*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

(VIDEO):ආප්පත් කාලා මහින්ද එක්ක මැච් එක ගහපු මෛත්‍රීට චන්ද්‍රිකාගේ පොලිටියෝලොජිවලින් රිංගන්න හැකි වෙයිද?

කොළඹ LNW:සතියේ දේශපාලන විග්‍රහය

ගෙවුණු සතියේ වැඩි කතාබහට ලක්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර බල අරගලයයි. පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කණ්ඩායම සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහය දෙන කණ්ඩායම අතර මෙම ද්වන්ද බල අරගලය හටගෙන තිබෙනවා. දෙපාර්ශවය විසින්ම මරදාන ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මුලස්ථානයට ඉබි යතුරුද දමා තිබෙනවා. එළඹෙන 18 වැනිදා දක්වා හිටපු මෛත්‍රීපාල සිරිසේනගේ පක්ෂ සභාපති ධුරයද තාවකාලික වාරණයකට ලක්ව තිබෙන අතර පුටු සටනේ හොඳම හරිය කොහොමත් එන්න නියමිතව තිබෙන්නේ අවුරුදු නිවාඩුවෙන් පසුවට. දෙපාර්ශවයම ප්‍රකාශ කරලා තියෙන ආකාරයට නම් දෙගොල්ලොම අවුරුදු නිවාඩුවෙන් පස්සේ සටනට අවතීර්ණ වීමට නියමිතයි. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය පවසන ආකාරයට නම් ශ්‍රීලනිපය බේරා ගැනීමේ ෆයිනල් මැච් එක තමයි පටන්ගන්න නියමිතව තියෙන්නේ.

චන්ද්‍රිකාගේ හයියෙන් ජ්‍යෙෂ්ඨ උප සභාපති විදිහට නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රීලනිපයේ දේශපාලන මණ්ඩලයත් කැඳවලා වැඩබලන තනතුරු කිහිපයකුත් පත්කරගෙන ඉස්සරහට යන්න හැදුවට මෛත්‍රීපාල සිරිසේන විසින්ම එළියට දාපු හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර පැහැදිලිවම කිව්වේ නිමල් සිරිපාලගේ දේශපාලන මණ්ඩල රැස්වීම පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව අනීතික මෙන්ම බල රහිත බවයි. පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩලය රැස්කිරීමේ බලතල ඇත්තේ සභාපතිවරයා වෙත. බල කෙළිය වෙනුවෙන් රටේ ව්‍යවස්ථාවත් කඩන රටක පක්ෂයක ව්‍යවස්ථාවට පිටින් ගිහින් පුද්ගල බලය පෙන්වීම මේ සිරි ලංකාවට ඉතින් අලුත් අත්දැකීමකුත් නෙවෙයි.

චන්ද්‍රිකාගේ දේශපාලන භාවිතාව ගැන ඉතිහාසයේ පටන්ම අත්දැකීම් ඇති මෛත්‍රීපාල සිරිසේනත් මේ බල සෙල්ලම අතහරින්නේ නම් නැහැ කියන එක ෂුවර්. ග්‍රාම නිලධාරී තනතුරේ ඉදල රටේ ජනාධිපති දක්වාම එන්න මිනිහෙක්ට මොනතරම් කූට දේශපාලන හැකියාවක් තියෙන්නේ ඕනෙද කියන එකට හොඳම උදාහරණය තමයි මෛත්‍රීපාල සිරිසේන. යහපාලන ආණ්ඩුව කාලේ රනිල් පාර්ශවය එක්ක තිබුණු නොහොද නෝක්කාඩුව කෙළවරක් කළේ ව්‍යවස්ථාවටත් පිටින් ගිහින් මහින්දව යළි අගමැති පුටුවෙත් වාඩි කරවල. එහෙම මෛත්‍රී එක්ක හැප්පෙන් එකෙත් ඉස්සරහට රසබර තැන් අපට දැකගන්න පුළුවන් වෙයි. චන්ද්‍රිකා මෛත්‍රී ගැටුම කොහොමත් රස ආකාරයක් වනු නොඅනුමානයි.

මෙතන වෙලා තිබෙන්නේ බලය පිළිබඳ ප්‍රශ්නයක්.කවුද අකමැති බලය ගිලිහෙනවට. එදා මහින්ද රාජපක්ෂ මැදමුලනට ගිහිල්ලත් ජනේලේ එල්ලිලා නැවත වටයකින් කරළියට ආපු විදිහ ගැන හිතුවොත් බලයක් සහිතව සිටි අයට බලය ගිලිහෙන එක මොනතරම් වේදනාවක් ද කියන එක හොඳින්ම තේරෙනවා.

දේශපාලනයේ එන බලය පිළිබඳ සංකල්පය පැහැදිලි කරමින් නූතන දේශපාලන විද්‍යාවේ පියා ලෙස සැලකෙන නිකලෝ මැකියාවෙලි පවසන්නේ දේශපාලනය කියන්නෙම බල අරගලයක් බවයි. ඔහු විසින් රචනා කරන ලද The Prince හෙවත් කුමාරයා කෘතිය තුළ මෙම බල අරගලය සම්බන්ධයෙන් සුමට පැහැදිලි කිරීමක් සිදුකරන අතර බලය අල්ලා ගැනීම,බලය තහවුරු කර ගැනීම සහ බලය ව්‍යාප්ත කිරීම ප්‍රධාන කොට දක්වනවා. අදටත් එහි වෙනසක් සිදුවෙලා නැහැ. දේශපාලනය කියන්නෙම බලය සමඟ ගැට ගැහෙන දෙයක්. බලය තියෙන අය එය සදාකාලික බූදලයක් ලෙස පවත්වා ගැනීමටත් සෙස්සන් බලය අත්පත් කරගැනීම වෙනුවෙනුත් දැඩි පරිශ්‍රමයක් දරනවා. එය අපට සාමාන්‍ය ව්‍යවහාර සමාජය තුළ දක්නට ලැබෙන දෙයක්.

අද මෛත්‍රී සහ චන්ද්‍රිකා ශ්‍රීලනිප ගැටුම තුළ පෙන්නුම් කරන්නේද එකී බල අරගලයයි. දෙදෙනාම ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ හොඳට තෙම්පරාදු වූ චරිත ලෙසින් ඔවුන් මොන පිස්සු කතාව කිව්වත් දේශපාලනිකව උපක්‍රමිකයි. මේ මොහොතේ චන්දිකා කුමාරතුංග හිටපු ජන්ධිපතිනිය සහය දෙන කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහය ලැබුණද මෛත්‍රි ද ගේම අතහරින්නේ නැහැ. අන්තිමට දෙගොල්ලොම අත්වැල් පටලාගෙන යන්නත් පුළුවන්. මොකද මේ දේශපාලනය තුළ සදාකාලික මිතුරොත් හතුරෝත්ය් නැති නිසා.

පක්ෂ අභ්‍යන්තරයේ මතවාදී ගැටුම් කියන්නේ අරුමයක් නෙවෙයි. එකී ගැටුම් තමයි නව ආරම්භයක් සපයන්නේ. ශ්‍රිලනිපයත් ආරම්භයේ පටන්ම අභියෝග වලට හැල හැප්පීම් වලට ලක්වුණු පක්ෂයක්. චන්ද්‍රිකා කුමාරතුංග පවා දේශපාලන ක්‍රියාක්රිත්වය තුළ සිය මව් පිය උරුමයටත් එරෙහි වුණ දේශපාලනික අවස්ථා තිබෙනවා. අදත් එහි එක් තවත් සංධිස්ථානයක් විය හැකියි. මේ මොහොතේ රටේ පවතින ජාතික මැතිවරණ අපේක්ෂාවන් සමඟ මෙකී අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කිරීම තවත් පැත්තකින් දේශපාලනික උපක්‍රම විය හැකියි. දේශපාලනය කියන්නේ ගතික දෙයක් නිසාම මේ කතාන්දරය හෙට දවස වෙද්දී තවත් පැත්තකට හැරෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් රැල්ල කොහේ ගියත් වෙරළ හොයාගෙන එනවා වගේ ඔය එහෙට මෙහට විසිරෙන අයත් යළි වටයකින් එක තැනකට එකතු වෙන්න පුළුවන්. අපි බලමු ඒ වෙරළේ ඉන්නේ චන්ද්‍රිකා ද මෛත්‍රී ද කියල.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan