*
Sunday, April 21, 2024
spot_img

Latest Posts

එකම මඟක පියවර මැන යන්නයි

ගී ඇසුර 25

ආනන්ද ගමගේ සංගීතඥයෙකු විදිහට දැඩි ප්‍රසාදයක් හිමිකර ගත්තේ “අඹ යාළුවෝ” ටෙලි නාට්‍යයෙන්. නමුත් ඊට පෙරත් ඔහු නිර්මාණය කළ ජනප්‍රිය ගී නොතිබුණා නෙවෙයි. ආනන්ද ගමගේ මෙරට දහස් සංඛ්‍යාත දරු දැරියන්ට සංගීත අධ්‍යාපනය ලබා දුන් ගුරුවරයෙක්. ඔහු සංගීත ගුරුවරයෙකු විදිහට ගුරු වෘත්තියට පිවිසුණේ 1975 වසරේ.

70 දශකය තුළ කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නට හැකි මාධ්‍ය ලෙස තිබුණේ වේදිකාව, චිත්‍රපටය සහ ගුවන් විදුලිය විතරයි. එම දශකය අග භාගය තෙක්ම ඒ තත්වයයි පැවතුණේ. විවිධ ගී තැටි නිෂ්පාදන සමාගම් කීපයකුත් ඔය කාලයේ පෞද්ගලික මට්ටමෙන් වෙළෙඳ පොළට ගී තැටි නිෂ්පාදනය කළා.

ආනන්ද ගමගේගෙ සංගීත කුසලතාවලට මුලින්ම දොර විවර වුණේ වේදිකා නාට්‍ය කලාවෙන්. වාදකයෙකු සහ සංගීතය මෙහෙයවන්නකු විදියට සුනිල් හොරේෂස්ගෙ “ඇගේ නම රතී”, දයාරත්න රටගෙදරගෙ “ගරු ලිසී”, ලූෂන් බුලත්සිංහලගෙ “තාරාවෝ ඉගිලෙති”, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගෙ “ලෝමහංස” ඇතුළු නාට්‍යවල සජීව වාද්‍ය වෘන්දයන්හි ඔහුගේ වාද්‍ය ශක්‍යතා පිළිබිඹු වුණා. ඉන් අනතුරුව සිල්වර්ලයින් රෙකෝඩ්බාර් අධිපති කෙනත් එල්. සී. පෙරේරා නිෂ්පාදනය කළ “එනතුරා” ගී තැටියේ සියලු ගීත නිර්මාණය කළේ ආනන්ද ගමගේ. එම ගී තැටියට ගීත 4ක් ඇතුළත් වූ අතර එය ගායනා කළේ ජනප්‍රිය සිනමා නිළියක වූ මැණික් කුරුකුලසූරියයි. ඒ අවධිය වන විට චිත්‍රපට නළු නිළියන් ලවා ගීත ගායනය කොට තැටි එළි දැක්වීමේ ප්‍රවණතාවක් තිබුණා. නමුත් එම නළු නිළියන්ගේ ගායන කුසලතාවල සීමා සහිත බව නිසා ඒ ප්‍රවණතාවට වැඩි ආයුෂක් තිබුණේ නැහැ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 1982 දී ආරම්භ වීමත් සමඟ එතෙක් ගුවන් විදුලියට සීමා වී තිබූ සංගීත ශිල්පීන්ගේ ශක්‍යතා සඳහා රූපවාහිනී මාධ්‍යයේද දොරටු පුළුල් ලෙස විවර වුණා. ආනන්ද ගමගේ 1983 පටන් ළමා නාට්‍ය සහ සංගීතමය ළමා වැඩසටහන්වල සංගීත අධ්‍යක්‍ෂවරයෙකු විදියට දායක වුණා. කුමාරතුංග මුනිදාසගේ “හත්පණ” කෘතිය ඇසුරෙන් ශ්‍රීමතී ලියනගේ අධ්‍යත්‍ෂණය කළ “හත්පණ” ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්‍ෂවරයා වූයේත් ආනන්දයි. එවකට ඔහු ගුවන් විදුලි සංස්ථා වාදක මණ්ඩලයේ චෙලෝ සහ ග්ලොතනස්පීල් වාද්‍ය ශිල්පියෙකු ලෙස කටයුතු කළේ ගුරු සේවාවට පරිබාහිරව සවස් කාලයේ. ආනන්ද ගමගේට ප්‍රේමකීර්ති ද අල්විස් නිතර හමුවූයේ රූපවාහිනී සංස්ථාවේ ළමා අංශය මගින් නිෂ්පාදනය කරන ලද “පිය සටහන්” වැඩ සටහන් මාලාවේදී. එහි සංගීත අධ්‍යක්‍ෂවරයා ලෙස ආනන්ද කටයුතු කරද්දී වැඩ සටහනේ පූරකයා වුණේ ප්‍රේමකීර්ති. ඔහු එම වැඩ සටහන ඉදිරිපත් කළේ ළමයින් පිරිසක් පිරිවරාගෙන.

1980 දශකය මැද භාගය වෙද්දි මෙරට කැසට්පට කර්මාන්තය හොඳටම ජනප්‍රිය වෙලයි තිබුණෙ. ප්‍රධාන පෙළේ කැසට්පට නිෂ්පාදකවරුන් ගණනාවක්ම තරගකාරීව කැසට්පට නිෂ්පාදනය කරද්දි ක්ෂේත්‍රයේ නියුතු කලාකරුවන්
කීප දෙනෙකුත් මේ කර්මාන්තයට අවතීර්ණ වුණා. ප්‍රියා සූරියසේන ඒ අතර කෙනෙක්. ඔහු මුලින් ඇන්ටන් ජෝන්ස් සමඟ එක්ව කැසට්පට කර්මාන්තයට පිවිසුණත් පසුව “ලක්‍ෂිත එන්ටර්ප්‍රයිසස්” නමින් තමන්ගේම ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. මේ යටතේ එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු, ඇන්ටන් ජෝන්ස්, පුන්සිරි සොයිසා සහ මර්වින් මිහිඳුකුල වැනි ගායකයන්ගේ කැසට් පට වෙළෙඳ පොළට නිකුත් කෙරුණා.

ආනන්ද ගමගේ මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයේ සිප්සතර ලබන සමයේ ප්‍රියා සූරියසේන ඔහුගේ පාසල් මිතුරෙක්. ප්‍රියාගෙ ගම නාත්තන්ඩිය. ආනන්ද මාදම්පෙ. දෙන්න උසස් පෙළ කළේ සහ ගාන්ධර්ව විභාග වලට පෙනී හිටියෙත් එකට. ප්‍රියා දවසක් තමන් නිෂ්පාදනය කරන කැසට් පටයකට ගීතයක් නිර්මාණය කරල දෙන්න කියල ආනන්ද ගමගේට කිව්ව. යම් රචකයෙකුගේ ගී පද මාලාවකුත් දුන්නා. පදමාලාව කියවූ සැණින් ආනන්දට වැටහුණේ එහි ගීයකට උචිත නිර්මාණාත්මකභාවයක් නැති බවයි.

“මේ වචන ටික හරියන්නෙ නෑ මචං”

“හරි හරි. උඹ කැමති කෙනෙකුට කියල ලියව ගනින්කො.”

ප්‍රියා ලබාදුන් නිදහසත් එක්ක ආනන්ද වහාම ගුවන් විදුලියට ගිහින් ප්‍රේමකීර්ති ද අල්විස් මුණ ගැහුණා.

“ප්‍රේම්, සින්දුවක් ලියා ගන්න ඕනෙ.”

“කව්ද කියන්නෙ?”

“පුන්සිරි !”

ප්‍රියා ගීයක් නිර්මාණය කරන්නට පවරල තිබුණෙ පුන්සිරි සොයිසාගෙ කැසට් පටයකට. ඒ වෙද්දි පුන්සිරිගෙ නොහඬන් ළඳුනේ, සෙව්වන්දියකට පෙම් බැන්දා, සුභා කියා මා, පුන්සඳෙන් රැස්, එගොඩත් මෙගොඩත් වගේ ගුවන් විදුලි ගීත ගණනාවක් ජනප්‍රිය වෙලයි තිබුණෙ.

ප්‍රේම් නළල රැළි ගන්නගෙන මොහොතක් කල්පනා කළා.

“හරි ! උඹ මෙතන කැරකි කැරකි ඉන්න ඕන නැහැ. කැන්ටිමට ගිහින් තේ එකක් බීල මට සිගරට් එකකුත් අරන් වරෙන්.”

ප්‍රේම්, ආනන්දට අණ කළේ එහෙම. වැඩේ කඩිනමින් කරගන්න ඕන නිසා ආනන්ද ගමගේ ගුවන් විදුලි ආපන ශාලාවට ගිහින් තේ එකක් බිව්ව. ප්‍රේම්ට දුම්වැටියකුත් අරගෙන ආපහු එන්න ඔහුට එහෙමට වෙලාවක් ගියේ නෑ.

හරි පුදුමයි !

ආපහු එද්දි ප්‍රේම් අර ගීය ලියලත් ඉවරයි.

ගීතයට ආයුතු තනුව ගැන ආනන්දගෙ හිතේ පූර්ව අදහසක් තිබුණු නිසා එහි මාත්‍රා ගාණත් ප්‍රේම්ට කියල තිබුණ. ඔහු ඒ මාත්‍රා ගාණට සරිලන විදිහටයි ගීතය ලියල තිබුණෙ.

එකම මඟක පියවර මැන යන්නයි
එකම මඟක සෙවණැලි පැටලෙන්නයි
සෙනේ දියෙන් මී විත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි

ආනන්ද ගමගේ මෙහි සංගීත නිර්මාණයෙදි කාෆි සහ භීමපලාසී කියන රාගවල මිශ්‍ර සංගති උපයෝගි කරගත්තා. බොරැල්ල කිංසි පාරෙ බිෂොප් පැලස් වල තමයි සංගීතය පටිගත කළේ. නාද ශික්ෂණය කළේ ඩොනල්ඩ් අයිවන්. ඒ පටිගත කිරීමෙදි වයලින් වාදනය කළේ ප්‍රවීණ ගායන හා වාද්‍ය ශිල්පී මර්වින් පෙරේරා.

පටිගත කළ තනුවට ගායන ශිල්පී පුන්සිරි සොයිසා තුළ ඇතිවුණේ දැඩි ඇල්මක්. ප්‍රේම්ගේ පද මාලාවේ අලුත් බවක් තියෙනව කියලයි පුන්සිරි හැමවිමට කිව්වෙ. ඔහු සංගීත පථයට හඬමුසු කළේ ලොකු උද්දාමයකින්. ගීතය ගැයුවෙ එක වරයි. පටිගත කිරීම අවසන්. ඒ පුන්සිරිගෙ දක්ෂතාව.

වැලේ පිපුණු මල නොවේ වැලට බර
බිඟුන් සරාවී බැලුම් හෙළා
හිතේ රැඳුණු පෙම නොමදෙන් රටකට
මගේ ලොවින් පිට නොයන් පලා

ගීතය ඇතුළත් කැසට් පටය නම් කෙරුණෙ “කෝමළ හසරැලි” නමින්.

කෝමළ හසරැලි වත තවරාගෙන, දෙගුරුන් වෙනුවෙන්, නිසලව තිබු සිත වගේ ගීත ඊට ඇතුළත් වුණා. මේ කැසට් පටය ජනගත වුණේ 1984-85 කාලයෙ. ඒක උණු කැවුම් වගේ අලෙවි වුණා. “එකම මඟක” ගීය විවිධ රසික පරාසයන් අතර පැතිරුණේ කෙටි කලකින්. ඒ ජනප්‍රියත්වයත් එක්ක ශ්‍රීමාලි, රන්සිළු, ජයනන්ද රෙකෝඩ් බාර් සහ සුමියුරු වගේ විවිධ කැසට් නිෂ්පාදකයන් පුන්සිරි සොයිසා හොයාගෙන ආවා. ඔහු එතැනින් පටන් ගෙන කැසට් පට 250 කට විතර එකදිගට ගීත ගායනා කළා. විදේශ රටවල ප්‍රසංග 15 කට විතර සහභාගී වුණා. ඒ දිගු ගමනට සන්ධිස්ථානයක් වුණේ “එකම මඟක” ගීයයි.

ආනන්ද ගමගේ වුණත් 1988 දි “අඹ යාළුවො” ටෙලි නාට්‍යයට කරපු තුඩින් තුඩේ, මල්පිපෙයි දෙනෙත් ඇරෙයි වගෙ ගීතවලට කලින් මේ ගීයෙන් තමයි ක්ෂේත්‍රයේ නොමැකෙන මුද්‍රාවක් තිබ්බේ.

© නිලාර් එන්. කාසිම්

පෙර ලිපි:

සැරයටියෙන් අපි යනෙන තුරා

අම්මා – ජීවන උයන් තෙරේ…

සිල්ප සොඳින් දැනගන්න ගිහින්

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

ඇය යන්න ගියා මැකිලා

පුන්සඳ රෑට

ගමේ කෝපි කඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan