සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 14, (LNW)කොළඹ
ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙන් පවත්වනු ලබන සිව්දින සුපර් ලීග් තරගාවලියේ පළමු තරග ආරම්භ වෙද්දී පළමු දිනය නිමාවේ මේ වසරේ පළමු ශතක වාර්තාව නිපුන් ධනංජයට සහ අවිශ්ක ප්‍රනාන්දුට හිමි වුණා.ම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අතර තරගයේදී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ඉණිම ආරම්භ කළ නිපුන් ධනංජය දිනය නිමාවන විට නොදැවී ලකුණු 135 ක් ලබා ගෙන සිටියා.
කොළඹ සහ යාපනය කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවත්වෙන සිව් දින තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන කොළඹ කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 144 ක් රැස් කරනු ලැබුවා.මෙම ඉණිම් දෙක නිසා ගාල්ල කණ්ඩායම දිනය නිමාවන විට මහනුවර කණ්ඩායමට එරෙහිව කඩුුලු 4 ක් දැවී ලකුණු 336 ක් රැස් කරගෙන සිටි අතර කොළඹ කණ්ඩායම යාපනය කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක් දැවී ලකුණු 374 ක් රැස් කර ගැනීමට සමත්ව සිටිනවා.බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට සූරතාවය දිනා දීම වෙනුවෙන් පන්දුවෙන් විශාල වැඩ කොටසක් කළ ජෙෆ්රි වැන්ඩර්සේ මේ තරගාවලියටද එම හුස්මෙන්ම තරග කරන බව පෙන්වමින් ඊයේ දිනය නිමා වන විට කොළඹ කණ්ඩායමේ දැවී ගිය කඩුලු හතෙන් 4 ක් ම යාපනය කණ්ඩායමට ලබා දීමට සමත්ව සිටියා.
මෙම තරගාවලියට විශේෂිත කණ්ඩායම් තෝරා ගැනීමේදී කොළඹ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ චරිත් අසලංකටයි.ජනිත් ලියනගේ යාපනය කණ්ඩායමට නායකත්වය දෙනු ලබනවා.ගාල්ල කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පසිඳු සූරියබණ්ඩාරට පැවරී තිබෙනවා.සහන් ආරච්චිගේ මහනුවර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දරනවා.දඹුල්ල කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ ධනංජය ද සිල්වා යි.
පුහුණුකරුවන් ලෙස කොළඹ කණ්ඩායම සමඟ පියල් විජේතුංග එක් වී සිටින අතර ඔහුගේ සහයට ධම්මික සුදර්ශණ නම් කර තිබෙනවා.යාපනය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු උපුල් චන්දනයි.තමර අබේරත්න සහය පුහුණුකරු ලෙස නම් කර තිබෙනවා.දර්ශන ගමගේ ගාල්ල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දරන අතර සහය පුහුණුකරු ලෙස සචිත් පතිරණ කටයුතු කරනු ලබනවා.තිළිණ කණ්ඩම්බි දඹුල්ල කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරු ලෙස දායක වී සිටින අතර චමිල ගමගේ ඔහුගේ සහය පුහුණුකරුයි.මහනුවර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දරන්නේ අවිශ්ක ගුණවර්ධනයි.සහය පුහුණුකරු ලෙස සජීව වීරකෝන් කටයුතු කරනු ලබනවා.
මේ කණ්ඩායම් නම් කිරීමේදී අවධානය යොමු කළ යුතුව තිබුණු,එහෙත් අවධානයට ලක් නොවුණු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් දැකිය හැකියි.විශේෂයෙන්ම පළමු පෙළ සූරයන් වූ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ක්‍රිඩකයන් මෙහිදී දකින්නට ලැබෙන්නේ අඩුවෙන්.ඒ අතර අවසාන තරගයේදී රොන් චන්ද්‍රගුප්ත තරමටම වටිනා ඉණිම් දෙකක් ක්‍රිඩා කළ 21 හැවිරිදි අසිත වන්නිනායක අමතක වි ගොස් තිබීම කණගාටුදායක තත්ත්වයක් ලෙස ගත හැකියි.එසේම ඒෂාන් මාලිංග ගේ නම ද මේ තෝරා ගත් කණ්ඩායම් අතර දකින්න නොලැබීම ගැටළු සහගතයි.එසේම ප්‍රමෝද් මධුශාන් ද මේ කණ්ඩායම්වල දකින්න නැහැ.
තරගාවලිය වෙනුවෙන් සැකසෙන ක්‍රීඩා පිටි දඟ පන්දු යැවීමේ පාරාදීස ලෙස පවත්වාගෙන යාමේ උවමනාව මත මෙවැනි වේග පන්දු යවන්නන්ට සමහර විට මේ කණ්ඩායම් ඇතුළත ඉඩක් නොලැබුණා විය හැකියි.එහෙත් එම තත්ත්වය පොළවේ සිටම වෙනස් කර විශේෂයෙන් පිතිකරණයේදී දඟ පන්දුවට මෙන්ම වේග පන්දුවට ද උචිත වන ආකාරයේ මිශ්‍ර ප්‍රතිපල ඇති කරන තණතීරු සැකසීම ගැන කල්පනා කරන්නේනම් එය අනාගත ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත් වනු ඇතැයි සිතිය හැකියි.
එසේම මේ කණ්ඩායම් නම් කරන ප්‍රදේශවලට ඒ ප්‍රදේශ ඇසුරෙන් එක නියෝජනයක් හෝ ලැබෙන ආකාරයට කණ්ඩායම් ක්‍රියාත්මක කළ හැකිනම් එය ප්‍රාදේශිය ක්‍රිකට් සංවර්ධනය හරහා ජාතික තලයට එම ප්‍රදේශවල ක්‍රිකට් රැඟෙන ඒමට ලැබෙන විශාල ආශිර්වාදයක් විය හැකියි.එහිදී කණ්ඩායම් රොඳ බැඳීමේදී එක් කණ්ඩායමක් වෙල්ලස්ස දෙසට විහිදෙන්නේනම් වැදගත් වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කළාප ලෙස පළාත් කිහිපයක් හසුවන සේ සකසා ඇති සිතියමට අනුව කණ්ඩායමට ක්‍රීඩකයෙකු ප්‍රාදේශිය අනන්‍යතාවය ඇතුළත රැඟෙන ඒමේදී ප්‍රධාන පෙළේ පාසල් ක්‍රිකට් ක්‍රීඩා නොකරන ප්‍රදේශයකට එම අවස්ථාව දීම ද වැදගත් වනු ඇති.
