*
Monday, June 17, 2024
spot_img

Latest Posts

ජපානයේ ප්‍රථම ථේරවාදී විහාරස්ථානයට වසර 40ක් සපිරෙයි – දැනගෙන හිටියද ඒ අපූරු කතාව!

කොළඹ LNW:පසුගිය සියවසේ හත් වන දශකය දක්වා ජපානයේ සම්පූර්ණයෙන්ම පැවතුණේ මීට වසර 1941 ට පමණ පෙර පැමිණි මහායාන බුදුදහමයි.1984 මැයි 26 වෙනි දින ජපානය ප්‍රථම ථේරවාදී ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය වන ලංකා ජී විහාරය බානගල උපතිස්ස නා හිමියන්ගේ ආරාධනයෙන් එවක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී මේ වසරට වසර 40 කි.මේ එම විහාරය ඉදිකිරීමේ ඉතිහාසය පිළිබඳ බානගල උපතිස්ස නා හිමියන් සමග කළ සාකච්ඡාවකි.

”වර්තමාන ශ්‍රී ලංකාවේ තරුණ තරුණියෝ බොහොම දෙනෙක්ගේ හීනයක් තමයි ජපානයේ රස්සාවකට එන එක. ඒ වගේම මමත් ඒ කාලෙ බොහොම කැමැත්තෙන් තමයි හිටියේ ජපානේට එන්න.ඒ ඉගෙන ගන්න.මට ජපානයට එන්න මුලින්ම අවස්ථාව ලැබුණේ ජපන් භාෂාව ඉගෙන ගන්න.ඒ 1976 විතර. ඊට පස්සේ මට හිතුනා ජපානයේ ළදරු අධ්‍යාපනය ගැන ඉගෙන ගන්න. මොකද ජපානයේ ළදරු අධ්‍යාපනය ඒ කාලෙත් ඉතාමත්ම දියුණු එකක්. නමුත් 1970-80 කාලේ ලංකාවේ ළදරු අධ්‍යාපනය ඒ කියන්නේ මොන්ටිසෝරි අධ්‍යාපනය එහෙම ක්‍රමවත් එකක් නෙමෙයි. මම ජපානයට එනකොට මට අවුරුදු විසි හයයි. මම ළදරු අධ්‍යාපනය පිළිබඳව හදාරමින් ඉන්න කාලේ මට හිතුණා මට කවදා හරි මේ රටින් යන්න වෙනවා ,ඒ යනකොට මේ රටේ ලංකාවේ නම පවතින දෙයක් කරලා, නොමැකෙන සිහිවටනයක් තියලා යන්න ඕනේ කියලා. පසුව මම කල්පනා කළා මට ඒ වගේ අදහසක් ආවේ ඇයි කියලා.මමත් අවුරුදු දොළහ ඉඳලා ධර්මපාල පරපුරේ කෙනෙක් හැටියට එතුමාගේ ජීවිතය, දර්ශනය, බලාපොරොත්තු පිළිබඳ ඉතාම ගැඹුරින් කියවලා හදාරලා තිබුණා. ධර්මපාලතුමා කිහිප වතාවක්ම (1889/1893)ජපානයට ඇවිල්ලා තිබුණා.කියෝතෝ, ඔසාකා,යෝකෝහාමා ටෝකියෝ වගේ නගරවල ජපාන බෞද්ධයන් හමුවුණා. අද වගේ නෙමෙයි ඒ කාලේ ඉතාමත්ම දුෂ්කර තත්ත්වයන් යටතේ නැවෙන් තමයි එතුමා ජපානයට ආවේ. බොහෝ අවස්ථාවල එතුමා දැඩි ලෙස අසනීප වුණා. ධර්මපාලතුමා ගිය යුරෝපය ඇතුළු බොහෝ රටවල්වල මහාබෝධි සමාගම ස්ථාපිත කළා, බෞද්ධ ආගමික වැඩ කටයුතු ආරම්භ කළා. නමුත් උන්වහන්සේට ජපානයේ ඒ වැඩ කටයුත්ත කරගන්න බැරි වුණා. ජපානය සහ අපි අතර ආගමික සංස්කෘතික වශයෙන් ඉතා සමීප බැඳීමක් තිබුණත් ඇයි ධර්මපාලතුමාට මේ දේ කරගන්න බැරි වුණේ කියන එක මට ප්‍රශ්නයක්. විශේෂයෙන් ධර්මපාලතුමා ඒ කාලේ ජපානයේ දියුණුව, ජපානයේ මිනිසුන්ගේ උත්සාහවන්ත භාවය, වැඩ කිරීමේ අනලස් බව,අවංක බව ගැන ලංකාවේ බොහෝ දෙනාට කිව්වා ,දේශන තිබ්බා ” ජපන්නු වගේ හැදෙන්න බලන්න” කියලා. ධර්මපාලතුමාගේ මේ ජපාන හිතවාදී බව නිසාම උන් වහන්සේ බ්‍රිතාන්‍ය පාලකයන්ගේ දෝෂ දර්ශනයට සහ කෝපයට ලක් වුණා. ඒ නිසා තමයි උන්වහන්සේට ලංකාවෙන් යන්න පවා සිද්ධ වුණේ. ඉන්දියාවේදීත් උන් වහන්සේව හිරේ දැම්මේ ඒ කාලේ ජපානයට හිතවාදීව කතා කළ නිසා.

ඒ නිසා ධර්මපාලතුමාට ලොකු සිහිනයක් තියෙන්න ඇති ජපානයේත් ථෙරවාදී බුදු දහම ස්ථාපිත කරන්න බෞද්ධ විහාරයක් පිහිටුවන්න. මොකද ජපානයේ විසිරී පැතිරී තිබෙන්නේ මහායාන බුදු දහම. ථෙරවාදී බුදුදහම ඒ කාලෙත් ජපානයේ තිබුණෙ නැහැ. ඉතින් මට හැම තිස්සෙම හිතුණේ ධර්මපාලතුමාගේ ඒ සිහිනය මම කොහොම හරි සැබෑ කරන්න ඕනේ කියලා. එහෙම හිතලා එතුමාට ගෞරවයක් ලංකාවට අභිමානයක් ඇති කරන, කවදාවත් අහෝසි නොවන සිහිවටනයක් ජපානයේ ඇති කරන්න ඕනේ කියලා මම අධිෂ්ඨානයක් ගත්තා. ඒ නිසා මම ජපානයට ඇවිල්ලා ටික කාලයක් යනකොට හිතුවා ඉතාම දුෂ්කර වැඩක් වුණත්, ජපානේ වගේ රටක විදේශිකයෙක්ට කරන්න හිතන්නවත් බැරි ඒ ඉලක්කයට මම යන්න ඕනේ කියලා. කෙනෙක්ට කරන්න ඕනේ කියලා හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ, කියලා මම හිතුවා. කොහොම හරි අපේ රටේ ථෙරවාදී බෞද්ධ විහාරයක්, ජපානයේ කොහොම හරි ස්ථාපිත කරනවා කියලා මම හිතා ගත්තා.

මම අධ්‍යාපනය ලබන කාලයේ නතර වෙලා හිටියේ මට ජපානයට එන්න සියලු මාර්ග විවර කර දුන් ජපානයේ මගේ අම්මා වුණ යොෂිඩා මැතිනියගේ නිවසේ. ඇත්තටම භික්ෂුවක් හැටියට මට අවශ්‍ය වුණා වෙනම ජීවත් වෙන්න. ඒක පිළිගත්ත යොෂීඩා මැතිණීය ඒකට මට උදව් කරන්න එකඟ වුණා. යොෂිඩා මැතිනියගේ ගෙදර ඉන්න කාලෙදි ජපානයේ බෞද්ධ උගතුන්, භික්ෂූන් වහන්සේලා, සහ ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් ඇය මට හඳුන්වා දුන්නා.ඇය මට කිව්වේ “මට දකින්න අවශ්‍යයි ඔබ ඔබගේම තැනක් ජපානයේ ගොඩනගා ගැනීම “කියලා.

ඒ අනුව මම Kitakoiwa Edogawa – ku වල කුඩා නිවසක් කුලියට ගත්තා. ඒක මට වඩා පහසු තැනක් වුණා. මම බුදුපිළිම වහන්සේ නමක් වැඩමවා එහි තැන්පත් කර ආගමික වතාවත් කිරීම ආරම්භ කළා. ජපානයේ සිටි බොහෝ ලාංකිකයන් සහ මගේ ජපන් මිතුරන් එතනට එන්න පුරුදු වුණා.

ජපානයේ ශ්‍රී ලංකා විහාරයක් බෞද්ධ මධ්‍යස්ථානයක් ගොඩනැගීම පිළිබඳව ඒ කාලේ හිටිය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයාව දැනුවත් කරලා තිබුණා. නමුත් මට එතුමා එක්ක කිසිම සම්බන්ධයක් තිබුණෙ නැහැ.

මේ කාලේ අධ්‍යයන කටයුතුවලට ඇවිල්ලා හිටිය ආචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ නතර වෙලා හිටියේ මගෙත් එක්ක. මං උන් වහන්සේට මගේ අදහස ගැන කිව්වා. ජපානයේ.ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානයක් පිහිටුවන්න අවශ්‍යයි කියලා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහත්තයාට දැනුම් දෙන්න ඕනේ කියලා. මොකද ජේ.ආර්. ජයවර්ධන මහත්තයා සහ ජපානය අතර විශාල බැඳීමක් තියෙනවා. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට ජපානයේ විශාල පිළිගැනීමක්, ගෞරවයක් තියෙනවා. ඒ අනුව වල්පොල රාහුල හාමුදුරුවෝ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට කතා කරලා කිව්වා,අපේ බානගල පොඩි හාමුදුරුවෝ ජපානේ මේ වගේ වැඩක් කරනවා,ඔබතුමා ඇවිල්ල ඒක විවෘත කරන්න ඕනේ කියලා.ජනාධිපතිතුමා ඒ ආරාධනාව පිළිගත්තා .

1984 ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයට පැමිණෙන අවස්ථාවේ එම ගමනින් උපරිම ප්‍රයෝජනය ගන්න හිතලා මම ලංකාජී විහාරය විවෘත කිරීමට එතුමට ආරාධනා කළා. ඒ උත්සවයට යොෂිඩා මැතිණිය ඉතාම උනන්දුවෙන් මට උදව් කළා. එම උත්සවය ඉතාම ඉහළින් සිදු කරන්න අපට අවශ්‍ය නිසා ඒ උත්සවය පවත්වන්න අපිට ලොකු ශාලාවක් අවශ්‍ය වුණා. යොෂීඩා මැතිණිය සහ ශෝකන්ජි විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය ඔකුමාරා හිමි ඒ පිළිබඳ සාකච්ඡා කර ටෝකියෝ නුවර තිබූ Ikegami Honmon – Ji විහාරයේ ශාලාව අපට ඒ වෙනුවෙන් ලබා දුන්නා. එම විහාරාධිපති නායක හාමුදුරුවොත් ඉතාම සතුටට පත්වුණා ලංකාවේ ජනාධිපති ජේ.ආර් ජයවර්ධන එම විහාරයට එන එක ගැන. මොකද ජේ ආර් ජයවර්ධන මහත්තයාට ජපාන ජාතිකයන්ගේ විශාල ගෞරවයක් තියෙනවා එතුමා ජපානය වෙනුවෙන් එදා සැන් ෆැන්සිස්කෝ නුවරදී කළ කතාව ගැන. මං හිතන්නේ ලාංකිකයෙක් වෙනුවෙන් ජපානයේ ස්මාරක කීපයක්ම ඉදිකර තිබෙන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා වෙනුවෙන් විතරයි. ඒ කාලේ ජපාන ජාතිකයන් ලංකාවේ අය ගැන හා ලංකාවේ බුදු දහම ගැන ඒ තරම් දැඩි උනන්දුවක් දැක්වුවේ නැහැ.දැනුමක් තිබුණෙ නැහැ. නමුත් ජේ.ආර්. ජයවර්ධන ගැන ඔවුන් බොහෝ දෙනෙක් දන්නවා.ඒ නිසා බොහෝ දෙනෙක් මේ උත්සවයට ආවා. ඒකෙන් ජපානයේ බොහෝ දෙනෙක්ට දැනගන්න ලැබුණා ජපානයේ ශ්‍රී ලංකා විහාරය ගැන. ඒක මගේ ඉදිරි වැඩ වලට ලොකු සහයක් වුණා.

ඒ අනුව 1984 මැයි 26 වෙනි දින ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ජපාන චාරිකාව අතරවාරයේ දී ජපානයේ ප්‍රථම ථෙරවාදී හා ලංකාවට සම්බන්ධ ප්‍රථම විහාරය නිල වශයෙන් විවෘත කළා.

නමුත් මට අවශ්‍ය වුණා අපේම විහාරයක් මේ බිමේ හදන්න. මොකද මෙතන හිටියේ මම කුලියට. මේක ලේසි පහසු දෙයක් නෙමෙයි. අවශ්‍ය මුදල හිතා ගන්නවත් බැහැ. ජපානේ ඉඩම් හරි ගණන්. අනික මම ජපානේ කිසිම මුදල් උපයන මාධ්‍යයක යෙදිලා හිටිය කෙනෙක් නෙමේ. නමුත් හිත ඇත්නම් මොනවද කරන්න බැරි කියලා හිතලා, මම මගෙත් එක්ක සමීපව ඉන්න ජපන් ජාතිකයන් හැමෝම එක්කම ඒ ගැන හැම තිස්සෙම කතා කළා. මෙහෙම ඉන්න කොට දවසක් (1989) ජපන් ජාතික “නකසතෝ කෝජි” මහතා කිව්වා හැමදාම මේක කිය කියා ඉඳලා හරියන්නෙ නැහැ. මොකක් හරි කරන්න පටන් ගන්න ඕනේ කියලා, එයා මට යෙන් (yen 1000000) මිලියනයක් දුන්නා. මං ඊට පෙර ජීවිතේටවත් යෙන් මිලියනයක් දැකලත් නැහැ, අල්ලලාවත් නැහැ.මේක ලැබුණහම මට මහා පුදුමයක් වගේම මහ සතුටක් දැනුනා. ඉතින් මම ඒ සතුට බෙදා ගන්න ඊට පහුවෙනිදා මේ සිද්ධිය යොෂීඩා මැතිණියට කිව්වා. එතුමියත් මට යෙන් මිලියනයක් දුන්නා. ඒ සතුටත් එක්ක ඊට පහුවෙනිදා මම ඒ සිද්ධිය .කිව්වා “අයිකාවා මිට්සුවෝ” මහතාට. එතකොට එතුමත් තව යෙන් මිලියනයක් දුන්නා. ඊට පහුවද මම තව කෙනෙක්ට කතා කරලා කිව්වා මට මෙහෙම ඊයේ පෙරේදයි මුදල් ලැබුණා කියලා. ඒ කිව්වෙත් ඒ සතුට බෙදා ගන්නයි. එතකොට එයත් මට යෙන් මිලියනයක් දුන්නා. මේ විදිහට මට හිතවත් ජපන් ජාතිකයන් දහදොළොස් දෙනෙක් මට මුදල් පරිත්‍යාග කළා මේ වැඩේට.නමුත් ඒ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ ඒ කාලේ හැටියටත් ඉඩමක් ගන්නවත් තාවකාලික විහාරයක් ගොඩ නගන්නවත්. ඉතින් මම ඒ මුදල් ටික අතේ තියාගෙන ඉඩමක් හොයමින් හිටියේ. එතකොට නරිටා ගුවන් තොටුපොල ඉදිකරන්න පටන් අරන් තිබුණේ. ඉතින් මම ටෝකියෝවල ඉඳන් දුරින් පිහිටි ගම්බද ප්‍රදේශවලට ඇවිල්ලා හෙව්වා බැලුවා, මට හිතුනා ඒ වගේ පළාත්වල ඉඩම් ටිකක් මිල අඩු ඇති කියලා. ඒ වෙලාවේ තමයි මේ ටෝකියෝවල ඉඳලා කිලෝමීටර් 80ක් දුරින් පිහිටි කතෝරි නගරාසන්නයේ සවරා කියන පළාතේ කෝගයිෂිමා කියන මේ ඉඩම ගැන මට දැනගන්න ලැබිලා ඇවිල්ලා බැලුවේ. නමුත් මේ ඉඩම ගන්න අවශ්‍ය තරම් මුදල් මගේ අතේ තිබුණේ නැහැ. ඉතින් මේ ඉඩම හිමි ජපන් ජාතික මහත්තයා එක්ක මං කතා කරන කොට එයා මං ගැන පැහැදිලා හෝ මං ගැන අනුකම්පාවෙන් හෝ එයා කිව්වා “මේ ඉඩම ගන්න ඔයාගේ අතේ තියෙන මුදල මදි,නමුත් කමක් නැහැ. අතේ තියෙන මුදල දීලා මේ මුළු ඉඩම ඔයා ගන්න ,පස්සේ මට ඉතුරු සල්ලි මුදල් ලැබෙන විදිහට තියෙන වෙලාවක දෙන්න” කියලා. ඒ විදිහට තමයි මේ භූමිය ලැබුණේ.භූමිය ලැබුණට මෙතන මොකුත් ගොඩනැගිල්ලක් ඉන්න හිටින්න තැනක් තිබුණේ නැහැ. පස්සේ දන්න කියන අයට කතා කරලා එතන තාවකාලික ගොඩනැගිල්ලක් හැදුවා.

පස්සේ තමයි කාලයක් යනකොට ස්ථිර ගොඩනැගිල්ලක් හදාගන්න පුළුවන්කම ලැබුණේ. එහෙමයි මේ පන්සල එදා අපි ආරම්භ කළේ.

මේ විදිහට අපි ආරම්භ කළ මේ ලංකා ජී විහාරය අද විශාල දියුණුවක් ලබා තිබෙනවා.ඒක භෞතික දියුණුවක් වගේම ආධ්‍යාත්මික දියුණුවක්. අද ජපානයට එන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනාගේ වන්දනාමාන ස්ථානයක් බවට මෙම විහාරය පත් වෙලා තියෙනවා.

මෙම විහාරයේ තියෙන ඓතිහාසික විශේෂත්වයක් තමයි මේ විහාරය තමයි ජපානයේ ආරම්භ කළ ප්‍රථම ථෙරවාදී බෞද්ධ සිද්ධස්ථානය. ජපානයේ සම්ප්‍රදායක් සහ නීතියක් තියෙනවා, ජපානයේ යම් ආගමික ස්ථානයක් ස්ථාපිත කරනකොට ඒකට “ෂූකෝ හෝජින්”……..ලබාගත යුතුයි. ඒක ලබා ගැනීම ඉතාම අමාරුයි. විශේෂයෙන් විදේශීය කෙනෙකුට ඒක අතිශයින්ම අමාරුයි. නමුත් ජපන් රජය සවාරා ලංකා ජී විහාරයට ඒ ගෞරවනීය පිළිගැනීම ලබා දී තිබෙනවා.ඒ නිසා අද අපිට ජපානයේ ඕනෑම තැනක මේ විහාරයේ අනුබද්ධ ශාඛා පිහිටුවන්න අවසර තියෙනවා. ඒක ශ්‍රී ලාංකික අපි ලැබූ විශාල ගෞරවනීය ජයග්‍රහණයක්.

ඒ වගේම ලාංකික අපිට ආඩම්බර වෙන්න පුළුවන් තවත් ප්‍රධාන කාරණයක් තමයි, අපිට වඩා ආර්ථික වශයෙන් ශක්තිමත් ථෙරවාදී බුදු දහම ප්‍රචලිත රටවල් තිබුණත් ජපානයේ පළමු ථෙරවාදී බෞද්ධ සිද්ධස්ථානය ඉදි කරන්න හැකියාව ලැබුණේ ශ්‍රී ලාංකික අපිටයි.

