Sunday, November 27, 2022
spot_img

Latest Posts

ලෝක විනාසය අතළඟ ද..? අදාළ නෑනේ!

ඔබ කිතුණු භක්තිකයෙක් නම්, බයිබලයේ ආමගෙදොන් ගැන අහලා ඇති. ආමගෙදොන් (Armageddon) කියන වචනේ තේරුම ම මහා විනාශයකට මුල පුරන යුද්ධයක් කියන එක නේ. ශුද්ධ වූ යොහාන් තුමාගේ හෙළිදරව්ව පොතේ කියවෙනවා ලෝක විනාශය ගැන. බයිබලය අනුව ලෝක විනාශය වෙන්න කලින් රටවල් හතක මහා යුද්ධයක් පටන් ගන්නවා. ඒ යුද්ධෙදී හමුදාව රැස්කරන්නේ ආමගෙදොන් කියන තැනට.

ඇයි මට මේ ආමගෙදොන් මතක් වුනේ? දැන් දවස් දෙක-තුනකට කලිං පුටින් උන්නැහැ යුක්රේනය ආක්‍රමණය කරපු පුවත අහද්දී මට මතක් වුනේ ඕක තමයි. පුටින් යුක්රේනයට ගැහුවේ ඇයි? පුටින් හරි ද? නැත්තම් ඇමරිකාවට කත් ඇදපු යුක්රේනය හරි ද? ඕක තමයි ගොඩක් අය අහන්නේ.‍ අපිට ඕනේ පුටින් වගේ නායකයෙක් කියලා කෑ ගහපු ඈයෝ මොනවා ද දන්නේ නෑ දැන් කියන්නේ.

මට හිතෙන්නේ මෙන්න මෙහෙම දෙයක්..

ඇමරිකාවයි රුසියාව අතරෙයි තියන තරහ අද ඊයෙක එකක් නෙමෙයි කියලා ඔබ ගොඩදෙනෙක් දන්නවා ඇති. ඇමරිකාව තමා සතු බලයෙන් හැකි උපරිම සම්බාධක රුසියාවට දමන බවට කියා තිබුණා. ඔවුන් වෙනස්කොට සැලකීමට විරුද්ධ බව කියා තිබුණා. ඇමරිකාව – රුසියාව – උතුරු කොරියාව – චීනය වගේ රටවල් අතර ගිය වාග්මාලා නාටක ඔබ ගොඩ දෙනෙකුට මතක ඇති. හිටපු ගමන් එක්කෙනෙක් ට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා. හැබැයි ඇත්ත යුද්ධයක් අපි මෑත කාලෙක දැකලා තිබුණේ නෑ.

ගොඩදෙනෙක් කිව්වේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කරපු එක දෙවන ලෝක යුද්ධෙන් පස්සේ යුරෝපීය කලාපයේ ඇතිවුන පළමු සන්නද්ධ අරගලය බව. මේ වෙනකොට ඇමරිකාවත් ඇතුළුව සියලු බටහිර රටවල් මේ පුටින් කරපු දෙයින් කැළඹිලා ඉන්නේ. නේටෝ සංවිධානය සද්ද නෑ, යුරෝපා සංගමය සද්ද නෑ..

යුක්රේනයේ ප්‍රාන්ත දෙකක් වන ලුහාන්ස්ක් සහා ඩොනෙට්ස්ක් රුසියාවට සම්බන්ධවෙන්න කැමැත්තෙන් හිටියා. මේ පිරිස රුසියාවට පක්ෂපාතී වුනත්, එය යුක්රේනයේ බහුතරයක් නෙමෙයි. ඉතා සුළු පිරිසක්. ඒ වගේම මොස්කව් විවිධ අවස්ථාවන් වල නිවේදනය කර තිබුනේත් යුක්රේනය ආක්‍රමණය කරන්න ඔවුනට අදහසක් නැහැ, බෙදුම්වාදීන් සමඟ සටන් කරනවා පමණයි කියලා.

හැබැයි මේ වෙනකොට ඒ සියල්ල උඩුයටිකුරු කරමින් මුලු යුක්රේනයටම ප්‍රහාර දියත් කරන්න රුසියාව කටයුතු කරලා තිබෙනවා. ඒක හරියට අර ගේම් ඔෆ් ත්‍රොන්ස් කතාමාලාවේ, වහල්කම දුරුලලා, පවතින සමාජ ක්‍රමය වෙනස් කරලා, ව්හීල් එක බිඳින්න කියලා සමාජ විප්ලවයක් කරන්න හිතාගෙන පියාඹන මකරුන්ගේ පිටේ ආපු ඩැනේරියස් රැජින අන්තිම මොහොතේ වියරු වැටිලා මුලු කිංග්ස් ලෑන්ඩිං එකම මකර ගිනිජාලා වලින් ගිනිබත් කරා වගේ වැඩක්.

මේ විච්ච දේ අපි පැහැදිලි කරගන්න ඕනේ කොහොම ද? කලාපීය දේශපාලනය, ස්වෛරීභාවය, බලය හා ලෝක බලවතුන් වගේ කතා කියලා මේක විග්‍රහ කරන්න පුළුවන් ද? එහෙම කරලා අපි පුටින් මාමි ගේ පැත්තේ, අපි බයිඩන් මාමි ගේ පැත්තේ කියලා පැත්තක් ගන්න පුළුවන් ද? මට නම් හිතෙන්නේ මෙතන තිබෙන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයක් කියලා. යුද්ධයක් ඇතිවෙන්න වස්තු බීජය වෙන්නේ දේශපාලන කරුණක් වෙන්න පුළුවන්. ඒත් යුද්ධය තනි සිදුවීමක් විදියට හිතුවොත්, එහි ගිනිජාලා වලින් දැවී මිය යන්නේ එක පැත්තක් නෙමෙයි, පැති දෙකමයි!

අද දිවිගලවා ගෙන පලායන්න රුසියානු ප්‍රහාරයෙන් අසරණ වුනු යුක්රේන වැසියන් දඟලනවා; පවතින තත්ත්වය මත පෝලන්තය වගේ පැත්තකට යන එක ආරක්ෂිතයි කියලා ඒ දෙසට ගමන් කරනවා. තව විශාල පිරිසකට ජීවිතය අහිමි වෙලා. මේ වගේම සන්නද්ධ ප්‍රහාරයක් තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයට දියත් කරනවා අපි දැක්කා. අසරණ වුනු ඇෆ්ගන් ජාතිකයන් බුරුතු පිටින් ජීවිතය බේරාගන්න දුවන හැටි අපි දැක්කා.


රුසියානු ආක්‍රමණය පසුපස දේශපාලනය

ඉස්සර යුක්රේනය සෝවියට් දේශය කියන අතිවිශාල රුසියානු කොමියුනිස්ට් රාජ්‍යයට අයත් වූ රටක්. ස්ටාලින් ප්‍රමුඛ කොමියුනිස්ට් පාලනය තුළ කොමියුනිස්ට් මතවාදය ප්‍රචලිත වෙන එකට විරුද්ධව යුරෝපීය රාජ්‍යයන් නේටෝ සංවිධානය බිහිකර ගත්තා. මෙහි අරමුණ වුනේ නේටෝ සංවිධානයේ සාමාජිකත්වය දරන රටකට කොමියුනිස්ට්වාදී සෝවියට් රටකින් ප්‍රහාරයක් එල්ල වුනොත් ඊට එරෙහිව සටන් කිරීම.

90 දශකය ආරම්භයේදී සෝවියට් දේශය කඩා වැටුනා. එතකොට ඉස්කෝලෙ යන මට මතකයි, සමාජවාදය සෝවියට් දේශයේ බිඳවැටුනා කියලා කියනවා පත්තරවල. මේ කාලයේදී පුටින් කියන්නේ තරුණයෙක්. එවකට ඔහු රුසියානු කේජීබී ඔත්තු නිලධාරියෙක්. සෝවියට් දේශයට විරුද්ධව තිබුණු නේටෝ සංවිධානය ගැන ඔහුට තරහක් තියෙන්න ඇති. සෝවියට් දේශය කඩාවැටීම ගැනත් තරහක් තිබෙන්න ඇති.

නේටෝ සංවිධානය සෝවියට් දේශයේ බිඳවැටීම එක්ක එහි පුංචි පුංචි රටවල් පවා තම සාමාජිකත්වයට බඳවා ගත්තා. ඒ අනුව අපිට හිතාගන්න පුළුවන් නේටෝ සංවිධානයට සහාය පළකරපු රටවල් එක්ක පුටින් ට තිබුණු කේන්තිය. පුටින් මෙම ප්‍රහාරය යුක්රේනයට එරෙහිව දියත් කරන්න කලිනුත් බටහිර රටවල් සමඟ පැවති සාකච්ඡාවලදී කියලා තිබුණා නේටෝ සංවිධානයට තවදුරටත් රටවල් බඳවා ගන්න ඕනේ නෑ කියලා. නේටෝ සංවිධානයේ සන්නද්ධ හමුදා නැගෙනහිර යුරෝපයෙන් ඉවත් කිරීම, සෝවියට් කලාපයේ රටවල් ආරක්ෂා කිරීටම බටහිර රටවල් මැදිහත් වීම නතර කළ යුතුයි වගේ කතාත් කියලා තිබුණා.

යුක්රේනය නේටෝ සංවිධානයට බැඳෙන්න ගොඩක් උත්සාහ කළ බව විදෙස් මාධ්‍ය ගණනාවක් ම පහුගිය කාලේ කියලා තිබුණා අපි දැක්කා. ඒ විදියට ගොඩනැඟුනු නිහඬ කේන්තියක උච්ඡතම අවස්ථාවක් විදියට යුක්රේනය බලෙන් අල්ල ගන්න පුටින් මෙම ප්‍රහාරය දියත් කළා කියලා හිතන්න පුළුවන්. පැරණි සෝවියට් මානසිකත්වයෙන් පුටින් තාම පෙළෙනවා කියන එක අපිට උපකල්පනය කරන්න පුළුවන්.

හැබැයි යුක්රේනය කියන්නේ රුසියාවට සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදයක් පවත්වා ගත්තු රටක්. ඒ වගේම යුක්රේනයේ මහා පරිමාණ සම්පත් ප්‍රමාණයක් තිබුණු බවත් කියවෙනවා. මේ අතර, යුක්රේනයේ සංස්කෘතික වටිනාකම් වලින් රුසියාව හා සමීප ඥාතීත්වයක් තිබුණු බවත් කියවෙනවා. මෙම තත්ත්වයත් එක්ක යුක්රේනය යුරෝපා එකමුතු වලට සම්බන්ධ වෙන්න දරපු වෙර පුටින් ට මෙම ප්‍රහාරය දියත් කරන්න තවත් හේතුවක් වෙන්න ඇති.

විසඳුම ප්‍රහාරය ද?

මේ වගේ යුධ තත්ත්ව ඇතිවුනාම, සාමාන්‍යයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මැදිහත් වෙනවා. හැබැයි ආරක්ෂක කවුන්සිලයේ සභාපතිත් රුසියාවම නේද? මට හිතෙන විදියට පුටින් මේ කරපු වැඩෙන් හොඳ ස්වයංවින්දනයක් ලබන්න ඇති. තමාගේ පැවැත්මට තර්ජනයක් වෙනකොට මුලු ලෝකයා ඉදිරියේම දබරැඟිල්ල පෙන්වා තග දැමීමක් කරන්න ඇති. යුරෝපානුවන්ගේ කටවල් වහන්න ඇති. හැබැයි ඒ එක්කම ස්වභාවධර්මයා පුටින්ට මැදැඟිල්ල පෙන්වන බවත් අපි අමතක නොකළ යුතුයි.

ඇයි? මම කලිනුත් කිව්වා වගේ මෙතන බලපාන එකම කරුණ මනුෂ්‍යත්වය පිළිබඳ ගැටළුවයි. විනාශයට, මරණයට, වේදනාවට මනුෂ්‍ය වර්ගයා බයයි. අර්බුද නිර්මාණය කරගන්නේ අපි, අර්බුද නිසා ගැටුම් ඇතිකර ගන්නේ අපි, ඒ ගැටුම් නිසා ඇතිවන විනාශයට බියවන්නෙත් අපි. මේ චක්‍රයේ නිමක් තැති බව පුටින් ට තේරෙන්නේ නැද්ද? පුටින් ට මේ ප්‍රහාරය දියත් කරන්න ඉහත කියපු හේතු බලපාන්න ඇති. එයා කියලා තිබුණා නේ නාසිවාදයෙන් යුක්රේනය මුදවාගන්න ආක්‍රමණය කරන කතාවකුත්. හැබැයි යුක්රේනයේ ජනාධිපතිවරයාම යුදෙව් ජාතිකයෙක්. අතීතයේ පටන් නාසිවාදයේ ලක්ෂණයම යුදෙව්වන් මර්දනය කරපු එක.

මේ වෙලාවේ ඇමරිකාව සහ යුරෝපීය රටවල් රුසියාවට සම්බාධක පනවන්න යන එක ඇරෙන්න යුද්ධ ප්‍රකාශ කරන්න යයි ද කියන එක සැකසහිතයි. මොකද එහෙම ගියොත් මේක තුන්වන ලෝක යුද්ධය බවට පත්වෙන්න පවා ඉඩ තිබෙනවා. මුලු ලෝක ගෝලයේ එක මුල්ලක ඉන්න මයිනා පැටියෙක් වගේ අපි මේ ජීවත් වන ලංකාවටත් ඕක බලපාන්න ඉඩ තියනවා.

රුසියානු ආක්‍රමණයට හේතුව බලය නැමති කාරණයට එල්ල වුනු තර්ජනය වෙන්න ඇති. නමුත් බලය යනු වසංගතයක් බව අපි අවබෝධ කරගත යුතුයි. පහුගිය කාලේ මුලු ලෝකයක් ම වසංගතයකින් පීඩා වින්දා. අපේ මානසික සෞඛ්‍යය හොඳටම පිරිහුනා. ප්‍රශ්න වලට විසඳුම යුද්ධය නෙමෙයි. ආධිපත්‍යය පෙන්වා ලබා ගන්නා බලය තුළ සතුටක් ඉතිරිවන්නේ නැහැ. පුටින් ට මේ කලාපීය ගැටලුව විසඳගන්න ඕන තරම් විකල්ප තිබුණා. පුටින් මේ කරන වැඩෙන් (අර ඩැනේරියස් රැජිනට වුනා වගේ) ඔහුට ඔහුගේ පාලනයම අහිමි වී ගියහොත් – එයින් අනෙකුත් යුරෝපීය රටවල් ද අවි අතට ගන්නා තත්ත්වයකට පත්වුනොත්, දේශපාලනයක් තියා හයක් හතරක් නොතේරෙන තවත් කිරිසප්පයන් ලක්ෂ ගානකට එයින් ජීවිතයෙන් වන්දි ගෙවන්නට වේවි.

හැබැයි ශ්‍රී ලාංකිකයන් හැටියට මේ සිදුවීම ගැන අපිට විඥාණයක් තිබෙනවා ද? ලංකාවේ ඉතාම සීමිත පිරිසක් මේ ගැන කතා කරනවා. ඒත් අනිත් හැම එක්කෙනාම කියන්නේ නිකං අපි මධ්‍යස්තයි වගේ ඇඟ බේරගන්න කතා ටිකක්. අපි ගොඩ දෙනෙක්ට මේ ගැන ගානක් වත් නෑ නේද? ඇහුවොත් අදාළ නෑ නේද?

නැත්තම් ඒකත් චීනයෙන්ම අහලා කියමු ද? චීනෙට කොහොමත් නොවිසඳ ගත්ත කොමියුනිස්ට් මලක් තියනවා නේ රුසියාව එක්ක!

ප්‍රමෝද් චින්තක පීරිස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.