සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW :

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති සිවරාසා අනෝජන් නැමැති ශ්‍රී ලාංකික තරුණයා බේරා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙහිදී අදාළ පුද්ගලයා වෙනුවෙන් ගත හැකි රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය පියවර කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීම රජයේ වගකීමක් බවත්, මේ සම්බන්ධයෙන් සෞදි බලධාරීන් සමඟ අඛණ්ඩව සම්බන්ධීකරණ කටයුතු සිදු කරන බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම තීරණාත්මක හමුව සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සහභාගී වී ඇත.

මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා අදාළ සියලු අංශ අතර සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

තවද, සෞදි අරාබි අධිකරණයක් විසින් ශ්‍රී ලංකා පුරවැසි අනෝජන් සිවරාසා වෙත නියම කර ඇති මරණ දඬුවමෙන් සහනයක් ලබාගැනීමේ අරමුණින්, නියමිත දින 30 ක කාල සීමාව ඇතුළත සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මෙම කාරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු ආයතන ප්‍රධානීන් විසින් සාකච්ඡා කර ඇත.

සෞදි අරාබි අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කරනු ලැබූ අනෝජන් සිවරාසාගේ මව්පියෝ අද උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.

එම හමුවේදී ඔවුහු තත්ත්වය ජනාධිපතිවරයාට පැහැදිලි කරමින්, තම පුතුගේ ජීවිතය බේරා දීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටියහ.

ඔවුන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, අනෝජන් සඳහා ක්ෂමාලාභයක් ලබා ගැනීමට රජය හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත්, නීතිමය මාර්ග මෙන්ම රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහාද මැදිහත් වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම, සෞදි අරාබියේ රජතුමාගෙන් රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ විධිමත් ලෙස සමාව අයැදීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මෙම කාරණය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බවත්, අවශ්‍ය පියවර ගැනීම සඳහා සෞදි බලධාරීන් සමඟ රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරමින් සිටින බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සෞදි අරාබියේ අල්-අහ්සා අපරාධ අධිකරණය විසින් අනෝජන් සිවරාසාට මීට පෙර වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබුණි.

පසුව, අනෝජන්ගේ පාර්ශ්වය විසින් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර, එම අභියාචනයට අභියෝග කරමින් වෙනත් අයදුම්පතක්ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

අභියාචනා ක්‍රියාවලිය තීරණය වීමෙන් අනතුරුව අවසාන වශයෙන් මෙම මරණ දඬුවම නියම විය.

මේ අතර, අනෝජන් සිවරාසාගේ නෑදෑයෝ අද කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය වෙත ගොස්, තම පවුලේ සාමාජිකයාට සහනයක් ඉල්ලා සිටි බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...