හදිසියේවත් බුදු හිමියන් වැඩියේ නම්!

උපාලි කොළඹගේ

කොළඹ LNW:කොහොමවත් විය නොහැකි දෙයක්. බුදු හිමියන් නිවන් ගොස් බොහෝ කල්ය.

මට එහෙම හිතුනේ සාම පා ගමනේ ඇතැම් අවස්ථාවල අපේ අය හැසිරුණු අසංවර විලාශයන් දුටු විටය. රූපවාහිනියේ ඇතැම් දර්ශන දුටු විට මට මේ හැසිරීම් භක්තිය හෝ ශ්‍රද්ධාව මුල් කරගෙන සිදු වූබවක් නම් නොසිතේ. බොහෝ අයගේ හැසිරීම් රටාව දුටු විට සිතෙනුයේ තම තමන්ගේ පින් ගිණුමේ ගොඩ වැඩි කර ගැනීමට තරග කිරීමක් ලෙසය. අනිකාට පෙර හිමිනමට ළං වීමේ අභිලාෂයෙන් එකිනෙකා පරයා තරග කිරීමක් ලෙසය දක්නට තිබුණේ. ඇතැම් අය තුළ ආලෝක සුනඛයාට පැවති සංවරයවත් තිබුණේ නැත. ආරක්ෂක අංශවලටද මේ බැතිමතුන් පාලනය කිරීමට ඇතැම් අවස්ථාවල බොහෝ වෙහෙසක් දැරීමට සිදුවිය. මෙය බලා සිටින අපට නම් ඇතිවනුයේ අපුලකි. ඇත්ත වශයෙන්ම බෞද්ධයන් තුළ තිබිය යුත්තේ ශ්‍රද්ධාව මිස භක්තිය නොවේ.

මෙසේ කීම සාහසිකද විය හැක. නමුත් නොකියාම බැරිය. ආමිසයට මුල් තැන දීම බෞද්ධ ජීවන ක්‍රමයේ එකම මාර්ගය බවට බොහෝ දෙනකු පත්කර ගෙන හමාරය. කට්ට අව්වේ කිරි දරුවන් වඩා ගෙන ආරක්ෂක නිලධාරීන්ගේ උපදෙස් ද නෑසු කන්ව හිමි නමට ළං වීමට උත්සාහ කිරීමේ පරමාර්ථය ආශිර්වාද ලබා ගැනීමට විය හැක. ඒ තුළ ද බොහෝ විට ඇත්තේ පෞද්ගලික ලාභාපේක්ෂාවක් මිස අන් කවර පරමාර්ථයක් ද? වර්තමානයේ බෞද්ධ සිද්ධස්ථානවලට ගිය විට දක්නට ලැබෙනුයේ මෙම තත්ත්වයය. මෙය බෞද්ධ ප්‍රතිපත්තිවලට කිසිසේත් ගැල පෙන්නේ නැත.

වියට්නාමයේ පඤාකර හිමියන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරමාදර්ශී හිමිනමක යැයි යන්න මගේ අදහසයි. ⁣පාවහන් නොමැතිව මේසා දුරක් වැඩීම වුවද උන්වහන්සේගේ චාම් චරිතය විදහාපාන කැඩපතක් වැන්න. එවැනි හිමි නමක් සමග අප කට යුතු කළ යුත්තේද ඊට ගැලපෙන ආකාරයටය. ඇතැම් ව්‍යාපාරික හිමිවරුන් සමග කටයුුතු කරන ආකාරයට එහිමියන් සමග කටයුුතු කිරීම බෞද්ධකමට ගැලපෙතැයි සිතිය නොහැක. එහිමියන්ගේ අරමුණ ද ලෝක සාමය ඇති කිරීමට උත්තේජනයක් වීම මිස සියලු දෙනා ක්ෂණිකව නිවන් මගට යොමුකිරීම නොවේ. එය උදාර පරමාර්ථයකි. නිවන් මගට යොමු වීම පියවරෙන් පියවරෙන් යායුතු දිගු ගමනකි. නිවනට පෙර හැබෑ බෞද්ධයන් සිත යොමු කළ යුතු කාරණා බොහෝය. ආමිස පූජාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතු යැයි කිසිසේත් අදහස් නොකරමි. ආමිසය අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති ඔපවත් කිරීමට මිස ආමිස පූජාව මත ප්‍රතිපත්ති දියකර හැරීමට නොවේ. ගස්වලට සිවුරු පැළැන්ද වීම, දහස් ගණන් මල් කඩා ප්‍රදර්ශනාත්මක පූජා පැවැත්වීම, ආදිය ඇතැම් බෞද්ධයන්ගේ චර්යාවන් බවට පත්ව තිබේ. දරුවන් විභාගවලින් සමත් කරවීම, රැකියාවක් ලබා ගැනීම, දරුථල ලබා ගැනීම ආදී කාරණා සඳහා ආගමික පුදපූජා පැවැත්වීම වර්තමානයේ ඇතැම් බෞද්ධයන්ගේ නිසරු මෝස්තරයක් බවට පත්ව තිබෙි.

ඇතැම් අය වියට්නාම් හිමිනම ඉදිරියේ තරඟකාරී ලෙස බිම දිගාවී වැඳුම් පිදුම් කළේ එවැනි අයහපත් අපේක්ෂා පෙරදැරිව දැයි සිතීමට බොහෝ හේතු තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...