*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

සැරයටියෙන් අපි යනෙන තුරා

ගී ඇසුර 24

ප්‍රවීණ ගීත රචක සෝමපාල ලීලානන්දගේත් ප්‍රවීණ සංගීතවේදී සරත් දසනායකගේත් මිත්‍රත්වය වර්ධනය වූයේ “සංගීත මංජරියේ” පදිංචිව සිටි කාලයේ ඉඳන්. කේමදාස මාස්ටර්ගේ සංගීත මංජරිය එදා පිහිටා තිබුණේ පංචිකාවත්තේ ඩ්‍රිබර්ග්ස් මාවතේ. දැන් එය හැඳින්වෙන්නේ ජයන්ත වීරසේකර මාවත නමින්. ඒ දෙදෙනාම සංගීත මංජරියෙන් පිටමං වූ පසු ඔවුන්ගේ නිර්මාණාත්මක සහසම්බන්ධය ගොඩනැගුණේ චිත්‍රපට ඔස්සේ.

මිල්ටන් ජයවර්ධන අධ්‍යක්‍ෂණය කළ “සදහටම ඔබ මගේ” සේන සමරසිංහගේ පළමු චිත්‍රපට නිෂ්පාදනයයි.

එහි සංගීත අධ්‍යක්‍ෂවරයා ලෙස තෝරාගන්නට නියමිතව තිබුණේ එවකට ජනප්‍රිය සිනමාවේ ඉහළින්ම සිටි සංගීතවේදී පී. එල්. ඒ. සෝමපාලවයි. ඒත් සෝමපාල ලීලානන්දගේ අප්‍රතිහත ධෛර්යය නිසා එහි සංගීත අධ්‍යක්‍ෂණය සරත් දසනායක වෙත පවරන්නට සේන තීරණය කළා. ඒ අනුව “සදහටම ඔබ මගේ” චිත්‍රපටය වෙනුවෙන් අමර පෙම් ලතාවේ, පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ, වාසනාව දො​ර ඇරලා බලනවා, දෑසේ මාගේ සැතපෙනා කියන ගීත නිර්මාණය වුණා. චිත්‍රපටය වගේම ගීතත් ජනප්‍රියත්වයේ ජයකොඩි දැම්මා. හෙළ සිනමාවේ නව කවුළුවක් සරත් දසනායක වෙනුවෙන් විවර වෙන්නේ එතැන් පටන්.

සිය මුල් නිෂ්පාදනයේ සාර්ථකත්වයත් එක්ක සේන සමරසිංහ චිත්‍රපට අධ්‍යක්‍ෂණයට පිවිසියා. කස්තුරි සුවඳ, නිල්ල සොයා, ආශා දෑසින්, මල් කැකුළු, චංචල රේඛා යනාදී වශයෙන් ඔහු අධ්‍යක්‍ෂණය කළ සෑම චිත්‍රපටයක්ම සාර්ථක වුණා. ඒ හැම චිත්‍රපටයකම කතාව සෝමපාල ලීලානන්දගේ. සංගීතය සරත් දසනායකගේ. බහුතරයක් ගී ලිව්වෙත් සෝමපාලයි. මේ හැම චිත්‍රපටයකම ප්‍රධාන භූමිකාවට ගාමිණී ෆොන්සේකා පණ පොවද්දී ඔහු වෙනුවෙන් ගී ගැයුවේ මිල්ටන් මල්ලවාරච්චි. චිත්‍රපට ගීත කලාව තුළ එච්. ආර්. ජෝතිපාල හිණිපෙත්තේම සිටි අවධියේ මිල්ටන් පසුබිම් ගායකයෙකු ලෙස තහවුරු වෙන්නෙත් ඔය චිත්‍රපට මාලාව ඔස්සේ.

සේන සමරසිංහ එක දිගටම ගාමිණී ෆොන්සේකා එක්ක චිත්‍රපට කළාට විජය කුමාරතුංග ඔහුගේ හොඳ මිත්‍රයෙක්. සේනගේ රඹුක්කන ගෙදර පැවති විශේෂ සාදවල විජයත් නිත්‍ය නියෝජිතයෙකු වී සිටියා. සිනමා වෙළෙඳපොළ සාර්ථකව දිග්විජය කළ සේන සිය සමීප මිතුරෙකු වූ විජය කිසිම චිත්‍රපටයකට හවුල් කර නොගැනීම පිළිබඳව බොහෝ දෙනා තුළ තිබුණේ ප්‍රබල ප්‍රශ්නාර්ථයක්. ගාමිණී කේන්ද්‍ර කරගත් සේන සමරසිංහගේ හැම චිත්‍රපටයක්ම සාර්ථක වීම නිසා වෙනත් නළුවෙකු ගැන ඔහු හිතල තිබුණේම නැහැ. ගාමිණීට ආදේශක ගේන්න සාධාරණ හේතුවක් තිබුණෙත් නැහැ.

හැබැයි, 80 දශකය තුළ මෙරට ජනප්‍රිය වූ කැසට් පට කර්මාන්තයට සේන අවතීර්ණ වෙද්දී ඔහුගේ තෝරාගැනීම වුණේ විජය. සේන සමරසිංහ “සේසිරි” ලේබලයෙන් ශ්‍රියානි අමරසේන සමඟ එක්ව මුලින් නිෂ්පාදනය කළේ “මංගල නැකත” කැසට් පටයයි. එහි ගී ගැයුවේ චන්ද්‍රලේඛා පෙරේරා. සේන චන්ද්‍රලේඛා හඳුනාගන්නේ ඔහුගේ “යළි හමුවෙන්නයි” චිත්‍රපටයේ පසුබිම් ගායනයට ඇය තෝරා ගැනීමත් එක්ක. එම චිත්‍රපටයට චන්ද්‍රලේඛා ගායනා කළ “ආදරයේ මන්දිරේ වැසුණා වාගේ” ගීතය වෙනුවෙන් සරසවි සම්මාන උළෙලේදී ඇය හොඳම ගායිකාව ලෙස සම්මානයටත් පාත්‍ර වුණා.

මේ කාලේ සේන සමරසිංහ පදිංවි වෙලා හිටියෙ කිරුළපන සිරිපා පාරෙ. ඔහු චිත්‍රපට නිෂ්පාදනයට අමතරව චිත්‍රපට නිෂ්පාදන උපකරණ සහ සංස්කරණ පහසුකම් ලබාදෙන නිෂ්පාදන ආයතනයකුත් “සමරසිංහ චිත්‍රපට” නමින් ආරම්භ කරල තිබුණා. ඒ සඳහා ජපානයට ගිය ඔහු අලුත්ම කාර්මික උපකරණ රැගෙන ආවා. එම කටයුතුවලදී කිලී මහාරාජාත් ඔහුට උදව් කළා. සේන සහ කිලී පුංචි කාලෙ ඉඳන් යාළුවො.

චන්ද්‍රලේඛා පෙරේරාගෙ “මංගල නැකත” කැසට් පටය සාර්ථක වීම නිසා එහි දෙවෙනි කැසට් පටයක් නිෂ්පාදනය කරන්නට සේන කල්පනා කළා. එය “සමරසිංහ චිත්‍රපට” ලේබලයෙන් ජනගත කිරිමයි අරමුණ වුණේ. ඒ වැඩේදි තමයි විජය කුමාරතුංග හවුල් කරගන්නට තීරණය කෙරුණෙ. ඒ අනුව විජය – චන්ද්‍රලේඛා සුසංයෝගයක් විදිහට සිය දෙවෙනි කැසට් පටය නිෂ්පාදනය කරන්නට ඔහු සියලු සැලසුම් ඇරඹුවා.

ඒ ආරංචිය චන්ද්‍රලේඛා පෙරේරාට හීනයක් වගේ වුණා. සුවහසක් සිනමා ප්‍රේක්ෂකයන්ගේ සිහින කුමරා වුණු විජය එක්ක ගී ගැයීමක් ගැන ඇය හිතලවත් තිබුණේ නැහැ. විජයගේ ගීත 03ක්, චන්ද්‍රලේඛාගෙ ගීත 06ක් සහ ඔවුන් දෙදෙනාගේ යුග ගීත 03ක් වශයෙන් තමයි මෙහි සංයුතිය හැදුණෙ. තමන්ගේ හැම වැඩේදිම ළඟින් ඉන්න සෝමපාල ලීලානන්දට ගීත කීපයක් ලියන්න සේන ආරාධනා කළා.

ඔය දවස්වල සෝමපාලට අලුත් ගීතයක් ලියවිලා තිබුණා ඔහු ලත් අත්දැකීමක් මුල් කරගෙන.

පිළියන්දල මාවිත්තර සිය නිවසේ දී දවසක් ඔහු දකිනවා පාරෙ යන මහලු යුවලක්. ගොරහැඩි මනුස්සයෙක් සහ කෙසඟ ගැහැනියක්.

“පොල් කඩනවා … පොල් කඩනවා …”

ඒ මනුස්සයා බෙරිහන් දුන්නා. ඊළඟට ඒ දේම අර කෙසඟ කාන්තාවත් ප්‍රතිරාවය කරනවා. අර මිනිහ ඇයගෙ අතේ තිබුණු හැරමිටියෙ අග්ගිස්ස අල්ලගෙන ඇය පසුපසින් එනවා.

ඔහු අන්ධ මනුස්සයෙක්.

ඇය ඔහුට පාර පෙන්නනවා.

ඔහුට වයස අවුරුදු 70 ක් විතර ඇති. ඇයටත් 65ක් වත් තියෙන්නට ඕන. දෙන්න එදිනෙදා ජීවිකාව සරු කර ගන්නෙ ගහෙන් ගහට ගිහින් පොල් කඩල දීල. මනුස්සය ගස් නගින්න හපනෙක්. ඒත් ගෑණු මනුස්සයගෙ මග පෙන්වීම නැතිව ඔය මොකවත් කරන්න බැහැ. වයසට යනකල්ම ඔවුන් එකිනෙකා යා කරන සබැඳියාව වුණේ අර සැරයටිය. මේ අදහස තමයි සෝමපාල ගීයකට නැගුවෙ.

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමූ

එකම ආදර දාමයකින් බැඳිලා සංසාරෙ පුරා එක ගමනක් ගිහින් අන්තිමට සසරෙන් නික්මීමත් එකට සිදුකිරීමයි සෝමපාලගෙ හිතේ මැවුණු මේ ප්‍රේමවන්තයන්ගෙ පාරමිතාව.

සේන කැසට් එකට ගීත ඉල්ලුවම මුලින්ම ඕක ගිහින් දුන්නා. ඊට පස්සෙ ගීතයට තනුවක් නිර්මාණය කිරීමේ වගකීම පැවරුණේ සරත් දසනායකට. ඔහු තමයි අර කැසට් පටයෙ සියලු ගීත සංගීතවත් කළේ. මේ යුග ගීතයේ සංගීත පථය පටිගත කරල හඬ මුසු කිරීමට දිනයක් යොදා ගන්න ඕන වුණා. ඔය 1984 විතර. විජයට දින නෑ. ඔහුට එක දිගට දේශපාලන රැස්වීම්, සංවිධාන කටයුතු, ෂූටින් කෙළවරක් නෑ. දවසක් සෝමපාල ලීලානන්ද සහ සරත් දසනායක ගීත පටිගත කිරිමේ ප්‍රමාදය වලක්වා ගැනීම ගැන සාකච්ඡා කළා.

“මොකද දසේ කරන්නෙ? විජයව අල්ලගන්න බෑනෙ…”

“ඒක තමයි. බැරිම වුණොත් මිල්ටන්ව තමයි දාන්න වෙන්නෙ”

සරත් දසනායක නිකමට වගේ කිව්වෙ මිල්ටන් මල්ලවාරච්චි ගැන. ඒත් ඊළඟ දවසෙ හදිසියේම විජය කුමාරතුංග සරත් දසනායකට දුරකතන ඇමතුමක් දුන්නෙ මේ කිසිවක් නොදැන.

