අනෙක් පැත්තෙන් එසේ ලබා ගන්නා රුපියල් වලින් දේශීය ණය පියවද්දී දේශීය මුදල් වෙළඳපොළේ රුපියල් ද්‍රවශීලතාව ඉහළ ගොස් පොලී අනුපාතික පහළ යනවා. ඒ හේතුවෙන් රජයේ දේශීය ණය වල පොලී පිරිවැය පහළ යනවා. රුපියල් ණය වෙනුවට ස්වෛරිත්ව බැඳුම්කර ණය ආදේශ කිරීම මගින් රජය ඉලක්ක කළේ මේ වාසි දෙකයි.

කෙසේ වුවත්, ඉහත වාසි දෙකම ලබාගත හැක්කේ කෙටිකාලීනව පමණයි. ස්වෛරිත්ව බැඳුම්කර ලෙස ලබා ගන්නා ණය ආපසු ගෙවන්නට සිදු වූ විට ඉහත වාසි දෙකම ආපසු හැරී අවාසි බවට පත් වෙනවා. එය වලක්වා ගත හැක්කේ තව තවත් ස්වෛරිත්ව බැඳුම්කර ලබා ගැනීමෙන් පමණයි. ලංකාව හිර වුනු ණය උගුල මෙයයි.

මෙහිදී ඇත්තටම ප්‍රශ්නය ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කර ණය ලබා ගැනීම නෙමෙයි. එම ණය යොදා ගෙන ඩොලරයක මිල හා පොලී අනුපාතික පහළින් තියා ගැනීම මගින් ලබා ගත් තාවකාලික වාසියයි. 2022 වසරේදී අලුතෙන් ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීමට නොහැකි වීමෙන් පසුව ඩොලරයක මිල හා පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාම ඒ වෙනුවෙන් ගෙවන්නට සිදු වූ මිලයි. එසේ ගෙවුවේද එම මිලෙන් සුළු කොටසක් පමණයි.

ශ්‍රී ලංකා රජය තවමත් මේ උගුලෙන් නිදහස් වී නැතුවාක් මෙන්ම තවත් කාලයකට එසේ නිදහස් වීමේ හැකියාවක්ද නැහැ. ඒ නිසා, ඩොලරයක මිල හා පොලී අනුපාතික දරාගත හැකි මට්ටමක පවත්වා ගැනීම සඳහා වුවත් දිගින් දිගටම අලුතෙන් විදේශ ණය ලබා ගන්නට සිදු වෙනවා. ඒ අතර, දිගුකාලීනව ප්‍රශ්නයෙන් ගොඩයාම සඳහා ප්‍රාථමික අයවැය ගිණුමේ හා ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්නට සිදු වෙනවා. 2016-2019 කාලය තුළ ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 16වන වැඩ සටහනේදී මෙන්ම නැවත 17වන වැඩ සටහනේදීද ඉලක්ක කළේ මෙම තුලනයන් දිගටම පවත්වා ගැනීමයි.

ඉහත විස්තර කළ හේතු නිසා, ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම හරහා ශ්‍රී ලංකා රජය විසින් ලබා ගත් අරමුදල් වැය කළ ආකාරය ගැන සමස්තයක් ලෙස රජයේ ණය වැය කළ ආකාරයේ කොටසක් ලෙස මිස වෙනම කතා කිරීම අසීරුයි. 2015-2019 කාලය තුළ ශ්‍රී ලංකා රජය විසින් දේශීය මූලාශ්‍ර වලින් රුපියල් බිලියන 5,676.4ක මුදලක් හා විදේශ මූලාශ්‍ර වලින් රුපියල් බිලියන 3,501.5ක් ලෙස රුපියල් බිලියන 9,177.8ක මුදලක් ණය ලෙස ලබා ගත්තා. එයින් 21.0%ක් ස්වෛරිත්ව බැඳුම්කර ණයයි.

ඉහත සඳහන් රුපියල් බිලියන 9,177.8ක මුදල වැය කර තිබෙන්නේ පහත පරිදියි.

දේශීය ණය ආපසු ගෙවීම සඳහා – රුපියල් බිලියන 3,207.3 (34.9%)
විදේශ ණය ආපසු ගෙවීම සඳහා – රුපියල් බිලියන 1,567.3 (17.1%)
දේශීය ණය වල පොලී ගෙවීම සඳහා – රුපියල් බිලියන 2,756.0 (30.0)
විදේශ ණය වල පොලී ගෙවීම සඳහා – රුපියල් බිලියන 853.7 (9.3%)
ප්‍රාථමික අයවැය හිඟය පියවා ගැනීම සඳහා – රුපියල් බිලියන 793.5 (8.6%)

මේ අනුව, එම කාලයේදී ලබාගත් ණය ප්‍රමාණයෙන් 91.4%ක්ම වැය කර තිබෙන්නේ ණය වාරික හා පොලී ගෙවීම සඳහායි. ඒ වගේම, ණය ප්‍රමාණයෙන් 26.4%ක් වැය කර තිබෙන්නේ විදේශ ණය ආපසු ගෙවීම් හා පොලී ගෙවීම් සඳහා.

විදේශ ණය වල ප්‍රධානම කොටස් දෙක වන්නේ ව්‍යාපෘති ණය හා ස්වෛරිත්ව බැඳුම්කර ණයයි. අලුතෙන් ව්‍යාපෘති ණය ලබා ගත්තත් එම අරමුදල් යොදාගෙන පැරණි ව්‍යාපෘති ණය වල වාරික හෝ පොලී ගෙවීමේ හැකියාවක් නැහැ. ව්‍යාපෘති ණය අදාළ එකඟතා අනුව නිශ්චිත ව්‍යාපෘති වෙනුවෙන් වැය කළ යුතුයි. ඒ නිසා පැරණි ස්වෛරිත්ව බැඳුම්කර වල මුහුණත අගය හා කූපන් පොලී මෙන්ම පැරණි ව්‍යාපෘති ණය වල වාරික හා පොලී ගෙවීම සඳහාද අලුතෙන් ස්වෛරිත්ව බැඳුම්කර ණය ලබා ගන්නට සිදු වෙනවා.

දේශීය මූලාශ්‍ර වලින් විදේශ විණිමය ණය ලබා ගැනීමේ හැකියාව ඉතා සීමිතයි. එම තත්ත්වය තුළ මුළු ණය ප්‍රමාණයෙන් 26.4%ක් වූ විදේශ ණය වාරික හා පොලී ගෙවීම සඳහා එම ණය ප්‍රමාණයෙන් 21.0%කට සමාන ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමාණයක් නිකුත් කරන්නට සිදු වීම තේරුම් ගැනීමට අපහසු නැහැ.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan