ජනවාරිය නිහඬය. පෙබරවාරිය ඊටත් වඩා නිහඬ විය හැකිය. මාර්තුව සහමුළින් නිදන්නට පුළුවන. එහෙත්.. අප්‍රේල් මාසය පිළිබඳව කිසිවකුට කිව හැකිද ?
එහෙම ලිව්වේ චන්ද්‍රකුමාර වික්‍රමරත්න සහෝදරයා. චන්ද්‍රකුමාර වික්‍රමරත්න අතුරුදන් වී දශක කීපයක්. යම් හෙයකින් ඔහු නොමැරී කොහේ හෝ සිටී නම් මේ අප්‍රේල් මාසය දිහාත් බලාගෙන ඇති. ඒ අප්‍රේල් මාසත් මේ අප්‍රේල් මාසත් ඔබට පෙනෙන්නේ කොහොමදැයි චන්දරේගෙන් අසන්නට විදිහක් අපට නැහැ. ඉතින් ඔන්න ඔහොමයි.. ඉතිහාසය එහෙම තමයි.
දේශපාලන උණ කොයි කාලේ හැදුණද කියල මතක නැති වුණත් පොඩි කාලේ එයින් ආසාදිතයි කියන එක ලියුම්කරුට මතකයි. ගාලු පාරේ ගිනිගන්නා කඩවලින් නැගුණු කළු දුම, අඟුලාන මුහුදුබඩ පාරේ කුලී නිවසක සිටි පස් හැවිරිදි දරුවකුගේ මතක මාත්‍ර අහසේ අදටත් සෙමෙන් යාත්‍රා කරනවා. දෙමළ කෝලාහල. එහෙමයි සිංහල සමාජය ඒ සිදුවීම් නම් කළේ. පුදුමාකාර නාමකරණ.
ඒ ගෙදර ඇන්ටිලා අංකල්ලා පොඩි එකාට හරි ආදරෙයි. චූටි අක්කා සහ ලොකු අක්කාත් එහෙමයි. ඒගොල්ලෝ ලාම්පු කලගෙඩි ජනමත විචාරණය කාලේ මේ පොඩි එකාවත් ඇදගෙන ඡන්ද මධ්‍යස්ථානයට ගියේ කොළ පාට ඇඳුම් ඇඳගෙන. පොඩි එකා දැක්ක පළවෙනි ඡන්ද පොළ එක. හෙනට මතක නැහැ ලාවට වගේ මතකයි. අඟුලාන පොදු ජය විදුහල. ඒ නමත් මරුනේ. අර්ථ අනියමාර්ථ රූපකාර්ථ සංඥාර්ථ ගොඩයි.
ඔන්න ඔය කිට්ටුව පිට්ටනියකට විජය කුමාරතුංගයි අනුර බණ්ඩාරනායකයි එනවා කියල දවසක් තාත්තා ලියුම්කරුවත් වඩාගෙන ගියා. ඒ රැස්වීම තිබ්බේ රෑ වෙලා. ලියුම්කරුට තාත්තගේ කරේම නින්ද ගියා. ලියුම්කරු හීන දකින අතරේ දේශපාලන මස්සිනාලා ඇවිත් ගිහින්. දෙන්නම රත්තරන් පාටයි කියලා තාත්තා තාමත් කියනව. ඔය රත්තරන් පාට කතාව වෙන මිනිස්සු කියනව ඇහිලත් තියෙනවා.
පදිංචිය කොළඹ දිස්ත්‍රික්කයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට මාරු වෙනකොට දිවයින කියල පත්තරයක් ඇවිත්. එහි ඉරිදා සංග්‍රහය තමයි වැඩේ. අම්මයි තාත්තයි ආරච්චිකට්ටුව පොළට ගිහින් එනකොට ගේන බඩු මල්ලෙන් මල්ලී රසකැවිලි මුල ඇදල ගන්නකොට ලියුම්කරු ගත්තේ දිවයින. පස්සෙ කාලෙක ලංකාදීප. කාලය මෙහෙම ගතවෙනකොට ඡන්ද බලයක්වත් නැති – ඉස්කෝලෙ යන පොඩි එකෙක් අම්මට උඩු දරුණු ලෙස යූඇන්පී විරෝධී.
ගෙදර තිබ්බ එකම කබඩ් එකේ ලාච්චු දෙකෙන් එකක් යකඩ ලාච්චුව. ඒකේ තිබ්බෙ අඬු, යතුරු, පරණ කාසි, කියත් තල, තහඩු කෑලි ආදී සකලවිධ ලෝහ හුටපට. අනිත් ලාච්චුව නිකන් ලාච්චුව. යකඩ නොවන දේවල් ගොඩක් එහි තිබුණා. එහෙට මෙහෙට හරවන විට ඇස් ගහන සුද්දියක සිටි, ඇඟිල්ලෙන් හූරන විට මතුපිට චිරි බිරි ගාන පිටරට සුබ පැතුම් කාඩ් එකක් හොඳට මතකයි. ඈ අනුරාගී සුද්දියක්.
තව එක එක කඩදාසි. පරණ ලියුම්. ගාල්ලේ නෑදෑයන් එවූ වෙසක් කාඩ්. එක එක නළු නිළියන්ගේ පින්තූර සහිත පොකට් කැලැන්ඩර්. මෙය විනාශ නොකර තවත් සිය දෙනෙකුට අච්චු ගසා බෙදාහරින්නැ
යි එහිම ඉල්ලා ඇති මුත් කිසිදා බෙදා නොහැරිය මුචලින්ද නාගයාගේ පුනරාගමනය ගැන සටහන්ව තිබූ නිර්නාමික පත්‍රිකාවක්. බේබි බාප්පාගේ මැනින් මාකට් කඩේ ටෙලිෆෝන් නොම්මරය ලියූ කඩදාසි කෑල්ලක්. මෙකී නොකී අරව මේවා නහුතයක්.
මේ ඔක්කොම අතර තිබුණා අමුතුම දෙයක්. නවසිය අසූ එකේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළියේ සේයාරුවක් සහිත පොකට් කැලැන්ඩරයක් හෙවත් සාක්කු දින දර්ශනයක්. මේක සංරක්ෂණය වුණේ සාක්කුවේ නෙමෙයි ලාච්චුවේ. ඒකෙ තිබ්බේ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ අංශයේ යතරුපැදි පෙළපාලියේ අභිමානවත් පින්තූරයක්.
යතුරුපැදිකරුවන් රතු ඇඳුම් ඇඳගෙන සුදු පැහැති හෙල්මට් දමාගෙන හිටියේ. ඒ හැම යතුරුපැදියකම පිටුපස හිටගෙන හිටියා රතු සායකින් සහ සුදු බ්ලවුසයකින් සැරැසී රතු ධජයක් අතකින් ගත් දැරියක්. බෙන්ලි බයික් වගේ මතක. ඒවායේ නිකල් පාට කොටස් තෙල් ටිකට පොලිෂ් කරලා තිබුණා දිලිසෙන්න. හරිම ලස්සන නාගරික හැඟීමක් දනවන සටන්කාමී පින්තූරයක් ඒක. අතීත අප්‍රේල්වලට වඩා මොඩර්න්.
ඒ නාගරිකත්වය දිගටම රැකෙන්න තිබ්බ දෙයක්. මේ අප්‍රේල් මාසයේ ලියුම්කරුට එහෙම හිතෙනවා. ආත්මයට දේශපාලනය ඇවිත් හැඟීම් එක්ක මුහු වෙනකොට ලේ රත් වෙනවා. ඊට සමාන්තරව මොළයේ ස්නායුවලට ප්‍රඥාවේ සංඥාව ගියොත් අරගල ජයග්‍රහණයෙන් කෙළවර කරන්න පුළුවන්. ලංකාව ඉල්ලන්නේ අන්න එහෙම අලුත් ඉතිහාසයක්. අලුත් කතාන්දරයක්.
`ජනවාරිය නිහඬය. පෙබරවාරිය ඊටත් වඩා නිහඬ විය හැකිය. මාර්තුව සහමුළින් නිදන්නට පුළුවන. එහෙත්.. අප්‍රේල් මාසය පිළිබඳව කිසිවකුට කිව හැකිද ?
- විමල් කැටිපෙආරච්චි