*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ජනතාවට වගකීමකින් යම් සේවයක් කිරීමේ අරමුණින් ඉන්දියානු සංචාරය යොදා ගත්තා – විජිත හේරත්

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 11 කොළඹ (LNW): අද දින (11) ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් පැවති අතර, එහිදී ඉන්දියාවෙන් කළ ආරාධනයක් අනුව ජාතික ජන බලවේගයේ නායකත්වය ඇතුලු කණ්ඩායම පසුගිය දා නිමකළ සංචාරය පිළිබඳව ජනතාවට පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පවත්වනවන බවත්, ඉන්දියානු ආණ්ඩුව මේ ආරාධනය කළේ හදිසියේ නොවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටී.

තවදුරටත් ඔහු පැවසූවේ, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නිල වශයෙන් මේ ආරාධනය කළත්, ඔවුන්ගේ දේශපාලන කටයුතු අතර කාලසටහනක් හදා ගන්න යම් කාලයක් ගත වුණ බවද පැවසීය.


විජිත හේරත් මහතා මහතා වැඩි දුරටත් පැවසූවේ,

” ඉන්දියාවෙන් කළ ආරාධනයක් අනුව ජාතික ජන බලවේගයේ අප යෙදුණු සංචාරය පිළිබඳව ජනතාවට පැහැදිලි කරන්න මෙම මාධ්‍ය හමුව පවත්වනවා. ඉන්දියානු ආණ්ඩුව මේ ආරාධනය කළේ හදිසියේ නොවෙයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නිල වශයෙන් මේ ආරාධනය කළත්, අපේ දේශපාලන කටයුතු අතර කාලසටහනක් හදා ගන්න යම් කාලයක් ගත වුණා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් අප ඉන්දියානු ආණ්ඩුවට පෙබරවාරි මාසයේ මුල ගමනට සූදානම් බව දැන්වූවා. අපට ලැබුණේ දින දහයක ආරාධනයක් වුවත්, අපේ පැත්තෙන් දින පහකට සීමා කිරීමට සිදුවී ඇති බව දැන්වූවා. ඒ නිසා මේ ගමන කිසිසේත්ම හදිසියේ යොදා ගත් එකක් නොවෙයි. ඉන්දියාව කියන්නේ මේ කලාපයේ අපේ ආසන්නතම රට. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කලාපීය සහයෝගීතාව ගොඩනඟා ගැනීමේදී මේ ගමන අපට ඉතාමත්ම වැදගත් වෙනවා. රටවල් දෙක අතර සබඳතා ගොඩනඟා ගැනීමත් අපට ඉතාමත්ම වැදගත්.

ජාතික ජන බලවේගය මේ රටේ ජනතාවත් සමඟ විශාල දේශපාලන ජයග්‍රහණ ලබා ගනිමින් සිටින අවස්ථාවක කලාපයේ අසල්වැසි ඉන්දියා රාජ්‍යයත් එක්ක කිට්ටු මිත්‍ර සම්බන්ධතා ගොඩනඟා ගැනීම රටේ ජනතාවගේ යහපත සඳහා වැදගත් වෙනවා. මේ ගමනේදී විශේෂ හමුවීම් කිහිපයක්ම සිදු වුණා. පළමුවෙන්ම අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා සහ ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවේ විදේශ අමාත්‍ය ජයශංකර් මහත්මා අතර පස්වැනිදා උදේ හමුවීමක් පැවැත්වූවා. එදිනම සවස ඉන්දියානු ජාතික ආරක්‍ෂක උපදේශක, අජිත් දොවාල් මහතා සමඟ සාකච්ඡා පවත්වා රාත්‍රියේදී ඉන්දියානු විදේශ ලේකම් විනයි මෝහන් මහත්මා සමඟ නිල සාකච්ඡාවක් සහ සුහද සාකච්ඡාවක් පැවැත්වූවා. පළමු දිනයේදී විදේශ අමාත්‍යවරයා, විදේශ ලේකම්වරයා සහ ජාතික ආරක්‍ෂක උපදේශකවරයා හමුවුණා.

ඉන් අනතුරුව ගුජරාට් ප්‍රාන්ත සංචාරයේදී එහි මහ ඇමැති භූපෙන්ද්‍රභායි පටේල් මහතාත්, ඒ වාගේම එම ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය බල්රාජ් සිං රාජ්පුත් මහතාත් ප්‍රාන්ත විධාන සභාවේදී මුණගැසී දෙපාර්ශ්වය සාකච්ඡා කළා. පසුව කේරළ ප්‍රාන්තයේ කර්මාන්ත ඇමැති රාජීව් මහතා හමුවුණා. එහි ඉන්දියානු මාක්ස්වාදී කොමියුනිස්ට් පක්‍ෂය බලය හොබවනවා. ඉන්දියානු මාක්ස්වාදී කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් සීතාරාම් යෙචුරි මහතාත් හමුවී සාකච්ඡා කළා. මේ සෑම මුණගැසීමකදීම දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගීතාව ඇති කර ගැනීම, කලාපීය ආරක්‍ෂාව තහවුරු කර ගැනීමේදී රටක් විදියට අප කටයුතු කරන්නේ කොහොමද? ඉන්දියාව පැත්තෙන් කටයුතු කරන්නේ කොහොමද සහ දෙරට අතර සහයෝගීතාවෙන් ආර්ථික, සංස්කෘතික සබඳතාවන් ශක්තිමත් කර ප්‍රවර්ධනය කිරීම ගැන අදහස් හුවමාරු වුණා. ඉන්දියානු ප්‍රාන්තවල සංවර්ධනය පිළිබඳව නිරීක්‍ෂණය කිරීමේදී කර්මාන්ත කිහිපයක සහ තොරතුරු තාක්‍ෂණ සේවා ආයතන කිහිපයක නිරීක්‍ෂණයට එක් වූවා. ඉන්දියානු ටාටා සමාගම, අමූල් ආයතනයේ කර්මාන්ත නිරීක්‍ෂණයට සහභාගී වූ අතර තාක්‍ෂණික උද්‍යාන පිළිබඳව නිරීක්‍ෂණය කළා. අයි.ටී. තාක්‍ෂණයෙන් ඉන්දියාව ලබා තිබෙන දියුණුව පිළිබඳව අදාළ ආයතනවල නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගත්තා.

මේ අතර, අපේ ඉන්දියානු සංචාරය පිළිබඳව රට තුළ විවිධ අය විවිධ අදහස් දක්වා තිබුණා. ඒ ගැන අපට සතුටුයි. ඕනෑම කෙනකුට ඔවුන් දකින ආකාරයෙන් අපේ ගමන පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමේ අයිතිය තිබෙනවා. නමුත්, දේශපාලන ව්‍යාපාරයක් හැටියට අප ලෝක භූ දේශපාලනය තේරුම් ගත් දේශපාලන ව්‍යාපාරයක් බව අවධාරණය කරනවා. එයට අනුව එක් එක් අය කියන කතා සලකන්නේ නැහැ. ජනතාවට වගකීමකින් යම් සේවයක් කිරීමේ අරමුණින් ඒ ඉන්දියානු සංචාරය යොදා ගත්තා.

සෝවියට් සමාජවාදී කඳවුර අසූව දශකයේ අගභාගයේ බිඳවැටීමෙන් පසුව ලෝක දේශපාලන තත්වය වෙනස් වුණා. එයට පෙර තිබූ ඇමරිකාව ප්‍රමුඛ කඳවුර සහ සෝවියට් දේශය ප්‍රමුඛ දේශපාලන කඳවුරේ ද්විදේශපාලන බලය බිඳවැටී යම් කාලයක් ඒකධ්‍රැවීය තත්වයක පැවතුණා. ඉතාමත් කෙටි කාලයකින් ඒ තත්වය වෙනස් වී අද බහුධ්‍රැවීය ලෝක දේශපාලන තත්වයක් ලෙස ඇමෙරිකාව, චීනය, යුරෝපා සංගමය, ලතින් ඇමෙරිකානු කලාපය ආදී විවිධ ආකාරයෙන් බහුධ්‍රැවීය කඳවුරක් නිර්මාණය වෙමින් තිබෙනවා. අසූව දශකයේදී ලංකාවට ඉන්දියාවේ සෘජු මැදිහත් වීමක් තිබුණා. ඉන්දියානු හමුදා පවා ලංකාව ආක්‍රමණය කරන්න පැමිණි බව අප කවුරුත් දන්න ඉතිහාසයයි. ඉන්දු-ලංකා ගිවිසුම මගින් ලංකාවට සිදු කළ බලපෑම ගැන අප දන්නවා. එවැනි මොහොතක ජීවිත පවා පරිත්‍යාග කර මේ රටත්, ස්වෛරීභාවයත් ආරක්‍ෂා කරගෙන තිබෙනවා. ඒ දේශපාලන තත්වය අද සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙන්නේ. චීනය, ඇමෙරිකාව, ඉන්දියාව ලෝක දේශපාලන බල අරගල තරගයේ යෙදී සිටින අතර, ආර්ථික වශයෙන් බංකොළොත් රටක් හැටියට දේශපාලන වශයෙන් කඩාවැටුණු තත්වයක රට ගොඩනැඟීමේ ඉලක්කය සහිතව අපි ක්‍රියා කළ යුතු වෙනවා.

අපේ රටේ ස්වෛරීත්වය රැකගෙන, භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කරමින්, අපි දේශපාලනය කරන්න ඕනෑ. ලෝක බල දේශපාලනයේ ගොදුරක් නොවී රට දිනවීමේ අපේ ස්ථාවරයේ ඉදිරියට යනවා. ඕනෑම රටක් එක්ක ආර්ථික, දේශපාලනික වශයෙන් ගනුදෙනු කරන්න අප පැකිළෙන්නේ නැහැ. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් එක්ක, රුසියාව, චීනය ඇතුළු කඳවුරත් එක්ක වාගේම ඉන්දියාව, ජපානය සහ යුරෝපය, ඕස්ටේ්‍රලියාව, කැනඩාව වැනි ඕනෑම රටක් එක්ක අප රාජ්‍යතාන්ත්‍රික, දේශපාලන සම්බන්ධතා පවත්වනවා. අපේ පාලනයක් යටතේ විවෘතවම ලෝකයේ හැම රටකම රාජ්‍ය පාලනයට සාපේක්‍ෂව අපේ සබඳතා පවත්වනවා. ඒ සියල්ලම අප කරන්නේ රටේ සහ ජනතාවගේ උන්නතිය වෙනුවෙන්. ආර්ථිකයේ උන්නතිය වෙනුවෙන්. භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කර ගනිමින්, එයට කිසිදු ආකාරයකින් හානි වන තීරණයක් අප ඉතිහාසයේ අරගෙනත් නැහැ. අද ගන්නෙත් නැහැ. හෙට ගන්නෙත් නැහැ. ඒ සහතිකය අප මේ රටේ ජනතාවට දෙනවා.

කිසිදු පාර්ශ්වයකට ගැති නොවන හා නෙබැඳුණු ස්ථාවරයක සිට හැම රටක් එක්කම අප ආර්ථික, දේශපාලන සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඉන්දියාව සම්බන්ධයෙනුත් අනුගමනය කරන ඒ ප්‍රතිපත්තිය ගැන කවුරුවත් භය වෙන්න ඕනෑ නැහැ; බිල්ලෝ මවන්න ඕනෑ නැහැ. චීනය සමඟත් විශේෂයෙන්ම චීන කොමියුනිස්ට් පක්‍ෂය සමඟත් ජනතා විමුක්ති පෙරමුණ හැටියට පැහැදිලි, නිරවුල් සම්බන්ධතා පවත්වාගෙන යනවා. එක කඳවුරකට සීමා වී දේශපාලන සම්බන්ධතා පවත්වන දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි, අපි. ආර්ථිකයේ සහ ජාතික ආරක්‍ෂාවේ සහතික වීම පදනම් කරගෙන කටයුතු කරනවා. මේ වන විට බොහෝ රාජ්‍ය ආයතන විකුණන්න ආණ්ඩුව කටයුතු කළත්, ඉන්දියාවට අප අවධාරණය කළේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව කරන විකුණා දැමීම් අප අනුමත නොකරන බවයි. ඉන්දියාවේ අමූල් සමාගම සමඟ සාකච්ඡාවේදී ඔවුනුත් අපට පැහැදිලි කළේ ලංකාව සම්බන්ධයෙන් කිසිදු ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නැති බවයි. තෝරා ගත් විදේශ සමාගම්වලට ආයතන විකිණීම සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රසම්පාදනයකින් තොර, ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමන්ට කැමැති ආයතනයක් තෝරාගෙන කැබිනට් පත්‍රිකා දැමීමේ වැරැදි ප්‍රතිපත්තියට අපි එකඟ නොවන බව පැහැදිලිව ඔවුන්ට පෙන්වා දුන්නා.

