*
Tuesday, June 18, 2024
spot_img

Latest Posts

මේ ඡන්ද අවුරුද්දේ අපි ප්‍රමුඛතාවය දෙන්න ඕන ආර්ථික ප්‍රතිසංස්කරණ මොනවද ?

ඊට කලින් අපි බලන්න ඕන ඇයි අපි මේ වගේ ආර්ථික අර්බුදයකට මුහුණ පෑවෙ කියන එක. හේතු කාරණා ගණනාවක් අතරින් පහු ගිය කාලේ අපි මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයට හේතු වුන කරුණු කිහිපයක් පහතින් දක්වන්නම්.

🎯තිරසාර නොවූ මූල්‍යමය ප්‍රතිපත්තිය:

දිගින් දිගටම බලයට පත් වුන ආණ්ඩු විසින් සිදු කරන ලද නොසැලකිලිමත් වියදම්, වඩාත් පැහැදිලිව කියනව නම් පූර්ව සැලසුමකින් තොරව සිදු කරන ලද සහනාධාර (untargeted subsidies), ආණ්ඩුව විසින් දිගින් දිගටම පාඩු පිට සිදු කරන ලද වාණිජ ව්‍යාපාර දක්වන්න පුලුවන්.

කිසිදු වගවිභාගයක් නොමැතිව සැලසුමක් නොමැනිව කොටින්ම කිව්වොත් මූල්‍යමය විනයක් නැතිව ආණ්ඩු වියදම් කලත් එම වියදම් පියවා ගැනීමට අවශ්‍යය ආදායම් උත්පාදනය කිරීමට අවශ්‍ය නිසි බදු ප්‍රත්තියක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩු අපොහොසත් වෙනවා.

දළ දේශීය නිශ්පාදිතයෙන් 12% ක පමණ අගය ගත් බදු ආදායම 2019-2022 කාලය තුල 7.5% ක අගයක් දක්වා අඩුවෙනවා. ඒ කියන්නේ ලෝකයේ අඩුම බදු ආදායමක් සහිත රටක් බවට ලංකාව පත් වෙනවා. ආදායම අඩු වුනත් දිගින් දිගිටම ආණ්ඩු විසින් සිදු කල සැලසුමක් නැති වියදම් එයාකාරයෙන්ම පවත්වාගෙන යනවා.

මේ හේතුව නිසා විශාල වශයෙන් අය සහ වැය අතර හිගයක් ඇති වෙනවා. මේ අය වැය හිගය පුරවන්න දේශීය සහ විදේශීය මූලයන්ගෙන් ණය ගන්න ඒ ඒ ආණ්ඩු වලට සිද්ද වුනා. කාලයත් එක්කම මෙහෙම ගන්න ණය එකතු වෙලා එකතු වෙලා විශාල මහජන ණයක් (public debt) නිර්මාණය වෙලා තියනවා. අද වෙනකොට මේ ණය දළ දේශීය නිශ්පාදිතයෙන් 125% ත් පැනපු මහජනතාව මත පැටවුන ණය බරක් බවට පත් වෙලා තියනවා.

ආර්ථිකය මත පැටවිලා තියන මේ මහා බරත් සමගම ඵලදායී ආයෝජකයන් ආයෝජනය කිරීම් වලින් ඉවත්ව යාමත් ආර්ථික වර්ධනය මත ඍණාත්මකව බලපාලා තියනවා.

🎯මූල්‍ය විනයෙහි හිගකම:

දේශපාලනික ඇගිලි ගැසීම් නිසා ඓතිහාසික වශයෙන්ම මහබැංකුවෙහි ස්වාධීනභාවය අභියෝගයට ලක් වී තිබුනා. මේ හේතුව “මූල්‍යමය ආධිපත්‍යය” හෙවත් fiscal dominance යන මූලධර්මය කරා මහබැංකුව තල්ලුවීමට හේතු වුනා. ඉහත කියපු ආකාරයෙන් ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමට තරම් අවශ්‍ය වන ආදායම් බදු මුදල් හරහා උත්පාදනය කිරීමට නොහැකිවන විට ආණ්ඩුව මුදල් අච්චු ගැසීමට මහබැංකුවට බලපෑම් කිරීම සිදු වුනා.

අය වැය හිගය පියවා ගැනීමට මෙසේ යොදන ලද තාවකාලික පැලැස්තර ආර්ථිකය මත දීර්ඝකාලීන පීඩාවන් ඇති කරනු ලැබුවා. සැබෑ ආර්ථික වර්ධනයට වඩා වේගයෙන් මුදල් අච්චු ගැසීම නිසා රැපියලේ අගය අඩුවීම හේතුවෙන් උද්ධමනය ඇති වුනා. මේ හේතුව නිසා ජනතාව තම ඉතිරිකිරීම් වඩාත් ස්ථාවර වත්කම් බවට පරිවර්තනය කිරීමට පෙළඹීම නිසා විදේශ විනිමය සංචිත හීන වීම ද සිදු වුනා. 2022 වර්ෂට වන විට ශ්‍රී ලංකාවේ උද්ධමනය 70% ඉක්මවලා තියනවා.

ඉතින් උද්ධමනය කියන්නෙත් වෙන මුකුත් නෙවෙයි බදුම තමයි. සියලුම බදු අතරින් නරකම බද්ධ වෙන්නෙත් උද්ධමනය තමයි. මොකද උද්ධමනය බද්දක් වුනත් එය පැනවෙන්නෙ කිසිම නීතියක් යටතේ නොවන නිසා.

🎯වාණිජ ව්‍යාපාර විෂයෙහි ආණ්ඩුවෙහි ආධිපත්‍යය:

රාජ්‍යය සතුව ව්‍යාපාර 400 කට අධික සංඛ්‍යාවක් තියනවා. මෙයින් අවම වශයෙන් 52කට වැඩි ප්‍රමාණයක් ඍජුවම වාණිජ කටයුතු වල නියැලෙන ව්‍යාපාර වෙනවා. මෙම ආණ්ඩුව විසින් සිදු කරන වාණිජ ව්‍යාපාරයන්හි අවශ්‍ය ප්‍රමාණයට වඩා සේවකයන් බදවා ගැනීම, අකාර්‍යක්ෂමතාවය, ව්‍යාපාර උපායමාර්ගයන් පිළිබද ඇති අනවබෝධය, අදාල ව්‍යාපාරය භාර දේශපාලඥයන්ට සහ නිළදාරීන්ට ව්‍යාපාර කළමකාරණ කුසලතා නොමැති වීම, මෙම ව්‍යාපාරයන්ට යොදන මහජන මුදල් පිළිබද වගවීමක් නොමැති බව ආදී හේතු නිසා මෙම වාණිජ ව්‍යාපාර දිගින් දිගටම පාඩු ලැබීම රටෙහි ආර්ථිකය මත විශාල පීඩනයක් එල්ල වීමට හේතු වී තිබෙනවා. ආණ්ඩුවේ අකාර්‍යක්ෂමතාවය නිසා පාඩු ලබන එම වාණිජ ව්‍යාපාරයන් හි බර අවසානයේ දැරීමට සිදු වෙන්නෙ පිටි පැකට්ටුවෙන් පවා බදු ගෙවන මහජනතාවටයි.

මීට අමතරව ආණ්ඩුව තමාට වාසි සහගත ආකාරයෙන් නීති සකස් කරගනිමින් වෙළදපොළ තුල තරගකිරීම නිසා එම ව්‍යාපාරයේම නිරත වන අනෙකුත් තරගකරුවන්ට අසාධාරණයක් සිදු වන නිසා ඔවුන් වෙළදපොළෙන් ඉවත් වීම මත ආයෝජනයන් අඩාල වීමත්, වෙළදපොළෙහි සංවර්ධනය අඩාල වීමත් සිදු වෙනවා.

එමෙන්ම ආණ්ඩුව සිදු කරන ව්‍යාපාර පාඩු ලබන විට රාජ්‍යය බැංකු හරහා ණය ලබා ගැනීම සිදු කරන අතර එම ණය ගෙවීම් ද පැහැර හැරීම නිසා බැංකු පද්ධතිය අර්බුදයට පත් වීමත් අවසානයේ එම ණය ගෙවීමේ වගකීම මහජනතාව මත පැටවීමත් සිදු වේ.

🎯අපනයන ආර්ථිකය දුර්වල තත්වයක පැවතීම:

දිගුකාලීනවම ශ්‍රී ලංකාව අපනයන මත පදනම් වූ ආර්ථික සංවර්ධයක් ලබා ගැනීමට අපොහොසත් වී තිබෙනවා. කුඩා දිවයින් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට රැකියා උත්පාදනය කිරීම සහ සංවර්ධනය කරා ලගා වීමට දේශීය වෙළදපොළ තුල පමණක් ක්‍රියාත්මක වීමෙන් හැකියාවක් ලැබෙන්නෙ නෑ. ඒ සදහා නිශ්පාදන සහ සේවාවන් මත පදනම් වූ අපනයන ආර්ථිකයක් පැවතිය යුතුයි.

දේශීය නිශ්පාදකයන් දිරිගන්වන්නටයි කියමින් ආනයන මත දැඩි සීමාවන් යොදා තිබුනත් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2000 වර්ෂයේ දී දළ දේශීය නිශ්පාදිතයෙන් 40% ව තිබුනත් 2022 වන විට එය 22% ක් දක්වා අඩු වී තිබෙනවා.

ඉහළ තීරු බදු, ආරක්ෂණ ක්‍රියාමාර්ග (protectionist measures) මත ආනයන සීමාවට ලක් වීම නිසා වෙළදපොළ තුල තරගකාරීත්වය නැති වීමත්, ඒ නිසා නවෝත්පාදනයන්ට පෙළඹවීමක් ඇති නොවීම නිසාත් දේශීය නිශ්පාදනයන්ට අන්තර්ජාතික වෙළදපොළ තුල තරග කිරීමට නොහැකි වී තිබෙනවා. එමෙන්ම් පාරිභෝගිකයන්ට වෙළදපොළ තුල ඉතා සීමිත තේරීම් පරාසයක් පමණක් හිමිවන අතර, තරගකාරී මිල ගණන් නොමැති වීම නිසා ඉතා ඉහළ මිළ ගණන් යතතේ භාණ්ඩ සහ සේවාවන් මිලට ගැනීමට සිදු වී තිබෙනවා.

ඉතින් මෙවැනි ගැටලු ගණනාවක් නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය විශාල ප්‍රපාතයකට තල්ලු වී තිබෙනවා. එම නිසා මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව මූලිකවම අවධානයට ලක් කල යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ කිහිපයක් තිබෙනවා.

🎯තිරසාර මූල්‍යමය තත්වයක් ඇති කර ගැනිම : බදු පරිපාලනය ශක්තිමත් කරමින්, බදු දැල පුලුල් කරමින්, වක්‍ර බදු වලින් ඍජු බදු වෙත මාරුවෙමින් දළ දේශීය නිශ්පාදිතයෙන් බදු ආදායම අවම වශයෙන් 14% හෝ වර්ධනය කිරීම.

🎯මහබැංකුවේ ස්වාධීනභාවය තහවුරු කිරීම:
මූල්‍යම ප්‍රතිපත්තිය කෙරෙහි දේශපාලනික ඇගිලිගැසීම් වළක්වාලමින් මහබැංකුවෙහි ස්වාධීනභාවය ආරක්ෂා කිරීම. මහබැංකුවෙහි ස්වාධීනභාවය තහවුරු කිරීම අරමුණු කරගෙන පනවන 2023 වර්ෂයේ පනවන ලද මහබැංකු පනත බලාත්මක වන බව තහවුරු කිරීම.

🎯රාජ්‍යය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීම:වාණිජ ව්‍යාපාර කිරීමෙන් ආණ්ඩුව ඉවත් වී පුද්ගලික අංශයට වාණිජ ව්‍යාපාර කරගෙන යාමට ඉඩ සැලසීමත්, තව දුරටත් ආණ්ඩුව යටතේ පවතින් ව්‍යාපාරයන්හි කාර්‍යක්ෂමතාවය, විනිවිදභාවය, වගවීම ඉහළ නැංවීමටත්, දේශපාලන අතපෙවීම් මර්ධනය කිරීමටත් එකී ව්‍යාපාර ස්වාධීන හෝල්ඩිං සමාගමක් යටතට පත් කිරීම.

🎯ආනයන මත ඇති සීමා ඉවත් කරමින් අපනයන ආර්ථිකය සංවර්ධනය කිරීම.

ඉතින් මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ සියල්ල පදනම් වෙන්නෙ විනිවිදභාවය, නීතියේ ආධිපත්‍යය, වගකීම සහ වගවීම ආදී පාලනයට අදාල මූලික සිද්ධාන්තයන් මත. රටක් සංවර්ධනය කරා ගෙනයනවා කියන්නේ කිසියම් ක්‍රියදාමයක්. ඉතින් සර්ව සම්පූර්ණ ක්‍රමවේදයන් ඇති කරන්න, දූෂණය මුලිනුපුටා දාන එක එකවර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. දේශපාලන බලාධිකාරයට සිය බලය අවභාවිතා කරමින් මහජන මුදල් වගකීමක් නැතිව වියදම් කිරීම වැළක්වීමට, ඔවුන් ගනු ලබන මහජනතාවට සහ රටේ ආර්ථිකයට බලපාන අත්ත්නෝමතික තීරණයන් වැලක්වීමට අවශ්‍ය කරන නීතිමය රාමුව සකස් කිරීම ඉතාම වැදගත්.

ඒ නිසා රටෙහි ජනතාව විදියට මෙම ආර්ථික ප්‍රතිසංස්කරණයන් පිළිබදව දැනුවත් වීමත්, තමන්ගේ මුදල් සහ තමන්ගේ ආයතන අවභාවිතා වීම වැලැක්වීම පිණිසත් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබදව අවදියෙන් සිටිමින් එම ක්‍රියාමාර්ග දේශපාලන බලාධිකාරයෙන් ඉල්ලා සිටීමත් වගකීම් සහගත පුරවැසි පරිචයන් වෙනවා.

නීතීඥ නාමිණී පණ්ඩිත

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan