සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130– 194ක් දක්වා සුළං වේගය වර්ධනය වන ඉහළ ප්‍රබල ටයිෆූන් ඩුජුවාන් කුණාටුව ජපානයේ ටෝකියෝ ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල කරමින් පවතින අතර, වාර්තාගත මට්ටමේ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබේ.
කුණාටුවේ බලපෑම හේතුවෙන් ප්‍රාන්ත හයක මිලියන 1.9කට අධික ජනතාවකට ඉවත් වීමේ නියෝග නිකුත් කර ඇති අතර, නිවාස 50,000කට පමණ විදුලිබලය අහිමි වී ඇති බව වාර්තා වේ.
කනගාවා ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් නිවසක් පස්වලින් යටවීමෙන් කාන්තාවක් එහි සිරවී සිට ඇති අතර චිබා ප්‍රදේශයේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙකු සිරවීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇත.
ටයිෆූන් තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් සඳහාද දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ගුවන් ගමන් 300කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර තිබේ. ඇතැම් දුම්රිය සේවාද තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන් වේ.
මේ අතර, දැඩි වර්ෂාපතනයත් සමඟ ගංවතුර සහ නායයෑම් අවදානම ඉහළ යා හැකි බැවින්, අවදානම් ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස බලධාරීන් උපදෙස් ලබාදී තිබේ.
පැසිෆික් කලාපයට බලපාන කුණාටු මාලාවක නවතම කුණාටුවක් ලෙස ඩුජුවාන් හඳුන්වා දී ඇති අතර, මේ වසරේ පවතින සාගර උණුසුම හා සම්බන්ධ “සුපර් එල් නිනෝ” තත්ත්වය හේතුවෙන් කුණාටු වඩාත් තීව්‍ර වී ඇති බව කාලගුණ විශ්ලේෂණවල සඳහන් වේ.

