රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීම නිසා මහවැලිය වැනි ව්‍යපෘති 100ක් ඉදිකළ හැකි මුදල් විනාශ වී ගියා – ජනපති

Date:

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට දේශපාලනඥයින් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට සිහින දුටුව ද, ඇතැම් දේශපාලන ව්‍යාපාරවල තීන්දු තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට පසුගිය 75 වසර තුළ සිදු වූ විනාශය අතිමහත් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ඊයේ (22) පස්වරුවේ පැවති දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ 71වන ගුණ සමරු වැඩසටහනට එක් වෙමිනි.

ශක්තිමත් හා බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සේනානායක උරුමය ඉදිරියට ගෙන යා යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර කොල්ලුපිටිය, පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ති ආරාමාධිපති ආචාර්ය පූජ්‍ය බණ්ඩාරවෙල විමලධර්ම ස්වාමීන් වහන්සේ විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීම නිසා පසුගිය දශකවලදී මහවැලිය වැනි ව්‍යපෘති 100ක් පමණ ඉදිකිරීම සඳහා තිබු මුදල් විනාශ වී ගිය බවයි. ඉදිරියේදී රාජ්‍ය අංශය ව්‍යාපාර වලින් ඉවත්ව, එය පෞද්ගලික අංශයට විවෘත කර නිදහස් හා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ දැක්ම වුයේ ද නිදහස් ආර්ථිකයක් ඇති කිරීම බව සිහිපත් කළ ජනාධිපතිවරයා ව්‍යාපාර සිදුකළ යුත්තේ පෞද්ගලික අංශයෙන් බවත්, එයින් ලබා ගන්නා බදු ආදායමින් රට සංවර්ධනය කළයුතු බව එතුමාගේ දර්ශනය වූ බවත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක, රෝහිත බෝගොල්ලාගම, කරුණාසේන කොඩිතුවක්කු, රුක්මන් සේනානායක, කොළඹ හිටපු පුරපති රෝසි සේනානායක, එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි, හිටපු පළාත් සභා මන්ත්‍රී ශාන්තිනි කෝන්ගහගේ, යුද හමුදාපති ලූතිනන් ජනරාල් විකුම් ලියනගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි මාධ්‍ය මර්දනය කරන්නේ නෑ. හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න – නි. ඇමති සුන්දරලිංගම්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පහුගිය කාලේ මාධ්‍ය මර්දනය කල, මාධ්‍ය ආයතන...

ආපදාවෙන් ධීවර කේෂ්ත්‍රයේ සිදු වූ හානිය තක්සේරු කිරීමට නව වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: ආපදාවෙන් ධීවර කේෂ්ත්‍රයේ සිදු...

2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : 2026 වර්ෂය අදාළව...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...