ගුජරාට් ප්‍රාන්තය පුනර්ජනනීය විදුලියේ විශාල දියුණුවක් අත්පත් කරගෙන තිබෙනවා. ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුව, මධ්‍යම ආණ්ඩුව සහ පෞද්ගලික අංශය සම්බන්ධ වූ තුනෙන් එක බැගින් ආයෝජනය කළ ටෙන්ඩර් පටිපාටියක් මත ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. සුළං බලයෙන් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් ඩොලර් ශත තුනහමාරකට මිලදී ගන්නා බව ඔවුන් කීවා. ලංකාවේ ආණ්ඩුව ඉන්දියානු සමාගම් සමඟ සුළං බල විදුලි ඒකකයක් ඩොලර් ශත හතහමාරකට මිලදී ගන්න ගිවිසුම් අත්සන් කර තිබුණා. අපේ රටේ ඇමැතිවරු පෞද්ගලික ඩීල්වලට කටයුතු කරමින්, ඉහළ මිලක් නියම කර තිබෙනවා. මේ ක්‍රමවේදයට අප එකඟ නොවන බව පැහැදිලිව පෙන්වා දුන්නා. ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරන නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් ඕනෑම රටකට විවෘත ආයෝජන සඳහා ජාත්‍යන්තර ඉඩප්‍රස්ථා සකසා දෙන බව පැහැදිලි කළා. ආයෝජකයාට සියයට පණහක ලාභයක් සහ රටක් හැටියට අපට සියයට පණහක ලාභයක් ලැබෙන පරිදි ක්‍රියා කරනවා. ඔවුන්ගේ ප්‍රාග්ධනය, තාක්‍ෂණය යොදවන අතර, අපේ භූමිය සහ සම්පත් යොදවනවා. අමූල් සමාගමත් එක්ක කළ සාකච්ඡාවේදී යම් උණුසුම්කාරී තත්වයක් ඇති වුණා. ඔවුන් පැහැදිලි කළේ ඔවුන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමඟ ගනුදෙනු කරන බවයි. ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියාමාර්ගවල වැරැදි ඔවුන්ට භාරගත නොහැකි බව පැවසුවා.

අනුර සහෝදරයා මීට අවුරුදු පහළොවකට විතර කලිනුත් අමූල් සමාගමට ගියා. ගොවීන් දහස් ගණනක් එකතු වී ගොඩනඟා ගත් සමුපකාර ක්‍රමවේදය අධ්‍යයනය කරන්න අනුර සහෝදරයා එක් වුණා. ටාටා ආයතනයේ නැනෝ කාර් නිෂ්පාදනයත් අධ්‍යයනය කළා. අනෙකුත් සංචාරයේ යෙදුණු ප්‍රාන්තවල කෘෂිකර්මාන්තයේ දියුණුව පිළිබඳවත් අධ්‍යයනය කළා. නැනෝ පොහොර ලංකාවට ගෙනැවිත් තිබුණේ ඉන්දියාවේ සමුපකාර ක්‍රමයේ නිෂ්පාදන කර්මාන්තයකින්. ඇමැතිවරු සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ මේ පොහොර ගෙන්වීමේදී විශාල වංචාවක් කළ බව අප කවුරුත් දන්නවා. ඕනෑම රටක ඇමැතිවරු මුණගැසී සාකච්ඡා කිරීම, පෞද්ගලික අංශය සමඟ සාකච්ඡා කිරීම සිදු කළ පමණින් ඒ සියල්ල අප පිළිගන්නේ නැහැ. ඕනෑම රටක හොඳ දේවල් අපට ලබාගෙන බැහැර කළ යුතු දේවල් බැහැර කරනවා. ඒ වාගේම අපේ රටේ ජාතික ආරක්‍ෂාව ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක් නොවන ආකාරයෙන් පවත්වාගෙන යාම අපේ ස්ථාවරයයි. එය බොහොම විවෘතව කලාපීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් යොදා ගන්නා ආකාරය පැහැදිලි කර දුන්නා.

මේ ආකාරයෙන් අප කටයුතු කරන අතර, රෝහිත අබේගුණවර්ධන, කංචන විජේසේකර වාගේ ආණ්ඩුවේ මැති, ඇමැතිවරුන් විවිධ කතා කියා තිබෙනවා. ඔවුන් නිරුවත් වී අවසන්. ඔවුන් නිරුවතින් ඉන්නා අතරේ තව කෙනකු මොන ඇඳුම ඇන්දත් ඔවුන්ට ප්‍රශ්නයක්. එවැනි ඇමැතිවරුන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. රටේ ජනතාව ඉදිරියේ තමන්ගේ හෙලුව වහගන්න අනෙක් අයගේ ඇඳුම් ගැන කතා කිරීමෙන් වැඩක් නැහැ. ඔවුන්ගේ පුංචි පුංචි අවටියල් කතාවලින් බරපතළ දේශපාලන සම්බන්ධතාවලට හානි වෙන්න ජනතාව ඉඩ නොතබන බවත් අප පැහැදිලිව කියනවා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට ලෝකයේ කුමන රටක් සමඟ සබඳතා පවත්වාගෙන ගියත්, රටේ ආරක්‍ෂාවත්, ආර්ථික වෘද්ධිය ගැනත් මුල්තැනෙහිලා කටයුතු කරන බව අපි අවධාරණය කරනවා. මේ රටේ ජනතාවටත් ඒ විශ්වාසය තිබෙනවා. අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් කටයුතු කළ දේශපාලන ව්‍යාපාරයක්. ජනතාවගේ ඒ විශ්වාසය පළුදු කරලත් නැහැ. කිසිදු ආකාරයකින් පළුදු කරන්නේත් නැහැ. ඒ සහතිකය අපි ජනතාවට දෙනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan