*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

හද සසල කරවන සරමාගෝනියානු උත්ප්‍රාසය

අතට ගත් පොත බිම තැබීමට නොහැකි තරමටම සුන්දර ආහ්ලාදජනක හැඟීමක් ජනිත කළ හැකි කෘතියක් අඩු නැතිව සැබැවින්ම අවුරුදු හතළිස් හතක කාලයක්ම ප්‍රකාශයට පත් නොවී තිබීම කවරා’කාරයකින්වත් සාධාරණය කළ හැකි කාරණාවක් යැයි නොසිතන්නෙමු. මන්ද කිසියම් හෝ ලේඛනයක් නිර්මාණය කිරීමට එම ලේඛකයා දක්වන කැපවීම සුළු පටු කාරණාවක් බවට කිසිසේත්ම ලඝු කළ නොහැකි බැවිනි.

එමෙන්ම ප්‍රකාශයට පත් නොවීම යන කාරණාව අරබයා රචකයා තුළ හටගනු ලබන මන්දෝත්සාහී බව සහමුලින්ම පාහේ ඔහුගේ ලේඛන දිවිය අඳුර කරා ගෙන යන්නකි. තම අත්පිටපත ප්‍රකාශයකයාට භාර දීමෙන් අනතුරුව එයට කුමක් වුණා දැයි කියා නොදැන අවුරුදු දහනවයක්ම ලේඛනයෙන් ඈත් වී උකටලීව සිටි, පසු කාලයේ නොබෙල් සාහිත්‍යය ත්‍යාගය ද දිනාගත් දැවැන්ත ලේඛකයෙකු අපගේ සාහිත්‍යය ඉතිහාසයට එක් වූයේ එවැනි සරදම්කාරී අයුරකිනි.

ඉඳින්, මේ ලේඛකයා නම් පෘතුගීසි ජාතික ජොසේ සරමාගෝ ය. ඔහුගේ එම නැති වූ අත් පිටපත ඔහුගේ මරණයෙන් අවුරුද්දකට පසුව ඔහුගේ බිරිඳ වන පිලා දෙල් රියෝ විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර එම කෘතිය ‘ස්කයිලයිට්’ නම් වේ. මෙම කෘතියේ සිංහල පරිවර්තනය ‘පියැසි කවුළුව’ යන නමින් සුභාෂිණී චතුරිකා විසින් සිංහලයට පෙරළන ලදී.

උක්ත කෘතියේ පළමු පරිච්ඡේදය කියා අවසන් වෙත්ම අපට හැඟී ගිය ප්‍රධානතම කාරණාව නම් මෙවැනි විශිෂ්ඨ කෘතියක් කවරා’කාරයේ සහේතුක හේතුවක් නිසා ප්‍රකාශයට පත් නොවී ප්‍රකාශකයෙකුගේ මේස ලාච්චුවේ අතරමංවී තිබුණා දැයි යන සිතුවිල්ලය. සැබැවින්ම උක්ත කෘතියේ විශිෂ්ඨත්වය එය සමාව දිය නොහැකි තරමේ වරදක් බව පාඨකයාට ඒත්තු ගන්වනු ලබයි. අනිත් අතට සරමාගෝ නම් වූ විශිෂ්ඨ ලියන්නාට මේ නිසා හටගත් කම්පණය ද සුළු පටු එකක් නොවන බව පෙනෙන්නේ, ඔහු වසර දහනවයක්ම ලේඛනයෙන් ඈත් වී සිටීම නිසාවෙනි.

එය එක්තරා අතකට…, සැබැවින්ම විශිෂ්ඨ නිර්මාණයක් වූ තම අත්පිටපත ප්‍රකාශනයෙන් අනතුරුව වාරණය වූවා බඳු හැඟීමක් ඔහු තුළ ජනිත කරන්නට ඇත . මන්ද වාරණය යනු සැබැවින්ම ලේඛකයාගේ දෙ අත් වලට දමනු ලබන මානසිකව වද දෙනු ලබන විලංගුවක් වන බැවිනි.

මෙරටදී වාරණය වූ පළමු කෙටි කතා කෘතිය වන ‘ටෙනිසන් පෙරේරා ගේ දැති රෝදෙන් උපන් බුදුන්’ නම් වූ කෘතිය වාරණය වීමෙන් අනතුරුව ටෙනිසන් අතින් දශක හතරක් පමණ යනතුරුම කිසිම කෙටි කතා කෘතියක් ප්‍රකාශයට පත් වූයේ නැත . දෙවැනුව වාරණයට බඳුන් වූ මංජුල වෙඩිවර්ධනගේ ‘මේරි නම් වූ මරියා’ කෙටි කතා කෘතිය වාරණයෙන් පසුව මංජුල ද දශකයකට පමණ ආසන්න කාලයක් තුළ කෙටි කතාව හරහා නිහඬවම කල් මැරුවේය.

ඉඳින්, වාරණය සහ ප්‍රකාශකයන් අත් පිටපත්වලට දක්වනු ලබන නිහැඩියාව එලෙසින් ලේඛකයන් තුළ ඇති කරනුයේ, ඔවුන් තම ලේඛන භාවිතාවන් තුළින් ඈත් කරවන තරමේ සාංකාවකි. මඳක් සිතා බලන්න… එදා සරමාගෝ එම අත් පිටපත සම්බන්ධයෙන් වූ ප්‍රකාශක නිහැඬියාව සහ එම අත් පිටපත පවා යළි නොලැබීම හේතුවෙන් හටගත් සාංකාවෙන් ඔහුගේ ලිවිසැරිය සදාකාලිකවම නවතා දැමුවා නම් විශ්ව සාහිත්‍යයට අහිමි වී යනුයේ එසේ මෙසේ ලියන්නෙක් නම් නොවේ. මන්ද ඔහු නොබෙල් සාහිත්‍යය ත්‍යාගය දිනාගත් පළමු පෘතුගීසි ජාතිකයා ද වන බැවිනි.

කිසියම් හෝ අත්පිටපතක් ප්‍රකාශකයෙකු අතට පත් වූ පමණින්ම එම අත්පිටපත කෘතියක් වශයෙන් පළ කිරීමට ප්‍රකාශකයා බැඳී සිටීම අනිවාර්ය කරුණක් නොවුණ ද එම අත්පිටපත භාර ගැනීම හෝ නොගැනීම යන කාරණා දෙක පිලිබඳව ලේඛකයා දැනුවත් කිරීමටත්, එය පළ කිරීමට භාර නොගන්නේ නම් එය යළි ලේඛකයාට ලැබෙන්නට සැලැස්වීමත් ප්‍රකාශකයා සතු වගකීම් සහගත යුතුකමකි. මෙකී ප්‍රකාශකයාගේ නොමනා ක්‍රියාව හේතුවෙන් මෙම අත්පිටපත සරමාගෝට ලැබෙන්නේ යළිත් අවුරුදු හතලිස් හතකට පසුවය.

එය ලැබුණ පසුව ඔහුගේ බිරිඳ වන පිලා දෙල් රියෝ එම කෘතිය පළ කිරීමට ඔහුට යෝජනා කළ ද තමන් ජීවතුන් අතර සිටියදී එය කිසි දිනෙක සිදු නොකරන බවට සරමාගෝ පවසා සිටියේය. ඒ සඳහා ඔහු දැක් වූ හේතුව සැබැවින්ම සර්ව සාධාරණ නොවුණ ද සාධාරණ එකක් යැයි අපිඳු විස්වාස කරන්නෙමු. කෘතිය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහු තම බිරිඳට පවසා සිටින්නේ මෙසේය.

‘කිසි කෙනෙක් තව කෙනෙක්ට ආදරය කළ යුතු යැයි නියමයක් නැත . නමුත් අපි එකිනෙකාට ගරු කිරීමට බැදී සිටිමු.’

ඒ පිළිබඳව සඳහන් කරමින් ඔහුගේ බිරිඳ පිලා දෙල් රියෝ අප හට මෙසේ පවසා සිටී.

‘ඒ තර්කයට අනුව සරමාගෝ කියා සිටියේ ප්‍රකාශන ආයතනය විසින් එතැනට ලැබෙන සෑම අත් පිටපතක්ම ප්‍රකාශයට පත් කිරීම අනිවාර්යයක් නොවන නමුත් දින, සති, මාස ගණන් සැක සංකාවෙන් පිළිතුරක් ලැබෙන තුරු බලා සිටින නොඉවසිලිමත් ලේඛකයාට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම ඔවුන්ගේ වගකීම විය යුතු බවය. ඒ සියල්ලට එපිටින් ලේඛකයෙකු විසින් භාරදෙන යතුරුලියනය කළ කඩදාසි මිටියක් යනු කිසිසේත්ම වචන සමුදායක් පමණක් නොවේඃ ඔහුගේ හෝ ඇයගේ බුද්ධි ප්‍රභාව සහ සංවේද්‍යතාව ද සමඟින් ඒ තුළ මිනිස් ජීවිතයක් පවතියි.’

ඉඳින්, ඒ ප්‍රකාශක නිහැඬියාව සරමාගෝ නම් වූ ශ්‍රේෂ්ඨ ලියන්නාගේ බුද්ධි ප්‍රභාව විදහා දක්වන අනගි මිනිස් ජීවිතය මේස ලාච්චුවක හුදකලා කොට දමා දශක ගණනාවක් එය අතුරුදන්කොට තැබීම සැබැවින්ම කවරාකාරයේ මිලේච්ඡ භාවිතාවක් ද?

 කිසිවක් නොකියන්නෙමු – පිළිතුර ඔබට භාර කරන්නෙමු.

 සරමාගෝ පිළිබඳව අපගේ දැනුවත් භාවය පළමුව ආරම්භ වූයේ කේ.කේ.සමන් කුමාර සහ ගොයුම් එවරස්ට් ආරච්චිගේ යන සොහොයුරන් දෙදෙනා දිනක් සාහිත්‍යය කථිකාවතකදී සරමාගෝ ගේ ‘ගොස්පෙල් එකෝඩින්ග් ටු ජීසස් ක්‍රයිස්ට්’ නමැති කෘතිය සම්බන්ධයෙන් කරනු ලබන සඳහන් කිරීමක් තුළිනි. ඒ මීට වසර දහයකට පමණ පෙරාතුවය. එතැන් සිට එම කෘතිය කියවා බැලිය යුතුම යැයි අදිටන් කරගෙන කෙසේ හෝ එය කියවීමේ භාග්‍යය ද උදාකරගත්තෙමු.

ඉතිං, එම විශිෂ්ඨ ලේඛකයාගේ එකඳු කෘතියක් හෝ සිංහලයට පරිවර්තනය වී නොතිබුණ පසුබිමක සුභාෂිණී චතුරිකා නම් වූ පරිවර්තිකාව විසින් ‘ද ස්කයිලයිට්’ සිංහලයට ගෙන ඒම සැබැවින්ම මේ විශිෂ්ඨ සාහිත්‍යධරයා සිංහල පාඨකයාට හඳුන්වා දීමට ගත් කදිම උත්සාහයකි.
සැබැවින්ම සරමාගෝ සිය ලේඛනය තුළදී චරිත නිරූපණය නම් වූ කාරණාව පිළිබඳව අපට බොහෝ දේ කියා දෙන බැවින් එවැනි ලේඛකයෙකු සිංහල පාඨකයාට අභිමුඛ වීම මෙරට ලේඛනයේ නිරත ලේඛකයන්ට ද සරමාගෝ ගේ ලේඛන විධික්‍රමයන් අධ්‍යයනය කිරීමට විවර වන මහගු මාර්ගය කි. එමෙන්ම සරමාගෝ නිර්මාණ කාර්යයේදී කාලය නමැති සංකල්පය සැබැවින්ම යොදා ගනු ලබන්නේ විශිෂ්ඨ නිර්මාණයක කාලය නමැති සන්කල්පය වර නැගෙන ආකාරයටමය. එනම් වාස්තවික යථාර්ථයේ මානය තුළ කාලය සහ වාස්තවික යථාර්ථයෙන් එහා සහ මෙහා කාලය කථිකාවට ගෙන ඒම තුළිනි. ‘ද ස්කයිලයිට්’ කෘතියේ පළමු පරිච්ඡේදයේදීම ඔහු එය බුහුටි අයුරින් භාවිතාවට ගෙන තිබේ.

සියල්ලටම පෙරාතුව සරමාගෝ පිළිබඳ හැඳින්වීමකින් මෙම ලියමන ආරම්භ කළ යුතු යැයි සිතන්නෙමු.

සරමාගෝ නම් වූ ලියන්නා

 සැබැවින්ම ඔහු ඇකඩමිකයානු උගත් බුද්ධිමත් පුද්ගලයෙක් නම් නොවේ. ඔහු ගේ පවුල ද එසේම ය. නමුත් අකුරු කියවීමට පවා නොහැකි වූ ඔහුගේ සීයා වන ජෙරනිමෝ හිලාරියෝ තමන් මෙලොව දුටු බුද්ධිමත්ම මිනිසා යනුවෙන් සරමාගෝ විසින් නොබෙල් ත්‍යාගය ලබා ගනිමින් ලොවට පවසා සිටියේය.

සරමාගෝ උපත ලැබුවේ 1922 වසරේ නොවැම්බර් 16 වෙනිදා අසින්හාග නම් වූ ග්‍රාමයකදීය. නොබෙල් සාහිත්‍යය ත්‍යාගය දිනාගත් පළමු පෘතුගීසි ජාතිකයා වන සරමාගෝ ගේ භාවිතාවන් කවිය, නවකතාව, ජනමාධ්‍යවේදය ,නාට්‍ය පිටපත් රචනය ආදී කේෂ්ත්‍ර ගණනාවකටම අතු පතර විහිදුවාලූවේය. එමෙන්ම පෘතුගාලයේ කැපීපෙණුන දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ඔහු එරට සමාජවාදි පක්ෂයේ කමිටු සාමාජිකයෙකු ද වේ.

තම කුළුදුල් සාහිත්‍ය වෑයම ලෙස ‘ලෑන්ඩ් ඔෆ් සින්’ නමැති කෘතිය ප්‍රකාශයට පත් කරන විට ඔහු විසිපස් හැවිරිදි තරුණයෙකු විය. ඉන් පසුව ‘ස්කයිලයිට්’ කෘතියේ අත් පිටපත ඔහු අතින් නිර්මාණය වුව ද ප්‍රකාශකයාට භාර දීමෙන් අනතුරුව එයට පිළිතුරක් නොලැබීම හා එම අත්පිටපත යළි නොලැබීම නිසා වසර දහනවයක්ම තම ලිවිසැරියට කොමාවක් දැමීමට ඔහුට සිදු වූයේ දෛවයේ සරදමකට මෙනි.

 ඉන් අනතුරුව සිටි ඔෆ් ලිස්බන් ත්‍යාගය දිනාගනිමින් 1980 වසරේදී ‘රෙයිස්ඩ් අප් ෆ්‍රොම් ද ග්‍රවුන්ඩ්’ නමැති කෘතිය හරහා යළිත් සාහිත්‍ය ලොවේ නවකතාකරුවෙකු වශයෙන් ස්ථාපනය වූ හෙතෙම තම අද්වීතීය සාහිත්‍ය ගමන් මඟ අරඹනුයේ එතැන් සිටය. 1982 වසරේදී ඔහු විසින් රචනා කරන ලද ‘බල්තසාර් ඇන්ඩ් බ්ලිමුන්දා’ නමැති කෘතිය හරහා ජාත්‍යන්තර අවධානය දිනාගත් හෙතෙම වසර දෙකෙන් දෙකට නව කෘති ප්‍රකාශයට පත් කරමින් විශ්ව සාහිත්‍ය තුළ නැංගුරම් දැමුවේය. එමෙන්ම 1991 දී පළ වූ ‘ගොස්පාල් එකෝඩින්ග් ටු ජීසිස් ක්‍රයිස්ට්’ නමැති ඔහුගේ කෘතිය කිතුනු දහමේ කරුණු අභියෝගයට ලක් කරමින් ලිය වුණ විවාදාපන්න නවකතාවක් වූ අතර එය එරට තුළ තහනම් කරනු ලැබුවේය.

නමුත් අවසන තම මව් රට විසින් දෙන ලද එම තහනමට ඔහු පිළිතුරු දෙනු ලැබුවේ 1998 වසරේදී නොබෙල් සාහිත්‍යය ත්‍යාගය දිනාගත් පළමු පෘතුගීසි ජාතික ලේඛකයා බවට ඉතිහාසගත වෙමිනි. ඉතිං විශිෂ්ඨයන් බිහි වෙනුයේ සැබැවින්ම එවැනි ප්‍රතික්ෂේපයන් මතිනි. ඔවුන් එම ප්‍රතික්ෂේපයන්හි වේදනාවන් දවා හළු කරනුයේ තම භාවිතාවන් අතහැර නොදමින් දැඩි කැපවීමකින් ඒ තුළ නිමග්නව සිටීම තුළිනි. සරමාගෝ නම් වූ ලියන්නා එයට කදිම නිදසුනකි.

 කිසිදිනක විශ්ව විද්‍යාලයක ඉගෙන ගෙන නොමැති සරමාගෝ ගේ පියා සහ ඔහු දේවත්වයෙන් මෙන් ඇදහූ ඔහුගේ සීයා ද ලියන්නට හෝ කියවන්නට පවා දැන සිටියේ නැත . වෘත්තීය වශයෙන් යාන්ත්‍රික ශිල්පියෙක් වූ ඔහු සැබැවින්ම තම ප්‍රතිභාව සහ ඥානමය සාක්ෂරතාවය ස්වයං අධ්‍යයනයන් තුළින් වර්ධනය කරගත්තෙකි.

අවසන 2010 ජූනි 18 වෙනිදා මෙම විශ්වීය ලියන්නා සඳහටම දෙ ඇස් පියා ගනු ලැබුවේය. ඔහුගේ මරණයෙන් වසරක් ගත වීමෙන් අනතුරුව ‘ස්කයිලයිට්’ කෘතිය මුල් වරට පෘතුගීසි භාෂාවෙන් මුද්‍රණය විය.

ඉඳින්, දැන් අපි මෙම ලිපියේ මුඛ්‍යාර්ථය වූ ‘ස්කයිලයිට්’ නවකතාව සම්බන්ධයෙන් විෂයානු බද්ධ අක්ෂර ඓක්‍යයක සමෝධානයට ඇවිද යමු.

‘ස්කයිලයිට්’ නමූ සර්වකාලීන අක්ෂර එකතුව

මෙම නවකතාව තාක්ෂණික වශයෙන් ගත් කල චරිතාංග නවකතාවක් වශයෙන් හඳුනා ගත හැකිය. සැබැවින්ම ආධුනික ලියන්නෙකුගේ කෘතියක් යැයි කියා හැඳින්වීමට නොහැකි වන තරමටම මුහුකුරා ගිය චරිත නිරූපණ භාවිතාවක් මෙම කෘතියේ වියමන තුළින් අස්තිත්වය වන අතර ඒවා පාඨක මනසේ ඇති කරනුයේ ත්‍රිමාණ රූපී ජ්‍යාමිතික හැඩතලයන්ය. මිනිස් සන්තානය තුළ පවතින කුහකත්වය ජඩ බව මෙන්ම අනෙකා පරයා යෑමට ඇති විජිගීෂාව සහ ස්ත්‍රී සමලිංගිකත්වය මෙන්ම පුරුෂ සමලිංගිකත්වය ද ඒ සියල්ල පරයා පැන නැගෙන ආදරය සහ සෙනෙහස මෙන්ම මානුෂීය බව ද යන කාරණාවන් මෙම කෘතියේ චරිත තුළින් පාඨකයා හට සම්මුඛ කරවීමට සරමාගෝ සමත් වී තිබේ. චරිත නිරූපණය නවකතාවක් තුළ වරනැඟෙන ආකාරය හැදෑරීමට අත් පොතක් ලෙස භාවිතා කිරීමට හැකි ආකාරයේ නවකතාවක් වශයෙන් මෙය හැඳින්වීම සැබැවින්ම අතිශයෝක්තියක් නොවේ.

ලිස්බන් නුවර තට්ටු නිවාසයක දිවි ගෙවන පවුල් හයකගේ කතාන්දරය මෙම කෘතියට පාදක වී තිබෙන වස්තු විෂය වන අතර එම පවුල් හය මඟින් එදා ලිස්බන් නුවර පැවති තත්වය මෙන්ම සර්වකාලීනවම මිනිස් සන්තානයේ දිශානතිය එනම්, ආදරය වෛරය සහ ආර්ථික තත්වය යන කාරණා කෙරෙහි මිනිස් සන්තානය ක්‍රියාත්මක වන ආකාරය ද එයින් නිරූපණය වී තිබේ.

කෘතිය ආරම්භ වනුයේ සිල්වෙස්ත්‍ර නමැති සපත්තු මහන්නාගේ උදෑසන අවදිවීම තුළිණි. සිය තරබාරු බිරිඳ මරියානා ද සමඟ ඔහු ගෙවනුයේ සැබැවින්ම ආර්ථික අඟ හිඟකම් වලින් ගහණ වූ ජීවිතයකි. මෙම ආර්ථික අඩුපාඩු මකා ගැනීම සඳහා මාර්ගයක් වශයෙන් ඔවුන් තම නිවසේ කාමරයක් කුළියට දෙනු ලබන අතර එම කාමරයේ කුලීකාරයා වශයෙන් පැමිණෙන්නේ අබෙල් නම් වූ තරුණයෙකි. ඔහු පොත් පත් මතින් තම සංකේතීය ලෝකයේ සාක්ෂරතාවය අත්පත් කරගත් අයෙකු ලෙස හැඳින්වීම යුක්ති යුක්ත යැයි සිතන්නෙමු.

මෙම අබෙල් නම් වූ තරුණයා සිල්වෙස්ත්‍ර සමඟ දාර්ශනික පිය පුතු සබඳතාවයක් ආරම්භ කරනුයේ, සැබැවින්ම අබෙල්ගේ බුද්ධිමය අහංකාරකම් බොහොමයකට සිල්වෙස්ත්‍ර දෙනු ලබන පිළිතුරු ඔහුගේ සිත් ඇඳ බැඳ ගන්නා බැවිනි. අබෙල් සිය මාපියන්ගේ වෙන්වීම නිසා ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු සමඟ හෝ ජීවත් වීමට නොයා තනිවම තම ජීවිතය ගොඩ නගා ගත් අයෙකි. එම නිසා ඔහු තම ජීවිතයේ කැඩපත් අවදිය පසු කරනුයේ විෂම වූ සමාජය තුළින් මුණ ගැසෙන මිනිසුන් සහ ගැහැණුන් ගෙන් මෙන්ම පොත් පත් තුළිණි. සරමාගෝ ගේ මෙම කෘතියේ දාර්ශනික සුසුම්නාව වශයෙන් සිල්වෙස්ත්‍ර සහ අබෙල් අතර ගොඩ නැගෙන සමාගමය, කෘතියේ සාරවත් බව පොහොසත් කරනුයේ, සැබැවින්ම බුද්ධිමය වශයෙන් ඉවතලිය නොහැකි බොහොමයක් කරුණු කාරණා මත සන්තානය තාවර කරවීමට පාඨකයා පොළඹවාලමිනි.

 සරමාගෝ ගේ මෙම ආඛ්‍යානයේ සංගීතමය ථානය ඉසෝරා සහ ඇගේ පවුල තුළින් විශද වන අතර ඉසෝරා යනු ඇගේ සොයුරිය මව සහ මවගේ සොයුරියක සමඟ දිවි ගෙවනු ලබන තනිකඩ තරුණියකි. ඔවුන්ගේ පවුල තුළ එකඳු පුරුෂයෙකු හෝ නොසිටින අතර මෙම පවුල තුළින් ස්ත්‍රී සමලිංගිකත්වය වියමන තුළට ගෙන ඒමට සරමාගෝ සමත් වී තිබේ. ඒ සඳහා සරමාගෝ ගෙන තිබෙන ප්‍රවේශය බෙහෙවින්ම උත්ප්‍රාසාත්මක වන අතර සරමාගෝට බෙහෙවින්ම සමකාලීන ලේඛකයෙකු වන ‘දිදරෝ’ ගේ කෘතියක උපුටනයක් යොදා ගැනීම යන කාරණාවෙන් එය බෙහෙවින්ම උත්ප්‍රාසාත්මක ලීලාවකින් පාඨකයා ඉදිරියේ විකාසනය වෙනු ලබයි.

සැබැවින්ම උක්ත ‘දිදරෝ’ ගේ කෘතියෙන් උපුටා ගන්නා ලද කොටස බෙහෙවින්ම උත්ප්‍රාසාත්මක ස්ත්‍රී සමලිංගිකත්වයේ විඳහා දැක්වීමක් වනුයේ, එය කන්‍යා සොයුරියන් සම්බන්ධ ප්‍රස්තූතයක් වන බැවිනි. එමෙන්ම ඉසෝරා සහ ඇගේ පවුලේ උදවිය සම්භාව්‍යය සංගීතය ශ්‍රවණය කරමින් බෙහෙවින්ම හුදකලා වූ ජීවිතවලින් සමන්විත වූ අන්තරාවර්තී චරිතයන් ය.

ඉසෝරා තම සහෝදරිය පිළිබඳ රාගික සිතුවිලි වලින් දැවෙමින් ඇයව නතු කරගැනීමට ගනු ලබන උත්සාහය පිළිබඳව අවසන ඇය පශ්චාත්තාපී වුව ද ඒ කරා ඇය යොමු කරවනුයේ පුරුෂ සේවනය ඇයගේ දෛනික දිවි පෙවත සකස් වී ඇති ආකාරය අනුව ඇයට සාපේක්ෂව බෙහෙවින්ම දුරස්ථ කාරණාවක් වූ බැවිනි. මෙම විඳහා දැක්වීම් එතරම්ම උත්ප්‍රාසාත්මකව ලියා තිබීම යන කාරණාව හේතුකොටගෙන එයින් නිර්මාණය වී තිබෙන සාහිත්‍යමය රසය මෙතකැයි කියා කිව නොහැකිය.

එමෙන්ම සංගීතය යන කාරණාව පඨිතයන් තුළට ගෙන ඒම සෑම විශ්වීය රචකයෙකුගේම අවිඤ්ඤානික පෙළඹුමක් බඳුය. මිලාන් කුන්දේරා, සර් හෝල් කේන්, හරුකි මුරකමි වැනි ලියන්නන් පවා සම්භාව්‍ය සංගීතයේ ඈදා ගැනීම් තම පඨිතයන් තුළට ගෙනවිත් තිබේ. සරමාගෝ ද ඉසෝරා සහ ඇගේ පවුල ඇසුරෙන් එයම තම වියමන තුළට ගෙන ඒමට කටයුතු කර ඇත .

 ලිස්බන් නුවර මේ කියන තට්ටු නිවාසයේ දිවි ගෙවන තවත් පවුලක් වනුයේ ඇන්සෙල්මෝගේ පවුලය. ඔහු තම බිරිඳ සහ නව යොවුන් දියණිය සමඟ සාම්ප්‍රදායික පවුල් ජීවිතයක් ගෙන යන ආර්ථිකය පිළිබඳව බෙහෙවින්ම සවිඤ්ඤාණික වූ පිරිසකි. ඔවුන් තම දියණියගේ රක්ෂාවට යෑමට ඇති නොකැමැත්ත පිළිගැනීමට මැළි වන දෙමව්පියන්ය. මක් නිසාද පවතින තත්වයන් යටතේ ඇගේ මාසික වැටුප ද ඔවුන්ගේ ජීවිත ගැට ගසා ගැනීමට බෙහෙවින්ම අත්‍යාවශ්‍යය දෙයක් බවට ඔවුන් විස්වාස කරන නිසාවෙනි.

එම නිසාම ඔවුන් තම අසල්වාසියක වන ලිඩියා නම් වූ ධනවත් පුද්ගලයෙකුගේ අනියම් බිරිඳගේ සහාය ලබා ගෙන තම දියණියට වඩා හොඳ රැකියාවක් සොයා ගනී. මිනිස් සන්තානයේ කළ ගුණ නොසළකා හැරීමට ලේසියෙන් හේතු හොයන ස්වභාවය ගෙන හැර පෑමට, එනම් ගුණමකුභාවය අස්තිත්වය කිරීමට ලිඩියා සහ ඇන්සෙල්මෝගේ පවුල අතර සම්බන්ධතාවය චරිතාංගමය වශයෙන් වියමනිකව ගෙත්තම් කිරීමට සරමාගෝ වෑයම් කර තිබේ. සැබැවින්ම එය අති සාර්ථක වූ වෑයමකි.

මෙම ලිඩියා නම් වූ ගැහැණිය ඉතා කටුක දිවි පෙවතකට උරුමකම් කියූ තනිකඩ තැනැත්තියකි. ඇය සහ ඇගේ මව යැපෙනුයේ ඇයගේ අනියම් ධනවත් පෙම්වතාගේ අනුග්‍රහයෙනි. ලිඩියාගේ මෙම අනියම් පෙම්වතා වන ධනවත් මොරේ මහතා හමුවීමට පෙරාතුව ඇය ගණිකා වෘත්තියේ පවා යෙදී තිබෙන්නියකි. ඇය මෙම කෘතියේ වියමනට මනා සංවෘත අවසානයක් ලබා දීමට සරමාගෝ විසින් යොදා ගත් උච්චත්වයේ චරිතාංගිකාව වශයෙන් හැඳින්වීමට අපි කැමැත්තෙමු.

 ඉතිං, විවාහ ජීවිතය තුළ ආදරය යාවත්කාලීන නොවන තැන හට ගනු ලබන ඒ සාංකාව හේතුවෙන් සර්වකාලීනවම පෙළීමට පාත්‍රවන මිනිසුන් නිරූපණය කිරීමට සරමාගෝ මෙම ලිස්බන් නුවර තට්ටු නිවාසයේ පදිංචි කරවනුයේ එමිලියෝ ෆොන්සේකාගේ පවුලය. දෝන කාර්මන් එමිලියෝගේ බිරිඳය. පෘතුගාලය තුළ තම සැමියා සහ පුතු සමඟ විප්‍රවාසී පවුල් දිවියක් ගත කරන ඇය තම ඥාති සොහොයුරා හා විවාහ නොවීම පිළිබඳව එක්තරා ආකාරයකට පසුතැවීමකින් යුතු වුවද සැබැවින්ම ඇය එසේ පෙළීමට හේතුව ඇගේ මාතෘ භූමියෙන් විප්‍රවාසීව කල් ගෙවීමට සිදු වීමය. ඇය ශෝකයෙන් පීඩිත වන්නී. සිය පුතු සැමියාට දක්වන දැඩි ඇල්ම පවා සාකල්‍යයෙන්ම තමා සතු කරගැනීමට වෙහස වන්නීය. සිය දෙමව්පියන්ගෙන් ලැබෙන ආරාධනාවක් මත නැවත තම පුතු සමඟ මව් රට බලා සංචාරයක නිරත වීමට ඇය යන විට එමිලියෝගේ සන්තානය ක්‍රියාත්මක වන ආකාරය විඳහා දක්වා ඇති අයුරු සැබැවින්ම කියවා බැලිය යුතුම මනෝභාවයන් අක්ෂර වලට නැඟීමකි.

එම චිත්ත චෛතසිකයන් කටයුතු කරන ආකාරය සැබැවින්ම ලිස්බන් නුවර වැසියන් තුළ පමණක් නොව විශ්වීය මිනිසුන්ගේ චෛතසිකයන් ක්‍රියාත්මක වන පොදු ආකාරයමය. සරමාගෝ විශිෂ්ඨ ලියන්නෙකු බවට අවිවාදිත වනුයේ මේ ආකාරයේ මනෝභාවයන් අක්ෂර අතරට ගෙන ඒම තුළිනි.

 එමෙන්ම මෙම කෘතියේ සම්මත අවසානය නිර්මාණය කිරීමට දායක වන එම තට්ටු නිවාසයේ පදිංචිකරුවා වන කයිතානෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මජර ය. ඔහුගේ එම මජර බව මෙම තට්ටු නිවාසයේ උක්ත සඳහන් කරන ලද පවුල් වලින් අඩකටම බලපානු ලබයි. සරළවම කිවහොත් මෙම යථාර්ථවාදී චරිතාංග නවකතාවේ දුෂ්ඨයා සැබැවින්ම කයිතානෝය. මිනිස් සන්තානයේ මජර බව නමැති චෛතසිකය ක්‍රියාත්මක වන ආකාරය සරමාගෝ පාඨකයා ඉදිරියෝ සම්මුඛ කරවනුයේ කයිතානෝ හරහාය.

ඉතිං, සරමාගෝ ගේ මෙම ලේඛනය සැබැවින්ම විචාරාක්ෂියෙන් අවලෝකනය කරනු ලබන කෘතියකට වඩා සමපාත වනුයේ රසවින්දනාත්මක දෘශ්ටාවලෝකනයකින් පරිශීලනය කළ හැකි කෘති අන්තර්ගතවන කුලකයටය. සර්වකාලීනවම මිනිස් සන්තානයේ ගුඪ චිත්ත චෛතසිකයන් භාවිතාවට නැගෙන ආකාරය පියැසි කවුළුව තුළින් මනාව දෘශ්‍යමාන වේ.

මිනිසුන් කෙතරම් නම් නළුවන් ද කියන කාරණාව අරබයා පියැසි කවුළුව නිර්මාණය කරනු ලබන කථිකාව සැබැවින්ම ආනන්ද ජනකය.
 වරක් මගේ පාසල් මිතුරෙකු මා සමඟ කී කතාවක් මෙහිදී මගේ සිහියට නැගේ.

‘ගොඩක් මිනිස්සු කරන්නෙ බොරුවට රඟපාන එක බන්…’

ඉතිං, එය සැබෑවක් නේන්නම්. ශේක්ෂ්පියර් පවා කීවා නොවෙද ‘ජීවිතය වේදිකාවකි. අපි එහි රඟන නළුවෝ වෙති’ කියා.

ඉතිං සරමාගෝ මෙකී කාරණාව සිය වියමන තුළ ගෙත්තම් කරනුයේ දිගු කාලීන විවාහ ජීවිතයකට උරුමකම් කියූ සිල්වෙස්ත්‍ර සමලිංගිකයෙකු වුවද එය තම බිරිඳගෙන් වසන්කොටගෙන ස්වභාවිකව ජීවීතයට මුහුණ දී ඇති ආකාරය අක්ෂර අතරට ගෙන එමිනි. නමුත් අබෙල්ගේ වෙන්වීම මත චංචල වන ඔහු තම ජීවිතයේ බරපතළම රහස අවසානයේ නිරාවරණය කරනු ලබයි. ඉතිං සැබැවින්ම ජීවිතය යනු සඟවාගෙන සිටින රහස් ඓක්‍යයක එකතුවක් බව පවසන සරමාගෝනියානු උත්ප්‍රාසය හද සසල කරවන සුළුය.

ජීවිතය නම් වූ මෙකී වේදිකාවේ මිනිසුන් රඟදක්වන ආකාරය පමණක් නොව ඔවුන්ගේ චිත්ත චෛතසිකයන් වර නැගෙන ආකාරය ද අස්තිත්වය කිරීමට පෘතුගාලයේ නොබෙල් සාහිත්‍යලාභියා විශ්ව සාහිත්‍යයට එක් කිරීමට ගිය මෙකී කෘතිය සැබැවින්ම සඳහටම අන්තර්ධාන වූවා නම් අපේ කාලයේ ශ්‍රේෂ්ඨ ලේඛනයක් පරිශීලනය කිරීමේ මහඟු අවස්ථාව සහමුලින්ම පාහේ අපට අහිමි වී යනු ඇත . නමුත් වාසනාවකට එය එසේ වූයේ නැත .

පසුකාලීනව මෙම අත්පිටපත යළි සරමාගෝට ලැබුණ විට ඔහු එය මුද්‍රණය කිරීම ප්‍රතික්ෂේප කරන්නට ඇත්තේ මීටත් වඩා සාරවත් ලේඛන ඔහු තම ලේඛන දිවිය තුළදී උත්පත්තියට ගෙන ආ බවට වූ සවිඤ්ඤාණික බවෙන් මිස අන් කිසිවක් නිසාවත් නොවන්නේ යැයි සිතන්නෙමු.

ඉතිං, අවසාන වශයෙන් ඔබට යමක් කියන්නේ නම්… ඔබ තවමත් මෙම කෘතිය කියවා නොමැති නම් එය සොයාගෙන කියවා බලන්න. නිසැකවම එය ඔබට සුවදායී සති අන්තයක් උදා කර දෙනු ඇත .

සටහන
බාසුරු ජයවර්ධන  

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan