Wednesday, May 31, 2023
spot_img

Latest Posts

මහ බැංකු පොලී වෛරසයේ නව ප්‍රභේදය බැංකු අර්බුදයක් ද? තැන්පතු මුදල්වල ආරක්ෂාව කුමක් ද?

මේ දිනවල දියුණු වෙළෙඳපොළ ආර්ථිකයන් පවතින සංවර්ධිත රටවල් ඇතුළු ලෝකය පුරා ඉදිරියේ දී බැංකු අර්බුදයන් හට ගත හැකි බවට, මූල්‍ය විද්වතුන් විසින් නිරන්තරයෙන් අනතුරු ඇඟවීම කෙරේ. එහෙත්, මහ බැංකු සහ මුදල් බලධාරීන් විසින් පවසන්නේ, බැංකු පද්ධතිය ශක්තිමත් (Strong) බවත්, එය ආතතීන්ට ඔරොත්තු දීමේ හැකියාවකින් යුක්ත (Resilient) බවත් ය. අතීත බැංකු අර්බුදයන් දෙස බැලීමේ දී, අර්බුදයන්ට පෙර එවැනි ප්‍රකාශයන් කිරීම ඔවුන්ගේ සාමාන්‍ය හැසිරීම යි.

මෙම අනතුරු ඇඟවීම්වලට මූලික හේතුව, 2022 වර්ෂය ආරම්භයේ සිට මහ බැංකු විසින් වේගයෙන් පොලී අනුපාතයන් ඉහළ දමමින්, ණය සහ මුදල් ප්‍රසාරණය පහළ දැමීමට ක්‍රියා කිරීම තුළින් බැංකු ව්‍යාපාරික කටයුතු කෙරෙහි ඇති වෙමින් පවතින ආතතීන් සහ කම්පනයන් ය. දශක හතරකින් පසු මුහුණ දෙන අධිඋද්ධමනය පාලනය කිරීම සඳහා එසේ කෙරෙන බව සෑම මහ බැංකුවක් විසින් උදේ සවස ජප කරන මන්ත්‍රය වී ඇත.

එබැවින්, මේ කෙටි ලිපියේ අරමුණ වන්නේ, මහ බැංකු විසින් නිසි දැනුවත් බවකින් ක්‍රියාත්මක කෙරෙන මෙවැනි මූල්‍ය ප්‍රතිපත්ති හේතු කොට බැංකු අර්බුදයට පත් වීමේ දී, බැංකු තැන්පතු හිමියන් ආරක්ෂා කිරීම ද මහ බැංකු සහ රජයන්ගේ වගකීම බව පෙන්වා දීම යි. 

ඊට හේතුව, රටවල මූල්‍ය ස්ථායිතාවය සඳහා බැංකු අධීක්ෂණ සහ නියාමන වගකීම ද මහ බැංකු සහ රජයන් විසින් දරන බැවිනි. එනම්, උද්ධමනය පාලනය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තියත්, මූල්‍ය ස්ථායිතාවය ආරක්ෂා කිරීම සඳහා බැංකු අධීක්ෂණය සහ නියාමනයත්, මහ බැංකු සහ රජයන් සතු ප්‍රතිපත්ති හස්තයන් දෙක වීම යි.

එබැවින්, එක් හස්තයක් අක්‍රියව තබා ගෙන (එනම්, බැංකු අධීක්ෂණය සහ නියාමන හස්තය),  අනෙක් හස්තය පමණක් (එනම්, මූල්‍ය ප්‍රතිපත්ති පොලී අනුපාත හස්තය) ක්‍රියාත්මක කිරීමෙන්, මහජනයා කෙරෙහි ඇති වන ආදීනවයන්ට ඔවුන් වගකිව යුතුය. 

බැංකු ව්‍යාපාරික කටයුතුවල මූලික ස්වරුපය 

සෑම බැංකුවකම ව්‍යාපාරය වන්නේ ඉතා කෙටි කාලීන තැන්පතු ලබා ගෙන, එම මුදල් ඊට වඩා වැඩි කාලීන ණය සැපයීම තුළින් ලාභ ලැබීම යි. තැන්පතු සඳහා ගෙවන පොලියට වඩා වැඩි පොලී මුදල් ණය සඳහා අය කිරීම මගින් ලාභ ලබා ගනී. එබැවින්, තැන්පතු හිමියන්ගේ මුදල් බැංකු සේප්පුවල නොමැත. එහෙත්, ඉන් සුළු ප්‍රතිශතයක් පමණක් බැංකුවේ එදිනෙදා ගෙවීම් සඳහා සංචිත ලෙස තබා ගැනේ. එය ප්‍රමාණවත් නොවන අවස්ථාවල මහ බැංකුවෙන් සහ මුදල් වෙළෙඳපොළෙන් කෙටි ණය ලබා ගැනේ.

බැංකු විසින් ණය දීමේ දී, අවශ්‍ය ඕනෑම අවස්ථාවක මුදල් ආපසු ලබා ගත හැකි රාජ්‍ය සුරැකුම්පත් සහ වෙළෙඳ බිල්පත් වැනි ණය ප්‍රමාණයක් ද ලබා දීම සාමාන්‍ය පිළි වෙත යි. මෙම ණය ද්‍රවශීල වත්කම් ලෙස හැඳින් වෙයි. හදිසි මුදල් අවශ්‍යතාවයක දී බැංකු විසින් මෙම වත්කම් මුදල් වෙළෙඳපොළේ අළෙවි කොට හෝ උගස් කොට මුදල් සපයා ගනී. මෙය පුද්ගලයන් විසින් රත්රන් තබා ගැනීමට සමාන ක්‍රියාවකි.

යම් හෙයකින් බැංකු අලාභයන්ට මුහුණ දෙන විට, එය බැංකුවේ අයිතිකරුවන් විසින් සැපයෙන ප්‍රාග්ධනය හෙවත් කොටස් අරමුදල්වලින් පියවා ගත යුතුය. ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් බැංකුවේ නොමැති නම්, බැංකුව බුන්වත් හෝ බංකොලොත් වනු ඇත. බුන්වත් වීම යනු බැංකුවේ තැන්පතු වගකීම් වටිනාකමට වඩා ණය සහ වත්කම් වටිනාකමට පහළ යාම යි. එහි අදහස වනුයේ තැන්පතු ආපසු ගෙවීම සඳහා ප්‍රමාණවත් මුදල් වත්කම් බැංකුවේ නොමැති බව යි.

එසේ බැංකුවක් බුන්වත් වීමට ප්‍රධාන හේතු දෙකක් බලපානු ඇත. එනම්, බැංකුව විසින් ලබා දී ඇති ණය ආපසු ගෙවීම පැහැර හැරීම සහ බැංකුවේ ද්‍රවශීල වත්කම්වල වෙළෙඳපොළ මිල/වටිනාකම පහළ යාම යි. එසේම, බැංකුවක දුෂ්කළමනාකරණය සහ විශාල මුදල් වංචාවන් ද බුන්වත් වීමට හේතු විය හැකිය. එබැවින්, බැංකු යනු ඉතා අවදානම්කාරී ව්‍යාපාරයකි.

උගත යුතු පාඩම – තැන්පතු හිමියන්ට තම තැන්පතු ආරක්ෂා කර ගැනීම සඳහා බැංකුවේ කළමනාකරණයට මැදිහත් විය නොහැකි බැවින්, ඔවුන්ට ඇති  එකම විකල්පය වනුයේ බැංකුව හෝ බැංකුවේ ඇති තම මුදල්වල ආරක්ෂාව  පිළිබඳ ව සැකයක් ඇති වූ විට තම මුදල් ආපසු ගැනීම පමණි. 

බැංකු අධීක්ෂණ සහ නියාමන මන්ත්‍රය

නියාමනය යනු ව්‍යාපාරික කටයුතු කිරීමේ දී පිළි පැදිය කළ යුතු කොන්දේසි පැනවීම යි. අධීක්ෂණය යනු එම කොන්දේසි පිළි පැදීම සහ ව්‍යාපාර කටයුතු කළමනාකරණය කෙරෙන ආකාරය පිළිබඳ ව සොයා බලා කලින් කලට හට ගන්නා ගැටළු විසඳීමට ක්‍රියා කිරීම යි.

බැංකු ව්‍යාපරික කටයුතු පිළිබඳ ව මහ බැංකු ඇතුළු බැංකු අධීක්ෂණය සහ නියාමන අධිකාරීන් විසින් නිරන්තරයෙන් මහජනතාව වෙත ජප කෙරෙන මන්ත්‍රයෙහි ප්‍රධාන පද කිහිපයක් පවතී.

  • බැංකු යනු අවදානම්වලට මුහුණ දෙන ව්‍යාපාරයන් වන අතර ඒවායේ සාර්ථකත්වය සහ ස්ථායිතාවය රඳා පවතින්නේ, බැංකු අධ්‍යක්ෂක මණ්ඩල, කළමණාකාරිත්වය, අයිතිකරුවන් සහ ගනුදෙනු කරුවන් විසින් බැංකු මුහුණ දෙන අවදානම් කළමනාකරණය කෙරෙන ආකාරය මත බව.
  • බැංකු අධීක්ෂණය සහ නියාමනය තුළින් බැංකුවල සුරක්ෂිත භාවය පිළිබඳ ව සහතික නොකෙරෙන බවත්, එමගින් බැංකුවල අවදානම් කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීම, කොන්දේසි පැනවීම, මාර්ගෝපදේශයන් ලබා දීම, ඒවා අධික්ෂණය කිරීම සහ අර්බුදයට පත් වන බැංකු  පිළිබඳ නිරාකරණ පියවර ගැනීම තුළින් බැංකුවල විචක්ෂණ භාවය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කෙරෙන බව.
  • මුදල් ආයෝජන කළමනාකරණය පිළිබඳ ව සාක්‍ෂරතාවය අඩු කුඩා තැන්පතු හිමියන් ආරක්ෂා කිරීම සඳහා තැන්පතු රක්‍ෂණය ක්‍රියාත්මක කෙරෙන අතර අනෙක් තැන්පතුවල අවදානම තැන්පතු හිමියන් විසින් කළමනාකරණය කර ගත යුතු බව.

එහෙත්,  රජයේ අධීක්ෂණය සහ නියාමනය යටතේ බැංකු ක්‍රියා කරන බවට මහජනයා අතර පවතින අවබෝධය හේතු කොට බැංකු කෙරෙහි මහජන විශ්වාසය පවතින බැවින් බැංකුවලට හදිසි බිඳ වැටීම් නොමැතිව ව්‍යාපාර කටයුතුවල නිරත වීමේ හැකියාව ලැබී ඇත. එහෙත්, බැංකු අධීක්ෂණය සහ නියාමනය කෙරෙන ආකාරය හෝ එමගින් ඇති ඵල ප්‍රයෝජන හෝ කිසිවක් පිළිබඳ ව කිසිම දැනුමක් මහජනතාවට නොමැත. අනවසර මූල්‍ය ආයතනයන් කඩා වැටීමේ දී පවා තැන්පතු හිමියන් විසින් රජයට අපවාද නගන්නේ එබැවිනි.

උගත යුතු පාඩම – මහ බැංකු සහ අනෙකුත් බැංකු අධීක්ෂණ සහ නියාමන ආයතනයන්ට බැංකුවල හෝ තැන්පතු මුදල්වල ආරක්ෂාව සහතික කළ නොහැකිය.

මහ බැංකු විසින් වේගයෙන් පොලී අනුපාතයන් ඉහළ දැමීම තුළින් බැංකු බුන්වත් වන ආකාරය

මෙය කාලයක් තුළ සිදු වන ක්‍රියාවලියකි. එහි සාරාංශය පහත දැක්වෙයි.

  • තැන්පතු ඉතා කෙටි කාලීන බැවින් තැන්පතු පොලී අනුපාතයන් ක්ෂණිකව ඉහළ යාම. සමහර තැන්පතු ස්ථිර තැන්පතු වුව ද, තැන්පතු හිමියන් විසින් තම තැන්පතු අවලංගු කොට ඉහළ පොලී අනුපාතයන් මත නව තැන්පතු විවෘත කෙරේ. එබැවින්, බැංකුවල අරමුදල් පිරිවැය ක්ෂණිකව ඉහළ යනු ඇත.
  • එබැවින්, ණය දීමේ දී අය කෙරෙන පොලී අනුපාතයන් ඉහළ යාම. මෙහි දී, පළමුව, නව ණය සහ දැනට දී ඇති බැංකු අයිරාවන් වැනි විචල්‍ය පොලී අනුපාත සහිත ණයවල පොලී අනුපාතයන් ක්ෂණිකව ඉහළ යනු ඇත. දෙවනුව, නිවාස ණය සහ ලීසිං වැනි ස්ථාවර පොලී අනුපාතයන් මත දී ඇති කාලීන ණයවල පොලී අනුපාතයන් ද, එම ගිවිසුම්වල සඳහන් කොන්දේසි අනුව ඉහළ යනු ඇත. එසේ නොමැති නම් බැංකුවලට පාඩු සිදු වනු ඇත.
  • මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ යාම හේතු කොට රාජ්‍ය සුරැකුම්පත් සහ ආයෝජන සුරැකුම්පත්වල පොලී අනුපාතයන් ක්ෂණිකව ඉහළ යන බැවින්, ඊට සමාන්තරව එම සුරැකුම්පත්වල වෙළෙඳපොළ මිල ගණන්/වටිනාකම පහළ යාම. එබැවින්, බැංකු ද්‍රවශීල වත්කම් වටිනාකම, ඒවා මිල දී ගැනීමේ දී ගෙවන ලද වටිනාකමට වඩා පහළ යන බැවින්, දෙයාකාරයක අවදානම්වලට බැංකු මුහුණ දෙනු ඇත . පළමුව, බැංකු පොත්වල වත්කම් අලාභයක් සිදු වීම. දෙවනුව, මුදල් හිඟයක් පියවීම සඳහා එම වත්කම් විකිණීමේ දී අලාභ දැරීමට සිදු වීම. පොලී අනුපාතයන් ඉහළ යන විට ඊට සමාන්තරව මෙම වත්කම් අලාභය ද ඉහළ යනු ඇත.
  • ඉහළ පොලී අනුපාතයන් හේතු කොට නිෂ්පාදනය, පරිභෝජනය, ආයෝජනය සහ සේවා නියුක්තිය පහළ යාම හරහා ගනුදෙනු කරුවන් විසින් තම බැංකු ණය ගෙවීම අතපසු කිරීම හෝ පැහැර හැරීම. ඔවුන්ගේ ආදායම පහළ යාම මෙන්ම ණයවල පොලී පිරිවැය ඉහළ යාම මීට හේතු වෙයි. එමගින්, බැංකුවලට දෙයාකාරයකින් අලාභ සිදු වෙයි. පළමුව, බැංකුවල පොලී ආදායම පහළ යාම. දෙවනුව, පැහැර හැර ඇති ණය ප්‍රමාණයෙන් බැංකුවේ වත්කම් පහළ යාම සහ අලාභ සිදු වීම.
  • දුර්වල මූල්‍ය තත්ත්වයක් පවතින බැංකුවල කොටස් මිල ගණන් පහළ යාම. කොටස් වෙළෙඳපොළවල ගනුදෙනු කෙරෙන බැංකුවල ලාභ දායිතාවය සහ අනාගත ව්‍යාපාරික සහ මූල්‍ය  ශක්‍යතාවය පිළිබඳ ව කොටස් ආයෝජකයන් විසින් සැලකිලිමත් වන බැවින් දුර්වල බැංකුවල කොටස් ඉල්ලුම පහළ යාමෙන් කොටස් මිල ගණන් පහළ යාම සිදු වෙයි. 

මෙහි ප්‍රතිඵලය වනුයේ, තැන්පතු ආපසු ගෙවීමට අවශ්‍ය මුදල් සහ ද්‍රවශීල වත්කම් බැංකු වෙත හිඟ වීම යි. සමස්ත බැංකු පද්ධතියම මෙම තත්ත්වයට මුහුණ දෙන බැවින්, බැංකු අන්තර් ණය වෙළෙඳපොළේ ණය දීමට ද බැංකු මැළි වීම හේතු කොට ද්‍රවශීල අරමුදල් හිඟයකට බැංකු පද්ධතිය මුහුණ දෙනු ඇත.

එසේ බැංකුවල මූල්‍ය තත්ත්වය පිරිහී අරමුදල් හිඟයකට මුහුණ දෙන බවට තැන්පතු හිමියන්ට අවබෝධ වන විට, ඔවුන් විසින් තම තැන්පතු ආපසු ගැනීමට පෙළඹෙනු ඇත. බැංකු කොටස් මිල ගණන් පහළ යාම ද තැන්පතු හිමියන්ට ඒ සඳහා ලැබෙන වෙළෙඳපොළ සංඥාවකි. තව ද, ඉහළ පොලී අනුපාතයන් හේතු කොට ආර්ථිකයේ පසුබැසීමක් හරහා මහජනතාවගේ ආදායම් මාර්ගයන් පහළ යාම සහ බැංකු ණය හිඟයක් හට ගැනීම සිදු වන බැවින් ඔවුන් තම වියදම් පියවා ගැනීම සඳහා තම තැන්පතු මුදල් ක්‍රමයෙන් ආපසු ගැනීම කෙරෙනු ඇත. 

එබැවින්, බැංකුවලින් තැන්පතු අරමුදල් ඉවත් වීමේ ආතතීන් සහ කම්පනයන්ට බැංකු මුහුණ දෙනු ඇත. එහි පිටුපස බැංකු බුන්වත් වීමේ අවදානමේ දුමාරය සෙමින් සෙමින් පිටවීම දැකිය හැකිය. එබැවින්, තැන්පතු හිමියන් විසින් විශාල වශයෙන් තම මුදල් ඉල්ලා සිටීමේ බැංකු චකිතයන් ඕනෑම අවස්ථාවක හට ගැනීමේ අවදානමට බැංකු මුහුණ දෙනු ඇත. එය කෙසේ, කුමන අවස්ථාවේ හට ගනී ද? යන්න පැවසීමට කිසිවෙකුට හැකියාවක් නොමැත. එහෙත්, එවැනි අවදානමක් හට ගැනීම පිළිබඳ ව පූර්ව සඥාවන් නිකුත් කිරීම අපහසු නොවේ.

උගත යුතු පාඩම – මහ බැංකු විසින් වේගයෙන් පොලී අනුපාතයන් ඉහළ දමා, එය කාලයක් පුරා පවත්වා ගෙන යාමේ වක්‍ර ප්‍රතිඵලය වනුයේ, බැංකු පද්ධතියේ ද්‍රවශීල අර්බුදයක් හට ගෙන මහජනයාගේ තැන්පතු මුදල් අහිමි වීමේ අවදානම යි.

වත්මන් ගෝලීය බැංකු සහ පොලී අනුපාත උපනතිය

ඉහත දැක්වූ ආකාරයේ බැංකු ආතතීන් සහ කම්පනයන් සංවර්ධිත රටවල මේ දිනවල දැකිය හැකිය. ඇමෙරිකාවේ බැංකු හතරක් ද, එංගලන්තයේ එක් බැංකුවක් ද, ස්විට්සර්ලන්තයේ විශාලතම බැංකුවක් ද, මේ වන විට අර්බුදයට පත් වී ඇති අතර ඒවා තැන්පතු හිමියන්ගේ මුදල් ආරක්ෂා කොට නිරාකරණය කිරීම සඳහා මහ බැංකු සහ රජයන් විසින් කඩිනම් ක්‍රියාමාර්ගයන් රැසක් ගෙන ඇත. එසේම, බැංකු ආතතීන් සහ පොලී අනුපාතයන් තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය.

  • ඇමෙරිකාවේ සිලිකන් වැලි (Silicon Valley Bank) සහ සිග්නේචර් (Signature Bank) බැංකු දෙක අත්හිටුවා, ඒවායේ තැන්පතු රක්ෂණයට යටත් සහ යටත් නොවන සියළු තැන්පතු සඳහා රජය ඇප වීම සහ සිල්වර් ගේට් බැංකුව (Silver Gate Bank) ඈවර කිරීමට ක්‍රියා කිරීම.
  • ඇමෙරිකාවේ ෆස්ට් රිපබ්ලික් බැංකුව (First Republic Bank) වෙත බැංකු  11 ක කණ්ඩායමක් එකතු වී ඩොලර් බිලියන 30 ක හදිසි අරමුදලක් ලබා දීම.
  • එංගලන්තයේ සිලිකන් වැලි බැංකුවේ ශාඛාව තවත් විශාල බැංකුවක් වන එච් එස් බී සී බැංකුව (HSBC) විසින් මිල දී ගෙන ඊට ඒකාබද්ධ කිරීම.
  • ස්විට්සර්ලන්තයේ ක්‍රෙඩිට් සුයිසි බැංකුව (Credit Suisse) එරට අනෙක් විශාලතම බැංකුව වන යූ බී එස් බැංකුව (UBS Bank) විසින් මිල දී ගෙන ඊට ඒකාබද්ධ කිරීම.
  • ඇමෙරිකානු මහ බැංකුව විසින් ද්‍රවශීල අරමුදල් හිඟයන්ට මුහුණ දෙන බැංකු සඳහා හදිසි ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. ඒ යටතේ රාජ්‍ය සුරැකුම්පත්වල මුහුණත වටිනාකම ඇපය මත 100% ක ණය වර්ෂයක කාලයක් දක්වා සීමාවක් නොමැතිව ලබා දීම සිදු කෙරේ. ඒ සඳහා රජය විසින් ද ඩොලර් බිලියන 25 ක අරමුදලක් සපයා ඇත.
  • ඇමෙරිකානු මහ බැංකුව විසින් සංවර්ධිත රටවල් 5 ක මහ බැංකු සමඟ එම රටවල (කැනඩාව, එංගලන්තය, යුරෝපය, ස්විට්සර්ලන්තය සහ ජපානය) ඩොලර් අරමුදල් සැපයුම ඉහළ දැමීම සඳහා දෛනික මුදල් හුවමාරු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.
  • කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ බැංකුවලින් තැන්පතු මුදල් ආපසු ගෙන, විශාල බැංකුවල තැන්පත් කිරීමේ ආතතිය අඛණ්ඩව පැවතීම.
  • මැදි හා දිගු කාලීන රාජ්‍ය සුරැකුම්පත්වල වෙළෙඳපොළ මිල ගණන් පහළ යාමේ ප්‍රවණතාවය තුළින් බැංකුවලට අලාභ සිදු වීම. ඇමෙරිකාවේ පමණක් ඩොලර් බිලියන 600 ක පමණ රාජ්‍ය සුරැකුම්පත් අලාභයක් බැංකුවලට සිදු වී ඇති බව වාර්තා වෙයි.
  • කොටස් වෙළෙඳපොළවල බැංකු කොටස් මිල ගණන් අධික ලෙස පහළ යාම සහ දැඩි අස්ථායිතාවය. මාර්තු දෙවැනි සතිය තුළ බටහිර කොටස් වෙළෙඳපොළවල ඩොලර් බිලියන 500 ක පමණ බැංකු කොටස් වටිනාකම අහිමි වූ බවට වාර්තා විය.
  • මහ බැංකු විසින් තවදුරටත් පොලී අනුපාතයන් ඉහළ දැමීමට ක්‍රියා කිරීම. ඒ අනුව, යුරෝපීය මහ බැංකුව විසින් 0.50% කින් (3.75% දක්වා) ද, ඇමෙරිකානු මහ බැංකුව විසින් 0.25% කින් (5.00% දක්වා) ද, එංගලන්ත මහ බැංකුව විසින් 0.25% කින් (4.25% දක්වා) ද, ස්විට්සර්ලන්ත මහ බැංකුව විසින් 0.50% කින් (1.50% දක්වා) ද, පසුගිය  සතිය තුළ පොලී අනුපාතයන් තරඟකාරීව ඉහළ දමන ලදි. ඒ අනුව, සංවර්ධිත රටවල මහ බැංකු පොලී අනුපාතයන් 2021 අවසානයේ දී ශුන්‍යයට ආසන්නයේ සිට මේ වන විට 4%-5% මට්ටමකට ඉහළ ගොස් ඇත. එය ඓතිහාසික ඉහළ යාමකි. එම රටවල පවතින වත්මන් 8%-10% මට්ටමක උද්ධමන පීඩනය දෙස බලන විට, උද්ධමන මට්ටම ඉලක්ක 2% ට පහළ දැමීම සඳහා එම මහ බැංකු විසින් තම පොලී අනුපාතයන් තවත් ඉහළ දමන බවට ඉඟි පළ කොට ඇත. ඒ අනුව, ලෝකයේ සියළුම මහ බැංකු විසින් ඉදිරි සති කිහිපය තුළ මෙන්ම ඉදිරි අනාගතයේ දී තම පොලී අනුපාතයන් ඉහළ දමනු ඇත.

එහෙත්, බොහෝ රටවල මහ බැංකු අධිපති වරුන් සහ රජයන් විසින් තම බැංකු පද්ධතිය ශක්තිමත් බවටත්, එයට කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව පවතින බවටත්, හදිසි ප්‍රකාශනයන් නිකුත් කොට ඇත. එහෙත්, මෙම ප්‍රකාශනයන් සමස්ත බැංකු පද්ධතිය පිළිබඳ ව වන අතර එක් එක් බැංකු පිළිබඳ ව නොවේ. එහි අදහස වන්නේ, වත්මන් මූල්‍ය වෙළෙඳපොළ තත්ත්වය තුළ තැන්පතු හිමියන් විසින් තම මුදල් විශාල වශයෙන් ආපසු ගැනීම හේතු කොට යම් යම් බැංකු කඩා වැටීම  මෙන්ම එය බැංකු පද්ධතිය පුරා පැතිරී යාමේ අවදානම පවතින බව යි.

උගත යුතු පාඩම – මහ බැංකු විසින් තව දුරටත් පොලී අනුපාතයන් ඉහළ දැමීම කෙරෙන බැවින් බැංකු අර්බුදයන් හට ගෙන තැන්පතු මුදල් අහිමි වීමේ අවදානම ඉහළ යන බව.

ශ්‍රී ලංකාවේ පොලී අනුපාතයන් ඉහළ යාමේ සහ බැංකුවල මූල්‍ය තත්ත්වයේ උපණතිය

ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ බැංකු අධික්ෂණය සහ නියමනයේ වගකීම මහ බැංකුව සතු වෙයි. 2022 ආරම්භයේ සිට මේ දක්වා මහ බැංකුව විසින් තම පොලී අනුපාතයන් 6.0% සිට 16.5% දක්වා වේගයෙන් 175% කින් ඉහළ නංවා ඇත. එබැවින්, ඉහත දැක්වූ බැංකු බුන්වත් වීමේ සහ තැන්පතු හිමියන්ගේ මුදල් අහිමි වීමේ අවදානම ශ්‍රී ලංකාවට ද පොදු වෙයි. ඊට අමතරව, එම අවදානම ශ්‍රී ලංකාවේ තවත් ඉහළ යාමට විශේෂ හේතු කිහිපයක් පවතී. එනම්, අධිඋද්ධමනය සහ විදේශ මුදල් අර්බුදය මත හට ගෙන ඇති ආර්ථික අර්බුදය, රාජ්‍ය ණය අර්බුදය සහ දේශපාලනික අස්ථායිතාවය යනාදිය යි.

විශේෂයෙන් බැංකු සහ මූල්‍ය ආයතනයන්ගේ වත්කම් විශාල වශයෙන් රාජ්‍ය ණය සහ රාජ්‍ය සුරැකුම්පත්  ආයෝජනය මත පවතී. රාජ්‍ය විදේශ ණය සේවාකරණය 2022 අප්‍රේල් මස සිට පැහැර හැර ඇති අතර ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක පවතී. රාජ්‍ය බැංකු ඇතුළු බැංකු කිහිපයක් විසින් රජයට දී ඇති ණය ද, එම ප්‍රතිව්‍යුහගත කරණයට හසු වනු ඇත. එසේම, පසුගිය සතියේ අනුමත වූ IMF ණය වැඩසටහන යටතේ රාජ්‍ය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක රාවයන් ද හට ගෙන ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ණය මුදලින් 20% ක් පමණ කපා හැරීම, පොලී අනුපාතයන් පහළ දැමීම සහ ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම වැනි කොන්දේසි අඩංගු වනු ඇත. විශේෂයෙන් බැංකු නියාමන කොන්දේසි අනුව ද්‍රවශීල වත්කම් බහුතරය රාජ්‍ය සුරැකුම්පත් වන අතර දැනටත් ඒවායේ වෙළෙඳපොළ මිල ගණන් පහළ යාමේ අලාභයට අමතරව 20% ක් කපා හැරීම සිදු වුව හොත් බැංකු අනිවාර්යෙන් බුන්වත් වනු ඇත. 

එසේම, IMF ණය වැඩසටහන යටතේ මහ බැංකු පොලී අනුපාතය තවදුරටත් ඉහළ යන බවට අපේක්ෂා කෙරේ. එවිට, ඉදිරියේ දී ඉහළ පොලී අනුපාතයන් හරහා බැංකු තවදුරටත් බුන්වත් වීමේ අවදානම ඉහළ යනු ඇත.

එබැවින්, ගෝලීය ආර්ථික සහ මූල්‍ය උපණතීන්ට අමතරව අතිවිශේෂ දේශීය උපණතීන් දෙස බලන විට, ශ්‍රී ලංකාවේ තැන්පතු මුදල් අහිමි වීමේ අවදානම ඉතා ඉහළ බව කිව හැකිය. එය එසේ නොවන බවට ද ප්‍රකාශ කළ හැකි වුව ද, එය හුදු මතයක් පමණක් වන්නේ ඒ සඳහා සැබෑ ලොව සාක්ෂි සහ බැංකු මූලධර්මයන් නොමැති බැවිනි. 

එබැවින්, වෙනත් රටවල මෙන් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ශක්තිමත් බව මහ බැංකු අධිපති විසින් පසුගිය සතියේ ප්‍රකාශ කිරීම පදනම් විරහිත ප්‍රකාශයකි. එවැනි, ප්‍රකාශයන් හුදෙක් බැංකු පද්ධතියේ සමස්ත ද්‍රවශීලතා සහ ප්‍රාග්ධන අනුපාතයන් මත පදනම් වන අතර ඒවා හුදෙක් ගණකාධිකරණ ප්‍රමිතීන් සහ ගණනය කිරීම් මත තීරණය කෙරෙන අතීත සංඛ්‍යාවන් ය. 

එහෙත්, බැංකු බුන්වත් වීමේ අවදානම පිළිබඳ ව ඉහත දැක්වූ විග්‍රහය සැබෑ ලොව තොරතුරු සහ ඉදිරි අපේක්ෂාවන් මත පදනම් වෙයි. තව ද, බැංකු චකිතයන් සහ අර්බුදයන් හට ගැනීම තැන්පතු හිමියන්ගේ විශ්වාසය බිඳී යාම තුළින් හදිසියේ සිදු වන්නක් වන අතර ඉහත දැක්වූ ගණකාධිකරණ අනුපාතයන් මගින් එය පුරෝකතනය කිරීමක් සිදු කළ නොහැකිය. 

එබැවින්, ශ්‍රී ලංකාවේ බැංකු නීති අනුව මහ බැංකු අධිකාරින්ගේ වගකීම වන්නේ, හුදෙක් ගණකාධිකරණ අනුපාතයන් මත බැංකුවල අතීත මූල්‍ය තත්ත්වය ඇගයීම මත ක්‍රියා කිරීම නොව, බැංකුවල සැබෑ මූල්‍ය තත්ත්වය සහ ඉදිරියේ දී තැන්පතු හිමියන්ගේ මුදල් ගෙවීමට නොහැකිව බුන්වත් භාවට පත් වීමට ඇති අවදානම ඇගයීම සහ එය වැලක්වීමට ඉදිරි දැක්මකින් යුතුව ක්‍රියා කිරීම යි. වත්මන් මහ බැංකුවේ ප්‍රමුඛ ජාතික මෙහෙය විය යුත්තේ එය මිස, IMF නිර්දේශ මත පොලී අනුපාතය ඉහළ දමමින් කාර්යාලයට වී මාසික පාරිභෝගික මිල දශකය සහ මුදල් සැපයුමේ සංඛ්‍යාවන් දෙස බලා සිටීම නොවේ.

උගත යුතු පාඩම – ශ්‍රී ලංකාවේ බැංකුවල බුන්වත් භාවය සහ මහජනයාගේ තැන්පතු අහිමි වීමේ ඉහළ අවදානමක් පවතින බව සහ එය වැලැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයන් ගැනීම මහ බැංකුවේ වගකීම බව.

සමාප්ත සටහන

මහ බැංකු සහ රජයන් විසින් රටවල් මුහුණ දෙන එකම ප්‍රශ්නය හෝ ලොකුම සතුරා උද්ධමනය බවට විශ්වාස කොට, පොලී අනුපාතයන් ඉහළ දැමීම හරහා මූල්‍ය ප්‍රතිපත්ති හස්තය පමණක් භාවිතා කිරීම විශාල වරදකි. ඊට හේතුව, දැනට වසරකට වඩා ගත වුව ද, උද්ධමනය මට්ටු වන බවක් නොපෙනෙන අතර, මහ බැංකු පවසන ආකාරයට උද්ධමනය මට්ටු කිරීමට මහ බැංකු පොලී අනුපාතයට හැකියාව පවතින බවට කිසිම ආර්ථික පර්යේෂණයකින් තහවුරු වී නොමැති වීම යි. 

ඉහළ පොලී අනුපාතයන් හේතු කොට දැනටමත් ආර්ථික පසුබැසීම් හට ගෙන මහජනතාව පිඩනයට පත් වී ඇති අතර, ඉදිරියේ දී බැංකු බුන්වත් වීම් හරහා තැන්පතු මුදල් අහිමි වී මහජනතාව මහ පාරට වැටීමේ ඉහළ අවදානමක් ද පවතී. එවිට, රටවල දේශපාලනික ස්ථායිතාවය ද බිඳී යනු ඇත.

එබැවින්, මහ බැංකු විසින් තම මූල්‍ය ප්‍රතිපත්ති හස්තය වහාම නවීකරණය කොට, රජයන් සමඟ එක් වී තම බැංකු සහ මූල්‍ය පද්ධති ස්ථායිතා ප්‍රතිපත්ති හස්තය වහාම ක්‍රියාවට නැංවිය යුතුය. එය, මූල්‍ය ප්‍රතිපත්ති හස්තය මෙන් සරල හස්තයක් නොවේ. පොලී අනුපාතය එක් පෑන් පහරකින් ඉහළ දමා රජයට සහ බැංකුවලට ණය දීම සඳහා මුදල් මුද්‍රණය කරමින් ද, කාලයකට පසුව නැවත පොලී අනුපාතය පහළ දමමින් ද, මූල්‍ය ප්‍රතිපත්ති හස්තය අලස ලෙස ක්‍රියාත්මක කළ හැකිය. එහෙත්, දැනට වසර කිහිපයක් මූල්‍ය ප්‍රතිපත්ති හස්තයට බිය වී, පැරැණි දත්ත සහ ලිපි ගොනු අතරේ සැඟවී සිටින බැංකු සහ මූල්‍ය පද්ධති ස්ථායිතා ප්‍රතිපත්ති හස්තය ක්‍රියා ශීලී  කිරීම පහසු නොවේ. එයට දිවා රාත්‍රී සේලයින් ලබා දී පන ගැන්විය යුතුය. එය පොලී අනුපාතය එහාට මෙහාට කිරීම මෙන් පහසු කාර්යයක් නොවේ.

එබැවින්, මෙම අවස්ථාවේ මහ බැංකු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී, හොඳින් අවබෝධ කර ගත යුතු මූලධර්මය වන්නේ ආර්ථිකයේ මූර්ත අංශයේ ස්ථායිතාවය (එනම්, මිල සහ ආර්ථික ස්ථායිතාවය) සහ මූල්‍ය අංශයේ ස්ථායිතාවය (එනම්, බැංකු සහ මූල්‍ය ආයතන කෙරෙහි මහජන විශ්වාසයේ ස්ථායිතාවය) යනාදිය එකිනෙකට බැඳී පවතින බව යි. එබැවින්, ආර්ථිකයේ දිගු කාලීන ස්ථායිතාවය පවත්වා ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති හස්තය සහ මූල්‍ය පද්ධති ස්ථායිතා ප්‍රතිපත්ති හස්තය යන හස්තයන් දෙකම ක්‍රියාශීලීව පවත්වා ගැනීම හරහා ආර්ථිකයේ මූර්ත අංශය සහ මූල්‍ය අංශය එකිනෙකට සමබර තාවයක් හෝ ගැලපුමක් සහිතව පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය වෙයි. 

එහෙත්, වර්තමානයේ ලෝකය පුරා සිදු වන්නේ සමස්ත මූර්ත අංශය සහ මූල්‍ය අංශය කඩා වැටුන ද, මූල්‍ය ප්‍රතිපත්ති හස්තයේ පොලී අනුපාත නහරය පමණක් ක්‍රියාත්මක කිරීම යි. එහි අරමුණ නූතන ලෝකයට නොහොබිනා අමානුෂික අරමුණකි. එනම්, ආර්ථිකය වලපල්ලට ගොස් හෝ උද්ධමන සංඛ්‍යාව පහළ දැමීම යි. බැංකු අර්බුදයක් හට ගෙන මහජනතාවගේ තැන්පතු මුදල් බහුතරය අහිමි වුව හොත්, මහජනයා පාරට වැටී ආර්ථිකයේ ඉල්ලුම කඩා වැටීම හරහා වත්කම් මිල ගණන්/වටිනාකම මෙන්ම භාණ්ඩ හා සේවා මිල ගණන් කඩා වැටීම තුළින් ඍණ උද්ධමන සංඛ්‍යාවක් වාර්තා වනු ඇත. එය, මහ බැංකුව විසින් විචක්ෂණ මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවට රතිඤ්ඤා සහ ට්විටර් පණිවුඩ සැමරුම් කිරීමට සුදුසු ප්‍රතිඵලයක් නොවේ.

නූතන මුදල් ආර්ථිකයන්හි උද්ධමන පීඩනය යනු, ආර්ථිකය අඩපන කෙරෙන බාහිර හේතුවක් හෝ කම්පනයක් හෝ සතුරකු නොව, මුදල් ඇතුළු වෙළෙඳපොළවල අස්ථායිතාවය තුළින් හට ගන්නා ප්‍රතිඵලයක් බව අවබෝධ කර ගැනීමට ගෝත්‍ර වාදී මූල්‍ය සංකල්පයන් විශ්වාස කරන වත්මන් මහ බැංකු අසමත් වී ඇත. පොලී අනුපාතයන් ඉහළ දැමීම හරහා උද්ධමනය මෙල්ල කිරීමට මහ බැංකු විසින් ක්‍රියා කරන්නේ එබැවිනි. එහෙත්, නූතන මුදල් ආර්ථිකයන්හි උද්ධමනය පාලනය කළ හැක්කේ, උද්ධමනය ජනිත කරන ලද වෙළෙඳපොළ අස්ථායිතාවයන් නිවැරදි කිරීමෙන් පමණි. ඒ සඳහා රාජ්‍ය මූල්‍ය මෙවලම්වල සහාය ඇතුව මහ බැංකු විසින් තම ප්‍රතිපත්ති හස්තයන් දෙකම සම්මිශ්‍රණයකින් පවත්වා ගත යුතුය. ඊට හේතුව, ආර්ථිකයක් යනු මහ බැංකුවට අවශ්‍ය ලෙස පොලී අනුපාත ස්වීචයෙන් ක්‍රියාත්මක වන රොබෝට් කෙනෙකු නොවන බැවිනි.

එබැවින්, එවැනි නව ප්‍රතිපත්ති ක්‍රමවේදයක් අනුගමනය නොකරන්නේ නම්, ඉහත දැක්වූ වත්මන් ගෝලීය ආර්ථික සහ මූල්‍ය අවදානම්කාරී තත්ත්වය තුළ, තැන්පතු මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා එක් රොක් වී මුදල් ආපසු ගැනීමට උත්සාහ කිරීම හැර, මහජනතාවට ගත හැකි වෙනත් විකල්පයක් නොමැති බැවින් තැන්පතු මුදල් ආරක්ෂා කිරීම මහ බැංකුවේ සහ රජයේ වගකීමක් වනු ඇත. ඊට හේතුව, වත්මන් බැංකු බුන්වත් වීමේ අවදානම මහ බැංකු විසින් හිතා මතාම තම මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් ඇති කිරීම යි.

මහ බැංකුවේ තැන්පතු රක්ෂණ අරමුදල 2021 අවසානයේ රුපියල් බිලියන 68 ක් පමණ වූ අතර එය මේ වන විට රුපියල් බිලියන 85 නොඉක්මවනු ඇත. බැංකු පද්ධතිය වෙත ඇති තැන්පතු වගකීම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන ගණනක් වන බැවින්, මෙම තැන්පතු රක්ෂණ අරමුදලෙහි කිසිම වැදගත් කමක් නොමැත. එසේම, එම අරමුදල් ද රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කොට ඇති බැවින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ  දී රක්ෂණ අරමුදල ද අර්බුදයට පත් වනු ඇත. එබැවින්, බැංකු අර්බුදයක දී රුපියල් මිලියන 1.1 දක්වා වූ තැන්පතු හිමියන් ආරක්ෂා කිරීමට තැන්පතු රක්ෂණ අරමුදලට නොහැකි වනු ඇත.

එබැවින්, බැංකු පිළිබඳ මහජන විශ්වාසය කඩා වැටීමට පෙර, තැන්පතු හිමියන් ආරක්ෂා කිරීමේ පියවරයන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා භාවිතා කළ හැකි ප්‍රතිපත්ති මෙවලම් රාශියක් පවතින අතර එවැනි ප්‍රතිපත්ති පැකේජයක් ක්‍රියාත්මක කිරීම සඳහා මහ බැංකු සහ සාර්ව ආර්ථික මූලධර්මයන් පිළිබඳව දැනුම ඇති තුන් ඉරියව් ක්‍රීඩකයන් මහ බැංකුවට අවශ්‍ය වෙයි. IMF කොන්දේසි අනුව පොලී අනුපාතයෙන් පමණක් ක්‍රීඩා කරන්නන් ඊට යෝග්‍ය නොවේ.

එසේ නොමැතිව, ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය සහ ප්‍රාග්ධනය ඉහළ මට්ටමක පවතින බවත්, එබැවින්, බැංකු පද්ධතිය ශක්තිමත් බවටත්, කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ බවටත්, ප්‍රකාශනයන් නිකුත් කොට බලා සිටීමෙන්, මහජනතාව සහ ආර්ථිකය තවත් දරුණු අර්බුදයකට ඉදිරියේ දී මුහුණ දීමේ දැඩි අවදානමක් පවතී. එවැනි ප්‍රකාශයන් සාමාන්‍ය ආර්ථික සහ මූල්‍ය පද්ධති ක්‍රියාත්මක වන කාලවල දී සිදු වන හුදකලා බැංකු බුන්වත් වීමේ අවස්ථාවල යෝග්‍ය වෙයි. ඊට හේතුව, එම කාලවල වර්තමානයේ මෙන් බැංකු පද්ධති අවදානම් නොමැති වීම යි. 

උගත යුතු පාඩම – බැංකු පද්ධති අර්බුදකාරී අවස්ථාවල මහජනයාගේ තැන්පතු ආරක්ෂා කිරීම මහ බැංකුවේ සහ රජයේ වගකීම බව.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව(කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ.(කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Economy Discovery: https://economydiscovery.blogspot.com/2023/03/blog-post_27.html

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.