සටහන – රුවන් නෙළුගොල්ල
මැයි දිනය සැමරීම සඳහා තම පක්ෂය සමග එකතු වන ලෙස සමගි ජන බලවේගය විසින් එක්සත් ජාතික පක්ෂය වෙත යවන ලද ලිපියට එජාප මහලේකම් තලතා අතුකෝරාළ මහත්මිය පිළිතුරු ලබාදී තිබේ.
ඒ අනුව සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලිපියක් යවමින් ඇය දැනුම් දී ඇත්තේ මෙවර මැයි දිනය යෙදී ඇති පළමු වැනිදා පසළොස්වක පොහෝ දිනයක් බැවින්, එදින දේශපාලන කටයුතුවල නොයෙදී ආගමික උත්සව සඳහා වෙන් කිරීමට එක්සත් ජාතික පක්ෂය කලින්ම තීරණය කළ බවයි.
එහෙයින් සමගි ජන බලවේගයේ හෝ වෙනත් පක්ෂයක හෝ මැයි දින රැලිවලට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂයට අවකාශයක් නොලැබෙන බවයි ඇය සඳහන් කර ඇත්තේ.
එමෙන්ම මැයි පළමු වෙනිදා පොහෝ දිනයක් වුවහොත් දේශපාලන කටයුතුවල යෙදීම සුදුසු නොවන බවට රණසිංහ ප්‍රේමදාස මහතා අගමැතිවරයා ලෙස සිටි සමයේ පෙන්වා දී ඇති බවත් එජාප මහලේකම්වරිය සිහිපත් කර ඇත.
කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජන බලවේගය එකට එකතු වී වැඩකිරීම බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව බවත් එබැවින් අනාගත දේශපාලන කටයුතුවලදී එකට වැඩ කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඇය වැඩිදුරටත් සිය ලිපියෙන් දැනුම් දී ඇත.