අනිත් සුවිශේෂත්වය තමයි මම විශ්වාස කරන අන්දමට, මම දන්න තරමට ජපානයේ ඉඩමක් සින්නක්කර පළමු වරට මිලදී ගත් පළමු ලාංකිකයා මම. අදටත් මම දන්නෙ නැහැ කී දෙනෙක්ට මේ රටේ සින්නක්කර ඉඩම් තියෙනවද කියලා. ජපානේ අපේ තානාපති කාර්යාලය තියෙන්නෙත්,විශාලතම රාජ්‍ය ආයතන වන ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් තියෙන්නෙත් කුලියට ගත්ත ගොඩනැගිලිවල. ඒ අතින් අපි තවදුරටත් ආඩම්බර වෙන්න ඕනේ ලාංකික අපිට අයිතිය තියෙන බිමකම පළමු වෙනි ථේරවාදී බෞද්ධ විහාරය ජපානයේ ඉදිකරන්න අපිට හැකියාව ලැබුණට. ඒක අපි හැමෝගෙම විශාල ජයක්.

ඒ නිසා කුඩා කල සිටම මහාබෝධි සෙවනේ හැදුන වැඩුන මට අද සතුටු වෙන්න පුළුවන් එදා අනගාරික ධර්මපාලතුමන් දුටු සිහිනය මට එතුමා වෙනුවෙන් සැබෑ කරන්න පුළුවන් වීම ගැන. අද මෙම විහාරය ථෙරවාදී සම්ප්‍රදායේ චෛත්‍යයක්,අලංකාර බුදුපිළිම වහන්සේ නමක් සහිත බුදු මැදුරක්,ඝණ්ඨාර කුළුණ,ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැනි විහාරයකට අනිවාර්ය ත්‍රිවිධ චෛත්‍යයෙන් අනූන අත්‍යවශ්‍ය අංගවලින් සපිරුණු පූර්ණ බොදු පුදබිමක්. ඒ වගේම අපිට පුළුවන් වුණා අනගාරික ධර්මපාල තුමන්ගේ ප්‍රතිමාවක් මේ විහාර භූමියේ ස්ථාපිත කරන්න.එහෙම කළේ මේ විහාරයට එන අයට ජපානයේ වෙසෙන ලාංකික දරු පරපුරට, ජපන් ජාතිකයන්ට වාගේම විදේශිකයන්ට එතුමා පිළිබඳ තොරතුරු කියලා දෙන්න, ගෞරවයක් ඇති කරන්න.

විහාර ගෙයි වැඩ සිටින බුදුපිළිම වහන්සේ අපට පූජා කළේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. ඒ වගේම විහාර මළුවේ වැඩ සිටින බුදු පිළිම වහන්සේ අපිට පරිත්‍යාග කළේ කැපිටල් මහරාජා ව්‍යාපාර සමූහයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතා. ඒ වගේම අලංකාර චෛත්‍යය ඉදිකර දුන්නේ ශ්‍රී ලාංකික තරුණයෙක් වන ජගත් රාමනායක මහතා.

මේ විහාරය ආරම්භ කළ මුල් කාලයේ විහාරයේ වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලා තුන් හතර දෙනාට දානයවත් ලැබෙන ක්‍රමයක් තිබුණේ නැහැ. අපේ දාන වේල සපයා ගන්න එක අපිට ඒ කාලේ තිබුණ ලොකුම ගැටලුවක්. නමුත් අද බලනකොට විහාරයේ වාසය කරන භික්ෂූන් වහන්සේලාට දානය ලබා දෙනවා පමණක් නෙවෙයි විහාරයට පැමිණෙන සිය දෙනෙකුට වුණත් අපිට දිවා ආහාරය දෙන්න ශක්තිය ලැබිලා තියෙනවා.

ඒ වගේම මේ විහාරයේ වැඩ වාසය කරන අපේ භික්ෂූන් වහන්සේලා ඉතාම කැපවීමෙන් කටයුතු කරමින් පැමිණෙන දායක දායිකාවන්ගේ ආගමික කටයුතු ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. ඒ තුළින් තමයි මේ විහාරය අද වෙනකොට මේ තරම් දියුණුවකට පත්වෙලා තියෙන්නේ. මේ විහාරයට එන්නේ බෞද්ධයන් විතරක් නෙමෙයි. කතෝලික ක්‍රිස්තියානි අයත් එනවා මම දැකලා තියෙනවා මුස්ලිම් අය පවා එනවා. චෛත්‍ය විවෘත කරන දවසේ පළමු මල් කළඹ චෛත්‍යරාජයන් වහන්සේට පූජා කළේ මුස්ලිම් ජාතිකයෙක්. මොකද ජපානේ සිටින හැම ලාංකිකයෙක්ම හිතන්නේ ලාංකිකයෙක් විදිහට මිසක් ආගමික පසුබිමක් එක්ක නෙමෙයි.

මේ වන විට තවත් ථෙරවාදී විහාර කිහිපයක්ම ජපානයේ ඉදිකර තිබෙනවා. ඒ හැම විහාරයකටම එම කටයුතු කරගෙන යන්න හැකියාව ලැබුණේ ලංකා ජී විහාරය ලබාගත්තේ ගෞරවය මතයි. ලංකා ජී විහාරය පන්සලක් පමණක්ම නෙවෙයි. මෙය බෞද්ධ මධ්‍යස්ථානයක්,අධ්‍යාපන කේන්ද්‍රයක්,ඒ වගේම අධ්‍යාපනයට ,විවිධ අධ්‍යයන කටයුතුවලට ජපානයට එන අයගේ ගෙදර බවට අද පත්වෙලා තියෙන්නෙ මේ ලංකා ජී විහාරයයි. ඒ නිසා ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සැබෑ පාලම මේ විහාරයයි. ඒ වගේම මෙම විහාරය නිසා දැන හඳුනාගත් බුදු දහම හදාරන්න ආසාවෙන් සිටින සිය ගණන් ජපන් ජාතිකයෝ ලංකාවේ සංචාරයට එන්න පටන් ගත්තා. ඒ අය ලංකාවේ වෙහෙර විහාරවලට, ළදරු අධ්‍යාපනයට, සමාජ සේවා කටයුතුවලට ජපන් ජාතිකයන් විශාල වශයෙන් ආධාර උපකාර කළා. ඇත්තටම අපි ඒ කලේ මහා තානාපති සේවයක්. අපි කළ ඒ තානාපති සේවය අද ජපානයේ ඉන්න ශ්‍රී ලාංකික තරුණියෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉටු කරනවා කියන එක කියන්න ඕනේ. මොකද ඒ කාලේ ලංකාව කිව්වහම ජපන් ජාතිකයන් සිතියමේ හොයනවා කොහෙද මේ රට තියෙන්නේ කියලා. අද ජපන් ජාතිකයෝ බොහෝ දෙනෙක් ලාංකික තරුණ තරුණියන්ගේ ඇසුර නිසා ලංකාව ගැන බොහෝ දේ දැන හඳුනා ගෙන තියෙනවා. ඒ ගෞරවය මේ ලංකා ජී පන්සලට හිමිවෙන්න ඕන මොකද ,ලංකාවෙන් ජපානයට ආ බොහෝ දෙනෙක්ට මුල් කාලයේ නැගිටින්න අත හිත දුන්නේ මේ පන්සල. ඉන්න හිටින්න,කන්න බොන්න දුන්නා විතරක් නෙමෙයි ඔවුන්ට ඉදිරියට යන්න අවශ්‍ය බොහෝ දේ ළඟාකර දුන්නේ මේ විහාරස්ථානය. ඒ වෙනුවෙන් සාක්ෂි දරන්න ඕනැ තරම් අය ජපානයේත් ලංකාවෙත් අද ඉන්නවා.

අනික ලංකාවයි ජපානයයි අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති වෙන්නත් පෙර තමයි අනගාරික ධර්මපාලතුමා ජපානයට ආවේ. එතුමා තමයි මුලින්ම ජපානය සහ ලංකාව අතරේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු ආරම්භ කරන්න අඩිතාලම දැම්මේ. ඒ නිසා එතුමා එදා ඒ ආරම්භ කළ ජපානය සහ ශ්‍රී ලංකා අතර ආගමික,සංස්කෘතික,සමාජීය හා දේශපාලන සහයෝගීතාවය සහෝදරත්වය අපි තවදුරටත් ඉදිරියට අරගෙන යා යුතුයි.”

උපුල් ජනක ජයසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan