*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

රටේ විදේශ සංචිත : 1964ට පෙර සහ පසු කතාව ….

මහ බැංකුවේ නිල විදේශ සංචිත ගැන අපි වරින් වර කතා කර තිබෙනවා. නමුත් නිල විදේශ සංචිත කියා කියන්නේ රටේ තිබෙන විදේශ සංචිත වලින් කොටසක් පමණයි. රටේ කවුරු හෝ පුද්ගලයෙක් හෝ ආයතනයක් සතුව විදේශ වත්කම් ඇත්නම් ඒවා රටේ විදේශ සංචිත වල කොටසක්. එකම වෙනස මහ බැංකුවෙන් පිටත තිබෙන විදේශ සංචිත සම්බන්ධව ප්‍රතිපත්ති සම්පාදකයින්ට සෘජු බලපෑමක් කළ නොහැකි වීමයි.

රටට පැමිණෙන විදේශ විණිමය හා රටෙන් එළියට යන විදේශ විණිමය අතර වෙනස රටේ විදේශ සංචිත වලට එකතු වෙනවා. නමුත්, අනිවාර්යයෙන්ම මහ බැංකුවේ නිල සංචිත වලට එකතු වෙන්නේ නැහැ. එසේ වන්නේ මහ බැංකුවට කෙළින්ම විදේශ විණිමය ලැබුනොත් හෝ මහ බැංකුව විසින් මැදිහත් වී එම විදේශ විණිමය මිල දී ගත්තොත් පමණයි.

පසුගිය වසර තුළ රටේ නිල විදේශ සංචිත, එනම් මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණය, ඩොලර් මිලියන 1,898 සිට ඩොලර් මිලියන 4,392 දක්වා ඩොලර් මිලියන 2,495කින් ඉහළ ගියා. ඊට අමතරව වාණිජ බැංකු සතු විදේශ වත්කම් ප්‍රමාණයද ඩොලර් මිලියන 3,976 සිට ඩොලර් මිලියන 4,981 දක්වා ඩොලර් මිලියන 1,005කින් ඉහළ ගොස් තිබෙනවා. බැංකු පද්ධතියෙන් පිට පුද්ගලයින් හා ආයතන සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,956 සිට ඩොලර් මිලියන 3,173 දක්වා ඩොලර් මිලියන 17කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව, 2022 වසර අවසානයේදී රටේ මුළු විදේශ වත්කම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 8,830 වසර අවසාන වන විට ඩොලර් මිලියන 12,546 දක්වා ඩොලර් මිලියන 3,716කින් ඉහළ ගොස් තිබෙනවා.

රටේ විදේශ වත්කම්- 2019 ජූනි 30:

මහ බැංකුව – ඩොලර් මිලියන 8,865

අනෙකුත් බැංකු – ඩොලර් මිලියන 2,637

බැංකු නොවන අංශ – ඩොලර් මිලියන 2,549

එකතුව – ඩොලර් මිලියන 14,051

රටේ විදේශ වත්කම්- 2022 මාර්තු 31:

මහ බැංකුව – ඩොලර් මිලියන 1,917

අනෙකුත් බැංකු – ඩොලර් මිලියන 3,441

බැංකු නොවන අංශ – ඩොලර් මිලියන 2,715

එකතුව – ඩොලර් මිලියන 8,073

රටේ විදේශ වත්කම්- 2023 දෙසැම්බර් 31:

මහ බැංකුව – ඩොලර් මිලියන 4,392

අනෙකුත් බැංකු – ඩොලර් මිලියන 4,981

බැංකු නොවන අංශ – ඩොලර් මිලියන 3,173

එකතුව – ඩොලර් මිලියන 12,546

මහ බැංකුවේ මෙන්ම සමස්තයක් ලෙස රටේද විදේශ වත්කම් ඉහළ ගොස් තිබීම හොඳ තත්ත්වයක්. එහෙත් රටේ විදේශ බැරකම් ප්‍රමාණය මෙම විදේශ වත්කම් ප්‍රමාණයට වඩා කිහිප ගුණයකින් වැඩියි. මෙම තත්ත්වය මෑතකදී ඇති වූ තත්ත්වයක් නෙමෙයි. ඒ වගේම කෙටි කාලයකින් විසඳාගත හැකි ප්‍රශ්නයකුත් නෙමෙයි. නමුත් විසඳාගත යුතු ප්‍රශ්නයක්. 2023 දෙසැම්බර් 31 වන විට ලංකාවේ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 63,986ක්. මෙයින් ඩොලර් මිලියන 54,832ක් විදේශ ණයයි. ඉතිරි කොටස විදේශිකයින් සතු කොටස් ආයෝජන.

මේ අනුව, 2023 වසර අවසානයේදී රටේ ශුද්ධ විදේශ බැරකම් හිඟය ඩොලර් මිලියන 51,440ක්. මෙම ගණනයේදී ස්වෛරිත්ව බැඳුම්කර හා අදාළ බැරකම් ගණනය කර තිබෙන්නේ දැනට එම බැඳුම්කර අලෙවි වන මිල ගණන් මත පදනම්ව බැවින් සැබෑ බැරකම් ප්‍රමාණය මීටත් වඩා වැඩි විය යුතුයි.

ලංකාව නිදහස ලබන විට, රටේ විදේශ බැරකම් ප්‍රමාණය මෙන් දහ ගුණයක පමණ විදේශ වත්කම් ප්‍රමාණයක් එකතු වී තිබුණා. එහෙත්, රජය විසින් දිගින් දිගටම ආදායම ඉක්මවා වියදම් කරද්දී විදේශ සංචිත ටිකෙන් ටික අඩු වී විදේශ ණය ටිකෙන් ටික ඉහළ ගියා. 1963 වන විටද ලංකාවේ විදේශ වත්කම් ප්‍රමාණය විදේශ ණය ප්‍රමාණයට වඩා වැඩි වුවත්, 1964 වන විට මේ තත්ත්වය කණපිට හැරී ලංකාව ශුද්ධ ණයකරුවෙකු බවට පත් වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවු ලබා ගන්නට සිදු වුනා.

ලංකාව විසින් 1965 ජූනි 15 දින පළමු වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගත්තා. එම ණය මුදලේ උදවුවෙන් රටේ ආර්ථිකය ස්ථාවර කරගත් නමුත් එසේ රටේ ආර්ථිකය අස්ථාවර වීමට හේතු වූ පාදක කරුණු ගැන සැලකිලිමත් වී ප්‍රශ්නයේ මුල් ගලවා දැමීමට උනන්දු වුනේ නැහැ. ඒ නිසා, ලංකාවට 1964 ගෙවුම් ශේෂ අර්බුදය වැනි අර්බුද වලට දිගින් දිගටම මුහුණ දෙන්නට සිදු වුනා. මෙය අවසන් වුනේ විදේශ ණය ආපසු ගෙවීම පැහැර හරින්නට සිදු වන තරමේ අර්බුදයකින්.

දිගින් දිගටම මෙවැනි තත්ත්වයන්ට මුහුණ නොදීමටනම් රටේ විදේශ බැරකම් වලට සාපේක්ෂව විදේශ වත්කම් ඉහළ දමා ගත යුතු වෙනවා. ඒ සඳහා, අඩු වශයෙන් යම් කාලයක් යන තුරු, උපයන විදේශ විණිමය ප්‍රමාණයට වඩා අඩු විදේශ විණිමය ප්‍රමාණයක් වැය කරන්නට සිදු වෙනවා. රාජ්‍ය අයවැය තුලනය පවත්වා නොගෙන මෙය කළ නොහැකියි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan