ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW: මෙම වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලට අදාළ විදුලි ගාස්තු සංශෝධනය අද (11) සිට ක්රියාත්මක කිරීමට නියමිතයි.
2026 වසරේ දෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනය අප්රෙල් පළමු වැනිදා සිට ක්රියාත්මක කිරීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගියදා අනුමැතිය ලබා දුන් අතර එම අවස්ථාවේ 8%ත් 14.4%ත් අතර ප්රමාණයකින් ගාස්තු ඉහළ ගියේය.
කෙසේවෙතත් නැවත වරක් මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුවක්, නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමු කර තිබුණි.
ඊට හේතු ලෙස දක්වා තිබුණේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා වැයවන පිරිවැය ඉහළ යාම නිසා විදුලි ගාස්තු ඉහළ නැංවීමට සිදුව ඇති බවයි.
ඒ අනුව 18%ක ගාස්තු සංශෝධනයක් සිදුකර තිබෙන අතර එහිදී ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට ඒකක 180 දක්වා ගාස්තු ඉහළ දැමීමක් සිදු කර නැත.
කෙසේවෙතත් විදුලි ගාස්තු ඉහළ යෑමෙන් විදුලි පාරිභෝගිකයින් පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා රුපියල් බිලියන 15ක සහනාධාරයක් ලබාදීමට රජය ලිඛිතව කොමිසමට එකඟ වී තිබේ.
මෙවර විදුලි ගාස්තු වැඩිවීම මෙරට විදුලි පාරිභෝගිකයන් සියයට 95කටම අදාළ නොවන බවද දක්වා ඇත.
ඒකක 181ට වැඩි එනම් ඒකක 210ක් භාවිත කරන විදුලි පාරිභෝගිකයෙකුගේ මෙතෙක් පවතින රු.9,570ක ගාස්තුව රු. 11,330ක් දක්වා රුපියල් 1,760කින් ඉහළ යන අතර ඒකක 240ක් භාවිත කරන අයෙකුගේ මෙතෙක් පවතින රු.12,120ක බිල්පත රු.2,210කින් ඉහළ දමා ඇති අතර එහි නව ගාස්තුව රු.14,330ක් ලෙස වැඩි වී තිබේ.
ඒකක 270ක් භාවිත කරන ගෘහස්ථ කාණ්ඩයේ විදුලි ගාස්තුව රුපියල් 2,660කින් සහ ඒකක 300ක් භාවිත කරන විදුලි පාරිභෝගිකයෙක්ගේ බිල්පත රු.3,110කින් දමා ඇත.


