සටහන : නිශ්මන් රණසිංහ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රීඩාවකින් දක්ෂයන් 100 ක් තෝරා ඔවුන්ට පහසුකම් සැපයිය යුතු බව කීවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීරණය නිරීක්ෂණ කිරීමෙන් අනතුරුවය.එම වචන පිට වී ටික දොහකින් එම සියයට හොකී ක්‍රීඩාවෙන් ඇතුළත් කරගත යුතු හෙටට වටින හොකී ක්‍රිඩිකාවන් පොකුරක් තැබූ අපූරු ජයග්‍රාහි සටහනක් පේරාදෙණිය විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටියෙන් දකින්නට ලැබිණ.ඒ ජාතික කණිෂ්ඨ අවුරුදු 21 න් පහළ කාන්තා හොකී තරගාවලියේ සූරියන් බවට ශ්‍රී ලංකා පාසල් “රන්” කණ්ඩායම පත්වීම හරහා ය.
හොකී ක්‍රිඩාව ද මේ වන විට වෙළඳ සේවා මට්ටමෙන් යම් පසුබෑමක ඇති බව පැහැදිළි කර ගත යුතුය.එයද කෙමෙන් ආරක්ෂක අංශ වෙත ඇඳෙමින් පවතින අතර පාසල් ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට දිගටම හොකි පවත්වාගෙන යාමට ආරක්ෂක අංශවල මැදිහත්විම වැදගත් වන්නේ ඔවුන්ට අධ්‍යාපනය සම්බන්ධයෙන් වූ වටිනාකමට සරිලන වෘත්තීය වටිනාකමක් ද එකතු වේ නම් පමණි.ඒ නිසාම පාසල් මට්ටමෙන් නැවතෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් සෑම ක්‍රීඩාවකදීම පාහේ දැක ගන්නට හැකිය.හෙට ගැන සිතා සියය ගාණේ සංචිත ගොනු කරද්දි ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීම වැදගත්ය.එසේම වඩාත් වැදගත් වන්නේ වෙළඳ ප්‍රජාව සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර වෙළඳ සේවා සහ ජනසතු සේවා වශයෙන් කාලයක් ශ්‍රී ලංකාවේ ක්‍රිඩාවේ හුස්මෙන් විශාල කොටසක් දරා සිටි ව්‍යහුයන් නැවත පන උපද්දවා ගැනීමය.
මෙවර පාසල් හොකී සම්මේලනය බොහෝ ක්‍රීඩා සංගම් සම්මේලන කෙදිරි ගාමින් වැඩ කරන තත්ත්වයක ඔවුන් කෙදිරිගාමින් වුව විශාල පියවරක් පෙරට තැබීය.කන්දක විලිරුදා පෙන්නා කෙන්දක් වදන සංස්කෘතියක සමස්ත සමාජ ආර්ථික ක්‍රියාවලිය ඇතුළේ පාසල් හොකී ක්‍රීඩාවේ විලි කෙදරිය ද තදින් දැණුන ද,ඇසුණ ද ඔවුන් කන්දක් සේ වූ වැදීමක් ද කළ බව දකින්නට ලැබිණ.පාසල් සම්මේලනයට නියමිත තරගාවලි සියල්ල අවසන් කිරිමට අමතරව පාසල් සංගමයඅවුරුදු 21 න් පහළ ජාතික කණිෂ්ඨ සූරතාවය දිනා ගැනිම සඳහා සමත්කම් ඇති කෙළි රෑනක් ද නිර්මාණය කිරීම සුවිශිෂ්ඨය.එය වැදගත් වන්නේ මෙම ජයග්‍රහණය ඉතිහාසයට එකතුවන්නේ ජාතික කනිෂ්ඨ කාන්තා හොකී තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය දිනා ගන්නා ලද ප්‍රථම අවස්ථාව මෙය වීම නිසාය.
මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල.කොළඹ විශාඛා විදුහල, නාවල ජනාධිපති බාලිකා විදුහල, කොළඹ කාන්තා විදුහල, කොළඹ බිෂොප් විදුහල, මහනුවර සීතාදේවී බාලිකා විදුහල, මහනුවර ස්වර්ණමාලී බාලිකා විදුහල සහ මහනුවර මහාමායා බාලිකා විදුහල් තුළ අධ්‍යාපනය හදාරණ ක්‍රීඩීකාවන්ගෙන් .මෙවර ශ්‍රී ලංකා පාසල් “රන්” කණ්ඩායම සමන්විත විය.පාසල් සංගමය මේ කණ්ඩායම දිවයිනේ එක තැනකින් නොවන ක්‍රිඩිකාවන් සමූහයක් එකතු කර සැකසීම සහ ඔවුන් කණ්ඩායමක් හැටියට ජයග්‍රහණය කරා මෙහෙයවීම විශාල ජයකි.මාතලේ සංඝමිත්තා බාලිකාවේ චතුර්යා ජීවානන්ද ගේ නායකත්වය යටතේත්,මහනුවර සීතාදේවී විද්‍යාලයේ දිල්හානි රෝෂිනි රාජපක්ෂගේ උප නායකත්වය යටතේත් ගොනු කරන ලද 18 දෙනෙක්ගෙන් යුත් ක්‍රිඩිකා කැළක් හරහා මෙම පාසල් කණ්ඩායම නිර්මාණය කර තිබිණ.
ඉකුත් ව සූරීන් වූ වෙන්නප්පුව හොකී සංගමය මෙවර තරගාවලියේ අනු ශූරතාව දිනා ගත්තේ අවසාන තරගයේදී පාසල් රන් කණ්ඩායම හමුවේ ගෝල් 02 – 01 ක් ලෙස පරාජය ලබමින්ය. තියුණු මුහුණුවරක් ගත් මෙම අවසාන තරගය ඇරඹී ප්‍රථම භාගය නිමා වන විට දෙපිලම ලකුණු 01 – 01 ක් ලෙස සම තත්ත්වයක පසු විය.ප්‍රථම වටයේ දී මේ දෙපිළ හමු වූ අවස්ථාවේ ප්‍රතිපලය වෙනස් වූ අතර වෙන්නප්පුව ගෝල 1 – 0 කින් පාසල් කණ්ඩායම පරාජයට පත් කළේය.එවන් තත්ත්වයක යළි සැනෙන් ප්‍රකෘතියට පිවිස කරන ලද හැදෑරීමකින් ඉනික්බිතිව ඔවුන් අවසාන තරගයේදී වෙන්නප්පුව පරාජය කිරීමට තරම් ශක්තිමත් විම අපූරු අනාගත සුභ සළකුණක් සේ සැළකිය යුතුය.
ඉතිහාසයේ පළමු වතාවට ලෝකඩ පදක්කමකට හිමිකම් කියන්නට ආරක්‍ෂක සේවා හොකී සංගමය සමත් වීම ද කැපී පෙණුනි. ඉකුත් වර ලෝකඩ පදක්කම් ලාභී කොළඹ සංගමය ගෝල් 04 – 00 ක් ලෙස පරාජය කරමින් එම ස්ථානය තහවුරු කර ගන්නට ආරක්ෂක සේවා පිල ට හැකි විය.
අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකා පාසල් (රන්) කණ්ඩායම හමුවේ ආරක්ෂ සේවා පිල ගෝල් 01 – 00 කින් ද වෙන්නප්පුව සංගමය හමුවේ කොළඹ සංගමය 05 – 00 කින් ද පරාජයට පත්විණි.මහනුවර දිස්ත්‍රික් හොකී සංගමයේ පූර්ණ සංවිධාන ශක්තිය ඇතිව මෙවර තරගාවලිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.
ඡායාරූපයේ දැක්වෙන්නේ ජයග්‍රාහී පාසල් හොකි කණ්ඩායමයි.