“දසේ, වොයිසින් වලට දවසක් දෙන්න පුළුවන්”

නුගේගොඩ නෙලූ ශබ්දාගාරයට විජයත් චන්ද්‍රලේඛාත් ආවා. සේන සහ සෝමපාලත් කල් ඇතුවම ඇවිත් හිටියා. ශබ්ද පරිපාලකවරයා මර්වින් බේන්ස්. සරත් දසනායක සිය තනුව ගායන ශිල්පීන් හමුවේ වාදනය කළා. විජය එක පාරයි ඇහුවෙ.

“හරි හරි කියමු”

“විජය අයියෙ, ඔයා මාරයි නෙ. මට මෙලඩිය අහුවුණෙත් නෑ තාම.”

චන්ද්‍රලේඛා තව ටික වෙලාවක් ගත්තා. විජයට අලුත් ගීයක තනුවක් ග්‍රහණය කර ගන්න පුදුම හැකියාවක් තිබුණෙ. ඔහුගේ මතක ශක්තිය ඒ තරම් ප්‍රබලයි.

ජීවන මං පෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමුවූයේ
කටු කොහොලින් පිරි කළල් දියේ මා
තනිව මියෙද්දිය හමුවූයේ

ඔවුන් එකිනෙකා බැඳෙන්නේ අනෙකා සුඛිත මුදිත වූ තත්වයක් යටතේ නෙවෙයි. දැඩි ජීවිත පරිතාපයකින් පීඩා විඳින අවධියක. රචකයාට කියන්නට ඕන වුණේ මේක ආධ්‍යාත්මික බැඳීමක් මිස හුදෙක් ලෞකික සැපතම අපේක්ෂා කරන්නක් නෙවෙයි කියල. වැඩි කරදරයක් නැතිව ගීතය පටිගත කළා. ඒක චන්ද්‍රලේඛාට අමරණීය අත්දැකීමක්. විජය එක්ක කළ පටිගත කිරීමක් නිසා. එදාම කැසට් පටයේ තව ගීත කීපයකටත් හඬ මුසු කෙරුණා.

සැරයටියෙන් අපි යනෙන තුරා” ගීතය ඇතුළත් වූ “මංගල නැකත – 2” කැසට් පටය හැඳින්වුණේ “සුදු දුව” නමින්. කැසට් පටයට විජය ගැයූ කරඹයායේ, ඔබ නෙතු මා හා බන්දා වගේම චන්ද්‍රලේඛා ගැයූ මංගල නැකතින් යන්නට ගීයත් ඔවුන් දෙදෙනාම ගැයූ සැරයටියෙන් අපි සහ පුංචි පැලෙත් මේ කාලේ මාලිගා කියන ගීතත් අතිශයින් ජනප්‍රිය වුණා. ඒ වගේම “මංගල නැකතින් යන්නට සුබ වෙලාව ළංවිය දියණි” ගීය විජය කුමාරතුංගගේ හඬින් වෙනම පටිගත කළත් ඒ ගීය කැසට් පටයට ඇතුළත් වුණේ නැහැ. අරුමය කියන්නෙ අද වෙනකල්ම ඒ ගීය ජනගත වෙලත් නැති එකයි.

සේන සමරසිංහ විජයත් එක්ක පටන් ගත්ත ගීත ව්‍යාපෘතිය සාර්ථක වීමෙන් පස්සෙ ඔහු සමඟ චිත්‍රපට කීපයක් කරන්නත් අරමුණක් තිබුණා. සේන ඒ කාලෙ චිත්‍රපට කළේ අවුරුදු දෙකෙන් දෙකට. අවාසනාව කියන්නෙ සේනගෙ චිත්‍රපටයක විජයට රඟපාන්න හිතන්නවත් ලැබුණෙ නෑ. 1988 පෙබරවාරි 16 වෙනිදා සාහසිකයන් විසින් දේශපාලනික හේතු මත ඔහුට වෙඩිතබා ඝාතනය කර තිබුණා.

© නිලාර් එන්. කාසිම්

පෙර ලිපි:

අම්මා – ජීවන උයන් තෙරේ…

සිල්ප සොඳින් දැනගන්න ගිහින්

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

ඇය යන්න ගියා මැකිලා

පුන්සඳ රෑට

ගමේ කෝපි කඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan